බහුකාර්ය ලෝකයට මැනවින් යෝග්‍ය නවකතාවක් | Page 2 | සිළුමිණ

බහුකාර්ය ලෝකයට මැනවින් යෝග්‍ය නවකතාවක්

 පිටු 107 ක් පමණ කුඩා නවකතාවක් වුව ද මෙහි දැක්වෙන චරිත බොහෝ ය. ඒ සෑම චරිතයක් ම තම කාර්යය හෝ කාර්යාවලිය මැනවින් ඉටු කරයි.

“නුග නෙතින් වට කඳුළු” ඉතා හරවත් හා රසවත් නවකතාවක් වන්නේ කතුවරයා එක් යුගයක සමාජ සන්තාව ධ්වනිතාර්ථවත් ලෙස විග්‍රහයක යෙදෙන නිසා ම නොව, නවකතා ශිල්පය කෙරෙහි ඔහු දක්වා විපුල ප්‍රවීණත්වය නිසා ය. සිරිපාල හඳුන්පතිරණ බය හසුරුවන ආකාරය, ඒ ඒ පුද්ගලයාට යෝග්‍යතම භාෂා විලාසය ඉතා මැනවින් දක්වයි. බොහෝ තැනක ඔහු කියන දෑ තුළ සියුම් උපහාසයක් සැඟවී ඇත. මේ හාස ගුණය ඒ ඒ සිද්ධීන්ට අදාළ ප්‍රතිරෝධතා දැක්වීම් වශයෙන් ද, තවත් විටෙක මිනිසුන් ගේ හුදු මෝඩකම - මෝඩ ක්‍රියා - එලෙසින් ම කියා පෑමෙන් ද, පාඨකයා හමුවට ගෙනෙයි. මේ නවකතාකුවා ගේ ලේඛනය නියම ගද්‍ය සාහිත්‍යයක් වන්නේ එහි ඇති සරල බව හා සත්‍යය අවියෝජනීය ලෙස එකට ගැළපී තිබෙන නිසා ය. මේ පොතේ ඕනෑ ම පිටුවක් මීට නිදසුන් සපයයි.

මෙහි එන කතාව සැබැවින් ම කතා වස්තුවක් වන්නේ එහි සිදුවන සැම සිද්ධියකට ම හේතු සාධක ඉඟියෙන් හෝ පාඨකයාට අනාවරණය කෙරෙන හෙයිනි. මේ වනාහි විශ්වාස කටයුතු කතාවකි, එය අපගේ එදිනෙදා ජීවිත අත්දැකීම් හා මනාව ගැළපෙන්නෙකි.

කතාව ඉතා ම සැකවින් කියා තිබීම මෙහි එම සුවිශේෂ ම ලක්ෂණය වෙයි. මේ වනාහි “වැටිසන් නවකතාවකි”. වැටිසනයක් යනු චිත්‍රය ඇඳීමට පෙර ගොඩනඟන රේඛා රූ සටහනයි. නියම චිත්‍රය ඒ තුළ වර්ණවත් ලෙස අඳිනු ලැබේ. මේ නවකතාව වැටිසනින් නවතින්නේ පාඨකයාට තම අත්දැකීම් අනුව එය පූර්ණ චිත්‍රයක් ලෙස ඇඳ ගැනීමට ඉඩ සලසමිනි. හාවාර්ථයන් නඟන මේ උපක්‍රමය අපට සුලභ ව අත්විඳීමට ලැබෙන්නේ සාර්ථක හොඳ කවියක හෝ කාව්‍යයන්හි ය. පෙදෙන් පෙද වැකියෙන් වැකිය මහත් අවධානයෙන් කියවිය යුත්තකි මේ නවකතාව.

මෙහි කිසි තැනක වර්ණනා කියා දෙයක් නැත. කිසි තැනක පරිසරය ගැන යථාරූපීව යමක් පවසා ඇද්ද එය එහි එම චරිත නිරූපණයේ ම කොටසකි. මීට කදිම නිදසුනකි අයිරාංගනී හා ඇගේ පුත් අනුරාධට රැකියාවක් ලබා ගැනීමට කපිල බණ්ඩාර ගේ අමාත්‍යාංශයට ගිය විට ඔවුන්ට දැකීමට ලැබෙන පරිසරය (පිටු 69, 70)

පුද්ගලයන් ගේ හැඩරුව විස්තර නොකිරීම ද මේ නවකතාවේ ඇති විශේෂත්වයකි. අයිරාංගනී ගේ දේහ ලක්ෂණ ගැන යමක් කියැවෙන්නේ ද අන්‍යයන් කරන සුළු සඳහන් කීපයක් මඟිනි.

