මේ පන්ති­යට එන දරුවා නිර්මා­ණ­ශීලී රස­වි­ඳි­න්නෙක් විය යුතු­මයි | සිළුමිණ

මේ පන්ති­යට එන දරුවා නිර්මා­ණ­ශීලී රස­වි­ඳි­න්නෙක් විය යුතු­මයි

 රටේ නම ගිය චිත්‍ර ශිල්පියකු වන ඔබ ළමා පරපුර ඉලක්ක කරගනිමින් වර්තමානයේ කරන කාර්යභාරය ගැන යමක් පැවැසුවොත්.

මෙහෙමයි, මට අවශ්‍ය වුණා අද වන විට පවතින මෙරට අධ්‍යාපන ක්‍රමයේ චිත්‍ර විෂයට අදාළ, විෂය නිර්දේශයෙන් බැහැර වූ රස වින්දනය මුල් කරගත් වැඩ බිමක් නිර්මාණය කිරීමට. එතැනදී මූලිකම පරමාර්ථය වුණේ විභාග ජයගැනීම අරමුණුකොට බිහි වූ පන්තියක් නොවේ. එහෙම බිහිවූ ‘පන්තියක් නොවන පන්තියක’ දරුවන් වෙනුවෙන්ම වෙන්වූ කලාගාරයක් තමයි මම කරගෙන යන්නේ. ඒකෙන් මට අවශ්‍ය සෑම ළමයෙක් ම මේ පන්තියෙන් අධ්‍යාපනය ලබාගත්තාට පසුව චිත්‍ර ශිල්පියෙක් කිරීමයි. මගේ ඉලක්කය පුංචි දරුවන්. ඒ පුංචි දරුවා හරහා මහ මිනිසුන් මඟින් සමස්ත සමාජයට බලපෑමක් කිරීමයි මගේ ඉලක්කය. ඒ ඉලක්කයට මං වර්තමානය වන විට පැමිණ අවසානයි. ඒකයි මගේ මේ කලාගාරය ගැන බොහෝ දෙනෙක් අද කතා කරන්න පටන්ගෙන තියෙන්නෙ. ‘ශාන්ත මොකක්ද මේ කරන්නෙ කියා‘යි හැමෝම අහන්නෙ. ඒ වගේම මේ කලාගාරයට සම්බන්ධ වන සෑම කෙනෙක්ම අනිවාර්යයෙන්ම හොඳ රසවිඳින්නෙක් විය යුතුමයි. මෙතෙන්දි වෙන්නෙ ඒ දරුවන් තම නිර්මාණශිලී හැකියාව නිදහසේ ඔප්නංවා ගැනීමක් පමණයි. ඊට මා පිටුපස සිට අවශ්‍ය දැනුම ලබා දෙමින් දරුවන් තුළ සිටිනා සෞන්දර්යවාදියා එළියට ගැනීමටයි උත්සාහ කරන්නෙ.

පුවත්පත් කලාවෙන් ඉවත්ව මෙවැනි කර්තව්‍යයකට අතගැසීමට හේතු කාරණාව.

මගේ පෞද්ගලික හේතු කාරණා කීපයක් නිසා මීට අවුරුදු දෙකකට විතර කලින් පුවත්පත් කලාවෙන් ඉවත් වුණා. හැබැයි මං එදා පත්තර කන්තෝරුවෙන් එළියට බහිනකොටම මගේ වැඩිහිටි මිත්‍රයෙක් හමු වුණා. ඔහු හරහා තමයි මේ රටේ පවතින මගේ එතරම් ගෞරවාන්විත හැඟීමක් නැති මේ අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ වුණේ.

ඒ වගේම මං නිරත වූ රාජකාරියේත් අතෘප්තිමත් බව නිසා ඉවත්වෙලා නැවතත් තවත් තෘප්තිමත් නොවන කාර්යයකට අත ගැසීමට තරම් අවශ්‍යතාවකුත් මට තිබුණේත් නැහැ.

