
අබිමන් ළදක් ලක්මෑණිට වෙයන් දුවේ
පා පොඩි යොමා දුව පැන යන පවන වගේ
කෙළිලොල් ගතිය අඩුවක් නැත කරයි දඟේ
සුරතල් බස දොඩයි දැවටී මවගෙ අගේ
වියපත් වියට සුවයකි මිනිපිරිය මගේ
පැමිණෙන විටදී නිවෙසට සේවය වරලා
අඹ ගහ යට සෙවණෙ හිඳිමින් මඟ බලලා
දිව එන විටදි හෙමිහිට පා පොඩි සලලා
පුතුගේ ළදරු විය සිහි වෙයි ඇය දැකලා
සවසට බුදු හිමිට දල්වන විට පහන
කුමරිය පෙරටු වී දෝතට මල් රැගෙන
මුදුනට දොහොත් දී දැහැමින් ඇය පතන
තෙරුවන් ගුණ ගයා යයි සදහම් සරණ
ඉතිහාසයේ නම රැන්දූ ළඳුන් ලොවේ
නිරතුරු ලබනවා බුහුමන් මුසා නොවේ
සමුගෙන යන්න පෙර මා ලද මිනිස් භවේ
අබිමන් ළඳක් ලක් මෑණිට වෙයන් දුවේ
ලෙස්ලි පෙරේරා
කොහි ගියෙද සබඳ?
ලොව එළිය කළ
හිරු වුණා ඔබ
එහෙත් අද හිරු සැඟවිලා..
අහස් කුස තුළ එකම සඳ නැත
අඳුර පමණක් රජවෙලා..
මගේ ලොව හිරු
මගේ ලොව සඳු
නිතින් හද කිතිකවා දැවටුණ
පලාගොස් නොපෙනෙන දුරක
අතරමං කර මා දමා..
ලොව එළිය කළ පහන් ටැඹ නැත
විසුණු වී ඇත නොසිතු විලසින්
කිසිත් නොදකින අන්ධකාරේ
දෙනෙත කඳුළින් බර වෙලා..
පලා ගිය ඒ හිරු සඳු ද කෝ
වෙනත් ලොවකට එළිය දී
ඉමක් නොපෙනෙන සසර කතරේ
වුණි ද පැටලී මංමුළා..
කල්‍යාණි විද්‍යාරත්න
පියමැන්නාය අද
යදම් බිඳ
ප්‍රේමයේ වත්සුනු
සුවඳ තවරා
සෙමෙන්
ඈ
පැදකුණු කළා
අභිමානයේ
දෙන උසුලා
ඇදෙන සිය මතක හරහා....
හිතේ දුක් ගිනි නිවාලන්නට
ගතේ සරතැස නිවා ගන්නට
ජීවිතේ පැරදුම පරදවන්නට
සෙමෙන් පිය මැන්නාය
ඈ
සොයමින් ඉඩක්
පුළුල් උරපතක...
චම්මින්ද වෙලගෙදර
මල් පාර
මන්දාර සුවඳිකින් පිරුණු උඩු ගුවනේ
සරුංගලයක් ලෙසින් සැරිසරන ළඳුනේ
සවිය නැති කැඩුණ හුය කොයිබ සිට පෙනුනේ
මල් පාර මිලින වී අකුල මත රැඳුණේ..
කුල ගෙයක සුරවිමන දෑස තිමිරෙන් වැසෙයි
බොල් හඬින් මුව දැවී මුදු මෙලෙක දුරස් වෙයි
කළු වලා ගුවන් ගැබ අයාලේ සැරිසරයි
මල් පාර ඉම කොහිද නුඹෙ සුසුම මට පෙනෙයි
පියසිලී විජේනායක
කහ මල්
මේ රුක් අත්තන පඳුරෙ
ඉහළ අත්තෙ මල් ටික
ඉතිරි වෙද්දෙන්
කහපාට ලස්සන මල්..
පාරේ යන එන අය
හැරි හැරී බලනව
ඔය මල් දිහා..
අනික් මල් ටික නං
කමක් නැහැ ඉතින්
ජයසේකර මලවිආරච්චි
ඉටු දෙවියන්...