මේ කතාවේ තවත් සාධනීය ලක්ෂණයකි, පාත්‍ර වර්ගයා ඒ ඒ අවස්ථාවලදී යෙදෙන සංවාදවල ස්වාභාවිකත්වය. ඔවුන් තෙපලන වදන් ඔවුන්ගේ ම ය. මේ කතාබහ මඟින් නවකතාවේ සිද්ධීන් අනාවරණය වී ඉදිරියට යාම තවත් වැදගත් ලක්ෂණයකි. මීට නිදසුන් පොතේ සැම තැන ම වාගේ විසිරී තිබේ. පොඩිරාලහාමි ගේ කුඹුරේ ‍ගොයම් කැපීමට ගිය කීපදෙනා කරන කතාබහෙන් රංජිත්, කරුණාපාල හා කපිල බණ්ඩාර ගොයම් කැපීමට නාවේ එදින නගරයේ පැවැත්වෙන චේගුවේරා දේශපාලන රැස්වීමට ගිය නිසා බව අනාවරණය වෙයි. (පිටු 24, 25).

දෙවියන් ගේ පිහිට පතා මිනිසුන් නෙක බාරහාර වූ මහ නුගය දැන් මිනීමරන තැනක් බවට පත්ව ඇත. ඒ අසල මිනිස්සුන් දැන් එහි ප්‍රසංග දේශපාලන රැස්වීම් පවත්වන බව කතුවරයා පවසන්නේ සමාජ පරිහානිය හාස්‍යයෙන් යුතුය අනාවරණය කරමිනි. කතාවේ රසවත්කමට තවත් හේතු රැසකි. සියලු ම සංවාදවල තාත්විකත්වය, මිනිස් චර්යාවන් ගැන කතුවරයා ගේ සියුම් නිරීක්ෂණ, අනගාරික කරුණාපාල ගේ අසාමාන්‍ය චරිතය සාර්ථක ලෙස ගොඩ නැඟීම, අයිරාංගනී විඳි දුක් කරදර අනුවේදනීය අයුරින් නිරූපණය කිරීම, ලේඛකයා තමා විසින් තෝරා ගන්නා ලද ඉතා කුඩා ප්‍රදේශයක් තුළ සිදු වූ දෑ මඟින් 1971 භීෂණයේ ස්වභාවය ප්‍රතිනිර්මිතව තිබීම මෙම නවකතාවේ රසවත්භාවයට හේතු වී ඇත.

නුග ගස කඳුළු සලන්නේ මෙහි දී සිදු කෙරුණු මිනිස් ඝානත නිසා ම නො වේ. නුග නෙතින් කඳුළු සැලෙන්නේ මිනිසා පහළ වී කල්පාන්තරයක් ගත වී තිබුණ ද ඔහු තවමත් ම්ලේච්ඡ තත්ත්වයෙන් මිදී නැති බව දැකීමෙන් යැයි පාඨකයාට සිතේ.

සිරිපාල හඳුන්පතිරණගේ “නුගනෙතින් වට කඳුළු” නමැති නවකතාවෙහි නිලීන ව පවතින සමාජ විග්‍රහය ඉතා අගනේ ය. පසුගිය සියවසේ 70 දශකයේ දී බිහි වූ නව නිදහස් ආර්ථිකය විසින් බිහි කරන ලද කසිප්පු ලැම්බට්ලා වැනි ව්‍යාපාරිකයන් හා කපිල බණ්ඩාරලා වැනි ව්‍යාජ දේශපාලඥයෝ මහත් සමෘද්ධියට පත්වූහ. ඒ අතර, සාරධර්ම ගරු කළ අයිරාංගනීලා පවුල් පිටින් ම ව්‍යසනයට පත් වූ බව මේ නවකතාවේ යටි අරුත වේ. මේ සිද්ධිය අනුවේදනීය ආකාරයෙන් සිරිපාල හඳුන්පතිරණ නමැති නවක නවකතාකරුවා අප හමුවේ ගෙනහැර පායි.

ඔහු මේ සඳහා යොදා ගෙන ඇති සමාජ සංසිද්ධීන් හා බස් වහර ද නිසා ඉතා හරවත් හා රසවත් නවකතාවක් බිහි ව ඇත. මේ නවකතාවෙහි බොහෝ තැනක ද නවකතාව සමස්තයක් ලෙස ගත් කළ ද පාඨකයාට අත්විඳීමට ලැබෙන්නේ අතිශයින් පරිහානියට ලත් සමාජයක් විසින් ජනිත කරවන ශෝකයකි. එහෙත් සමාජයට යහ මඟ කියා දිය හැකි කරුණාපාල කෙනෙකු ද මේ සමාජය තුළින් බිහිවීමට ඉඩ ඇති බව ලේඛකයා අපට ඉඟියෙන් කියයි.

“නුග නෙතින් වට කඳුළු” නව ආරක නවකතාවකි. සංක්ෂිප්තභාවය එහි දේහය යි. ධ්වනිතාර්ථ හැඟවීම එහි ආත්මය යි. කාර්යබහුල ලෝකයකට මේ නවකතා කලාව ඉතා මැනවින් යෝග්‍ය වේ. 

Comments