හැබැයි මම එතැනදී මට ලැබිච්ච අවකාශය තුළින් අපි දුර්වලයි, වැරැදි කියලා හිතුවත් නිවැරැදියි, නිවැරැදි විය යුතුයි කියලා හිතෙන විදිහේ අධ්‍යාපන විධි ක්‍රමයක කාර්යභාරයක් පටන්ගත්තා. මං මේ ගැන කතා කරනකොට මගේ මිත්‍රයෝ, මට උපදෙස් දෙන අය හිනාවුණා. ‘ශාන්ත කරන්නෙම සාමාන්‍යයෙන් මෝඩකම්’ කියලා තමයි ඒ අය මට දිගින් දිගටම පැවැසුවේ. ඒත් මං ඒ දේවල් ගැන එච්චර ඔළුවට ගත්තෙ නෑ.

මෙයින් බලාපොරොත්තු වන්නෙ කුමක් ද?

මෙතැනදී මූලික වශයෙන්ම බලාපොරොත්තු වන්නේ එක් එක් දරුවාගේ තියෙන දක්ෂතාව හඳුනාගෙන දරුවා තුළ සැඟවී සිටින සෞන්දර්යවාදියාව එළියට ගැනීමයි. සමහර තැන්වලදී වෙන්නෙ ගුරුවරයා හිතන පතන ආකාරයට දරුවන්ව හුරු කරවීමනේ. නමුත් මා කිසිදු විටෙක එවැනි දෙයක් වෙනුවෙන් මහන්සි ගන්නෙ නෑ. මං සෑම විටම උත්සාහ ගන්නෙ දරුවාගේ දක්ෂතාව ඔප්නංවා ගනිමින් ඒ දරුවා ඉදිරියට ඔසවා තැබීමටයි. ඒ තුළින් දරුවා නිවැරැදිව හිතන්න, තර්ක කරන්න, යෝජනා කරන්න, ගැටලු පැනනැඟුණු විම සූක්ෂ්ම ලෙස විසඳා ගැනීමට, අලුත් අභියෝග ජය ගැනීම වැනි දේ හරහා දරුවන්ගේ පෞරුෂ වර්ධනයයි මින් බලාපොරොත්තු වන්නෙ. නැතිව මහදැන මුත්තාගේ කතාන්තරයේ එන ගෝලයො නොවෙයි මා මෙයින් බිහි කිරීමට අදිටන් කරන්නෙ.

වර්තමාන දරු පරපුර චිත්‍රවලට දක්වන දක්ෂතාවන් කෙබඳු ද?

මෙහෙමයි, වර්තමාන පරපුර අතීත පරපුරට වඩා අතිශය තියුණු මෝරච්ච, සියුම්ව සිතන-පතන දරු පරපුරක්. හැබැයි සමාජයක් වශයෙන් ගත් විට අලුතෙන් බිහිවන පරපුර මොනවද කරන්නෙ කියලා හැමෝටම තේරෙනවා නේද? එතෙන්දි අපි රටක් වශයෙන් බොහෝ පසුපසින් සිටින්නෙ. ඒකට හේතු වෙලා තියෙන්නෙ වර්තමාන දරු පරපුර නිසි ලෙස හසුරුවමින් සමාජයට බරක් නොවී කටයුතු කිරීමට නිසි අවබෝධයක් ලබා නොදීමයි.

සාමාන්‍යයෙන් චිත්‍ර කියන්නෙ සෞන්දර්ය විෂයේ එක් කොටසක් පමණයි. ඇත්තටම අපේ වර්තමාන සමාජයට නොගැළපෙන ලෙසයි මේ චිත්‍ර විෂය අධ්‍යාපන විෂය පථයට එක්වෙලා තියෙන්නෙ.

ඒ නිසා මා සොයන්න ගත්තා මොකක්ද නිවැරැදි විය යුතු, කොතැනද නිවැරැදි විය යුතු කියා සේම ඇයි නිවැරැදි විය යුත්තෙ කියන කාරණා ගැන. අන්න ඒ වෙනුවෙනුයි මා මෙලෙස ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ලංකාවේ පළමු වතාවට මෙවන් කලාගාරයක් ආරම්භ කළේ. මෙය ළමයින්ට පමණක් සීමා වූවත් දරුවන්ගේ දෙමාපියන්ට ද මේ වෙනුවෙන් යම් පමණක දායකත්වයක් සැපයීමට හැකියාවක් තිබෙනවා.

