
වසර පනහක් පුරා වේදිකා නාට්‍ය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය දෙසියයකට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දෙමින් කලාවේ ඉදිරිගමනට විශාල මෙහෙවරක් කළ රංගන ශිල්පියකු වූ සෝමසිරි අලකොලාංග රඟමඬලින් සමු ගෙන පැවිදි දිවියට ඇතුළු වූ පුවත මේ වන විට මාධ්‍ය ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වූ පුවත බවට පත්වි තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටියදී 1965 වසරේ සරසවි වළේ දී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යයෙන් රංගන ජීවිතය ආරම්භ කොට චිත්‍රපට හා ටෙලිනාට්‍යය ගණනාවකින් ඔබට හමුවූ සෝමසිරි අලකොලංග කලාකරුවා සසුන්ගත වූයේ හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.
වෘත්තීයෙන් විශ්ව විද්‍යාල කථිකාචාරයවරයෙකුවු සෝමසිරි මහතා කලක් කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. 1946 මාර්තු 11 වැනිදා උපත ලබා ඇති සෝමසිරි මහතා 1965 දී එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කර 1998 ගිනි අවි සහ ගිනි කෙළි (ජයසූරිය), 2003 යකඩ පිහාටු (පොලිස් ප්‍රධානියා), 2005 සමනළ තටු, 2006 හිරිපොද වැස්ස (පූජාගේ පියා), 2006 අංජලිකා, 2007 ආගන්තුකයා, 2007 සිකුරු හතේ, 2007 නිසල ගිර, 2008 වලා පටල, 2013 බෝම්බ සහ රෝස, 2015 සංජනා, 2015 සුහද කොකා සහ 2016 සරිගම ඇතුළු චිත්‍රපට හතළිහකට අධික ප්‍රමාණයකද, නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ සෙනෙහස කවියක් තුරු කුමාරි වාසනා වේවා, සූරිය දරුවෝ, ජීවිතය ලස්සනයි ඇතුළු ටෙලිනාට්‍ය දෙසියකට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දී තිබෙනවා.
කලාකරුවකු, උගතකු මෙන්ම බුද්ධිමතකුදවූ සෝමසිරි මහතා රංගන ජීවිතයට සමුදී හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදි වූයේ ගාල්ල උලුවිටිකෙ ජයවර්ධනාරාම විහාරස්ථානයේදී.
සෝමානන්ද හිමියන් හමුවීමට ගොස් කලා දිවියට සමුදී සසුන් ගතවීමේ තොරතුරු විමසුවද මේ පිළිබඳ විස්තර කිරීමට උන්වහන්සේ පළමුව අකැමැති වූ නමුත් අපගේ බලවත් ඉල්ලීම නිසාතමා පැවිදි දිවියට ඇතුළත් වීම පිළිබඳව විස්තර කළා.
‘‘උලුවිටිකෙ ජයසුමනාරාධිපති ශාස්ත්‍රපති දකුණු පළාතේ අධිකරණ සංඝනායක මාබොටුවන පියරතන නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස තමයි මම සසුන් ගත වුණේ. මම මහන වීමට බලාපොරොත්තුවෙන් සිටියේ බොහෝ කාලයක සිටයි. ලෝක ධර්මතාවය අවබෝධවූ නිසා තමයි මම පැවිදි දිවියට ඇතුළු වුණේ. දානවලට, පාංශුකුලට වඩින්න නොව භාවනාවෙන් සිත දියුණු කර ගැනීමේ අරමුණින් තමයි මේ ජීවිතයට ඇතුළු වුණේ. එසේ නැතිව කලකිරීමකින්වත් ජීවත් වෙන්න අපහසු නිසාවත් මම මේ තීරණය ගත්තේ නැහැ. පවුලේ වගකීම් ඉටුකර ඔවුන්ගේද කැමැත්ත ඇතිවයි මම මහන වුණේ. මම රංගන කටයුතු වල නියැලී සිටින විටත් කාලයක සිටම භාවනාවට පුරුදු වෙලා හිටියා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරීමට පහසුයි. මහනවීමට සංසාර පුරුද්දක් තියෙන්න ඇත කියා හිතෙනවා. මුල් කාලයේදී වන සේනාසනයකට ගොස් භාවනා කළා.
අමෙරිකාවේ වැඩ සිටින නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් අවුරුදු තිහක විතර කාලයක් තිස්සේ මම හඳුනනවා. උන්වහන්සේ තමයි පැවිදිවීමට මේ විහාරස්ථානය තෝරා දුන්නේ. භාවනාවට ඉතා සුදුසු පරිසරයක් මේ විහාරස්ථායේ තියනවා. මගේ පවුලේ අය හැර වෙනත් කිසිම කෙනෙක් මම මහන වන බව දන්නෙ නැහැ. අවුරුදු තිහක විතර කාලයක සිට මම මස් මාළු කන්නෙ නැහැ. ඒ වගේම මත්පැන් පානය කරන්නෙ නැහැ භාවනා ජීවිතයට ඒවා ගැළපෙන්නෙ නැති නිසා අත්හැරියා. මම දිනපතා උදේ තුනට නැගිට භාවනා කරනවා. ඊට පසුව බුද්ධ වන්දනාවේ යෙදෙනවා. සවසටත් බුද්ධ වන්දනාවේ යෙදෙනවා. ඒ වගේම පන්සලේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රීසි උගන්වනවා. ගමේ දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි පන්තියක් පවත්වා ගෙන යනවා. වැඩි කාලයක් වැය කරන්නේ භාවනාවටයි.‘‘
වසර පනහක පමණ කාලයක් තිස්සේ කලා ලොවේ ඉහළින් වැජඹුණු සෝමසිරි අලකොලංගයන් ප්‍රේක්ෂක ජනතාවට බොහෝ කලක් යන තෙක් අමතක නොවන නාමයකි. එබැවින් තමන්ගේ කලා ජීවිතය ගැන යමක් හෙලි කරන්නැයි අප කළ ඉල්ලීමටද හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෝ ප්‍රතිචාර දැක්වුහ.