ශිල්ප දුන් ගුරු මවු වරු
මිහිතලේ අපෙ දෙවිවරු
විදුබිමේ පංතියේ හිරු
එළිය දී දිවි සරුකෙරු
මවුපියන් මෙන් සෙනෙහසින්
සිත් තැවුල් පළවා මෙතින්
කරන මෙහෙවර ගුණ නැණින්
සිහිකරමු ගරු බුහුමනින්
මඟ තොටේදිත් වැදුම් ලබනා
දියුණුවෙදි අපෙ නිබඳ පිපෙනා
පරපුරේ ඉටු දෙවිඳු වෙමිනා
සිටි ගුරුදෙවි පුදමු බැතිනා
පියසේන එම්. පතිරාජ
ඇඳිරියේ සේයා
අවරට හැරී දිනකර බැස ගියපු පැයේ
වටපිට ඇඳිරියේ සේයා මැවිල තියේ
තනියට නතුව සිතිවිලි බොඳ වෙමිනි ලයේ
දඬු වැට මායිමට නිකමට පරිදි ගියේ
මුළු දහවල පුරා ගී ගැයු විහඟ නලා
ගොළු වත සුරැක පරිසරයම නිහඬ වෙලා
බැලු හැම අතම දල්වා කනමැදිරි නිලා
කළුවර සිදුරු කර දසුනක් ජනිත කළා
ඇඳගෙන සොඳුරු සෙවණැලි මිහිතලය පුරා
හඳ හාමිත් එබෙයි වෙලපෙති දෙකට ඉරා
කැඳවා මියුරු ගීරාවය සවන කරා
නද දෙති පළඟැටිත් සිහිලැල් ගතිය පෙරා
පිනිපොද වැටුණු පසුවදි නිල් තණ බිස්සේ
රොද බැඳ රෑ බදුලු කැල එළිියට බැස්සේ
වන වැද හිටිය මුව රැළ දහවල තිස්සේ
සුව විඳ ගනී විත් කුරහන් පැල අස්සේ
රැය එළඹුණෙන් තම මෙහෙවර නොකර කඩ
සොයමින් අහර වවුලන් අරඹනව වැඩ
සිය ඇඹණිට අමතන විට රැගෙන ඉඩ
බියකරු බවකි බකමූණා නගන හඬ
වන පෙත සිසාරා මඳනල කුමරි එන
ගෙන එයි ගත සිසිල සියො ළඟ වැලඳ ගෙන
පැනගෙන ඇවිත් හා පිරිවර ඉපිල මන
තැන තැන සරයි උඳුපියලිය රසය දැන
ගොම් මන් අඳුර එනවිට පැල තුළට ගලා
ඉන් බැහැරට අවුත් වැට මායිමට වෙලා
සුන්දර දසුන් වෙත නිරතුරු නයන හෙළා
තුන් රැය පුරාවට තනිකම බැහැර කළා
අපරැක්කේ සුනිල්
කඩුපුල්
අවරදිග අහසේ
හිරු යයි ගිලී පහසේ
ගන අඳුරු විලසේ
පහන් කරවයි උපුල් කඩුසේ
පෙති අතර සැඟවුණු
සුසිනිඳු සේය හිනහුණු
ගතේ රොන් තැවරුණු
කුසුම් මංජරී පිරී බැබලුණු
රොනින් රොන් තවරා
තුඩින් තුඩ ගෙන උරගා
දනන් හද රඳවා
බුදුන් පුදසුන අමා විදහා
ශ්වේත පැහැ ගිලිහිණු
දෙව් ලොවක සිරි කැඳවුණු
සක් දෙවිඳු රජවුණු
බවකි සේයා උපුල් කඩුපුලු
අලුයමට එළඹෙනු
මොහොත වනවිට මැලවෙන
කෙටිය මේ දිවිදෙන
මඟකි ලෝ දම් පවා පෙන්වන
සෂිනි සිරිවර්ධන
නුඹ හා එනු
නොහැක දැන්ම
ගිනි කබලක්වන්
ගත ගුළිි කරගෙන
හුෙදකලා සයනයේ
නෙක සිහින දකිමින්
දිවා රෑ ගෙවමින් හිඳිමි...
දත් විළිස්සා ගත මාර පුත්‍රය
නිය පොකුරු විහිදමින්
මා වටා සරි සරයි...
කමා වන්න මිතුරාණනි
නුඹ හා එනු නොහැක දැන් මට
යාතයුතුව තිබේ ජීවිතේ තව බෝ දුර..
ලියන්නට තිබේ තව පොත් ගොඩක්
ලැබෙන්නට නියමිත
සම්මාන බුහුමන් ද අපමණය
දිනෙන් දින මා වටා රොද බඳින
සොඳුරු රසික බිඟු කැල
කෙලෙස අතහැර එම් ද...?
එසේ, හෙයින්,
මාර පුත්‍රයාණ දයාබර
ජීවිතේ උණුහුමට තුරුලුව ඉන්න
ඉඩ දී මට තවත් ටික කලකට
සොයමින් මිනිහෙන්
ජීවිතේ පරාජිත වී
පලායන්නට මං සොයන
කමල් පෙරේරා