වර්තමානයේ චිත්‍ර කලාවට පරිගණක තාක්ෂණයෙන්ද ලොකු බලපෑමක් සිදු වෙනවා නේද?

ඇත්ත. පරිගණක සොෆ්ට්වෙයාවලින් යම් යම් චිත්‍ර කර්ම කළ හැකියි. එහෙත් මං අහනවා ඒවා නිර්මාණද කියා. ඒ දේවල්වලින් රටට - ලෝකයට අවශ්‍ය සෞන්දර්යවාදී නිර්මාණ ශිල්පීන් බිහිවෙනවාද කියා ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි වුවමනාවනම් ඉෂ්ට වෙනවා.

නමුත් උතුම් අරමුණු ඉටුවෙනවාද කියා පැනයක් ගොඩනැඟෙන එක සාධාරණයි නේද? ඒක එහෙමයි කියා අපි තාක්ෂණය මඟහරින්න හොඳ නැහැ. මොකද මාත් තාක්ෂණය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පරිගණකය යොදාගන්නවා යම් දේවල් සඳහා. එතැනදි මං කරන්නෙ අතින් ඇඳපු මගේ නිර්මාණවල යම් යම් වැඩිදියුණු කිරීම් සඳහා පාවිච්චි කිරීම පමණයි.

මෙතෙක් ඔබ ආ ගමන්මඟ ගැන මොකද හිතෙන්නෙ.

බොහෝම සතුටුයි. සම්ප්‍රදායික ජයග්‍රහණ මට නැහැ. හැබැයි මං පැරැදිලත් නැහැ. මොකද ඔය ජයග්‍රහණ ලබාගත්තු මිනිස්සුත් කළ දෙයක් නැහැනේ.

ශාන්ත මහත්මා ඔබ ළමා පරපුර වෙනුවෙන් කරන මේ කාර්යභාරයේ අනාගත බලාපොරොත්තු කෙබඳු ද?

මං මේ කරන කර්තව්‍යය පිනක් ලෙසයි දකින්නෙ. ඒ අනුව පින් කරන්නෙත් සාමාන්‍යයෙන් අනාගත බලාපොරොත්තුවකින්නේ. ඒකත් එක බලාපොරොත්තුවක්. ඒ වගේම මෙයින් බිහිවන දරුවන් කලාකාමී රස වින්දනයෙන් පොහොසත්ව අපි වගේ තර්ක කිරීම්, රස විඳීම්වලින් අනූන පිරිසක් වූවොත් මේ රට ඉහළට ඔසවා තබයි කියන බලාපොරොත්තුවත් තියෙනවා.

එසේම මේ කාර්යභාරය ගැන සමාජයේ කතිකාවක් ඇතිවෙමින් පවතින වර්තමානයේදී අපට තියෙනවා ඉලක්කයක් මේ කලාගාරය දුෂ්කර පළාත්වල චිත්‍ර පිළිබඳ හැකියාවක්, උනන්දුවක් දක්වන දරුවන් වෙනුවෙන්ද ව්‍යාප්ත කරමින් සමාජ සත්කාර වැඩපිළිවෙළක් කරන්න. ඒ සඳහා උනන්දුවක් දක්වන පිරිසට අපගේ ‘ස්කාකැප්ට්‘ (skhacpt) පදනම හරහා සම්බන්ධ විය හැකියි.

එසේම මේ වෙනස්ම ආකාරයේ කලාගාරය නැරැඹීමට, වැඩිදුර තොරතුරු සඳහා [email protected]  ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එන්න, බලන්න, රස විඳින්න, කැමැතිනම්, දෙයක් වෙනවානම්, උදවු කරන්න ' මේ ‍ශාන්ත කේ හේරත්ගේ ඉල්ලීමයි. 

 

Comments