‘‘මගේ කලා ජීවිතයේ ගුරුවරුන් වුණේ එදිරිවීර සරත්චන්ද්‍ර සහ හෙන්රි ජයසේන මහත්වරුන්. එවැනි ප්‍රවිණයින් සමග එක්ව වැඩ කිරීමේ වාසනාව තරුණ අවදියේදීම මට ලැබුණා. ඇත්තටම කලාවේදී මම ඉක්මන් ගමනක් ගිය කලාකරුවෙක් නොවේ. රැකියාවට බාධාවක් නොවන අන්දමට මම රඟපෑම කළා.1965 දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ලෙස එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යයෙන් මම රංගන ජීවිතය ආරම්භ කළා. 1965 සිට 2015 දක්වාම මම වේදිකා නාට්‍ය, චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයක රංගනයේ යෙදුණා. රැකියාවේ කටයුතු කරන අතර තුර විනෝදාංශයක් ලෙසින් තමයි රඟපෑම කළේ. විනෝදාංශයක් ලෙස රඟපෑම කළත් නිකම් කළේ නැහැ එය කේෂ්ත්‍රයට අවනම්බුවක්වන නිසා.
ජීවත්වීම සඳහා රඟපාන විට එය තෝරා බේරා ගෙන කරන්න බැහැ. නමුත් මම එහෙම කළේ නැත්තේ රංගනය මගේ වෘත්තීය කර නොගත් නිසායි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මගේ මුල්ම ගුරුවරයා වුණේ එදිරිවීර සරත්චන්ද්‍ර මහතායි. කොළඹ පැමිණි පසු හෙන්රි ජයසේන මහතා මගේ ගුරුවරයා වුණා. ප්‍රවීණයින් සමග වැඩ කිරීමේ අවස්ථාව මට තරුණ කාලයේදීම හිමි වීම මගේ භාග්‍යයක්.
අපේ කාලයේ තිබුණේ වේදිකා නාට්‍ය. මගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා රංගනය එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයයි. ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, සෝමලතා සුබසිංහ රංගන ශිල්පීන් සමග මම රඟපෑවා. ජයලත් මනෝරත්න මේ කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවිණයෙක්. මම නළුවෙක් නොවේ රංගන ශිල්පියෙක්. නළුවෙක් කියනවාට මම කැමැති නැහැ. ප්‍රවීණයින්ගෙන් ලැබුණ ගුරුහරුකම් මගේ ගමනට විශාල රුකුලක් වුණා.
සුහද කොකා චිත්‍රපටිය දේශපාලනඥයින් පිළිබඳ සඳහන් කරන චිත්‍රපටියක්. මෙහි තිර පිටපත ලිව්වේ ගිරිරාජ් කෞෂල්‍ය. චිත්‍රපටියෙ මංගල දර්ශනය නැරඹීමට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පැමිණියා. අගමැතිතුමා චිත්‍රපටිය අවසානය දක්වා නැරඹුවා.
ඒ වගේම සරිගම චිත්‍රපටියත් හොඳ නිර්මාණයක්. ප්‍රෙක්ෂකයින් අපට කොයි තරම් කැමැතිද කියා බලන්න අපට අවශ්‍ය වුණේ නැහැ. අපට ලැබුණ චරිතයට සාධාරණය ඉටු කළා කියා හිතෙනවා. ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව ඒ බව පැහැදිලි වෙනවා. මම පැවිදි වුණ පුවත එක්තරා වෙබ් අඩවියක පලවී තිබුණා. එය මගේ ගෙදර අයට විශාල කරදරයක් වුණා. දුරකතන ඇමතුම් නොකඩවා ගලා එන්න පටන් ගෙන තිබුණා. අන්තිමේදී මගේ ජංගම දුරතකනයේ සිම්කාඩ් පත ගලවා දැම්මා‘‘
සෝමානන්ද හිමියෝ එලෙසින්කතාබහ අවසන් කළහ. සාර්ථක ගිහි ජීවිතයක් ගත කළ සෝමසිරි අලකොලංග රංගන ශිල්පියා දියණියන් තිදෙනකුගේ පියෙකි. එම දරු තිදෙනාද ඉහළ රැකියාවල නිරතව සිටිති. අලකොලංග මහතා රංගන ජීවිතයෙන් සමු ගෙන පැවිදි බව ලබන විට හැත්තෑ දෙහැවිරිදි වියට පත්ව සිටියහ.