අහස පොළොව වට පිටාව ගීතය අපේ ආදරයේ සංකේතයක් | සිළුමිණ

අහස පොළොව වට පිටාව ගීතය අපේ ආදරයේ සංකේතයක්

ඇගේ අතින් ලියැවුණු ඕනෑම ගීතයක් මනා වු අර්ථවත් මෙන්ම අලංකාර සිතුවිලි සමූහයකින් යුක්ත වෙයි. කවියට, ගීතයට, පෙම්බැඳි යමුනා මාලනී වන ඇය මෙවර රසඳුන අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙමින් ගෙවුණු මතකයන් අවදිකළේ මෙසේයි.

සහෝදර සහෝදරියන් පහක්

වැඩ බැරි වුණත් ගම ගාල්ලෙ කියන පැරැණි කියමන බොරුවක් කළ තවත් එක් කලා ශිල්පිනියක් මම. ගාල්ලෙ සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙසින් ඉපිද මා අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉටුකළ දියණියක් කීවොත් නිවරැදියි. මගේ තාත්තා රක්ෂණ සංස්ථාවේ සේවයකළ අතර අම්මා ගෘහණියක් ලෙසින් ගෙදර දොරේ වැඩ කරමින් අපිව රැක බලාගත්තා. ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලට මුලින්ම පාසල් ගිය දිනය ජීවිතයේ සුවිශේෂි දවසක්.ඒ දිනය දශක ගණනාවක අතීතයේ සිදුවු සිදුවීමක් වුවත් අදත් හොඳින් මතකයේ තිබෙනවා. තාත්ත මාව පාසලට ගෙනිහින් විදුහල්පතිතුමිය සමග කතාකර පන්තිභාර ගුරුතුමිය සමගත් කතාකර මා ළඟට ඇවිත් කොහේවත් යන්නෙ නැතිව පුටුවෙ වාඩිවෙලා ඉන්න කියා ගියා. ටික වෙලාවකට පස්සෙ ළමයි ‘එසෙම්බි‘ කියමින් නැගිට නැගිට යනවා.ටික වෙලාවකට පස්සෙ ටීචර් ඇවිත් ඇයි ඔයා රැස්වීමට ගියේ නැත්තේ කියා ඇසුවා. තාත්ත මට කියල ගියේ පුටුවෙන් නැගිටල කොහේවත් යන්න එපා කියල ඒකයි මම නොගියෙ කීවා. ටීචර් හොඳටම හිනාවෙමින් යමු යමු උදය රැස්වීමට කියා එක්කගෙන ගියා.

හඳ මාමාට කවි ලියුවා

පොඩි කාලෙ සිටම ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට සවන් දෙන එක මගේ විනෝදාංශයක්. එම වැඩ සටහනින් ළමයින්ගෙ විවිධ නිර්මාණ එළි දක්වනවා.ඒවා අහගෙන ඉන්න විට මටත් හිතුණ කවි පන්තියක් ලියල යවන්න ඕන කියා. ඒ ගැන තාත්තට සහ අම්මාට කීවත් ඔවුන් කැමැති වුණේ නෑ ඉගෙනුම කඩාකප්පල්කර ගනී කියා. මගේ ආසාව නිසාම පස්සෙ අම්මයි තාත්තයි කැමැති වුණා. 'ගොවියා නැතොත් අපි සේරම බඩ ගින්නේ' කවි පන්තිය ලියල තාත්තට දුන්න තැපැල් කරන්න.එහි නිවේදනය කරන සුමනා ජයතිලක මහත්මියත් ලැම්බට් මහතාත් හඳ මාමා වැඩසටහනට මා ලියු කවි පන්තිය කියෙව්වා. එදා නම් පුදුම සතුටක් දැනුණේ. එය ප්‍රචාරය වීමෙන් සිතේ ගුලිකරගෙන සිටි නිර්මාණ ශක්තිය එළියට දාන්න පුදුම ධෛර්යයක් ලැබුණේ. ඉන් පසුව 'අදහස් පොත'කියා පොතක් ළඟ තබාගෙන සිතට එන සිතුවිලි සියල්ල කවියෙන් ලියන්න ගත්තා. පාසල් යන විට මඟ තොටේදි දකින සිදුවීම් සහ එදිනෙදා ජීවිතයේ අත්විඳින විවිධ සිදුවීම් එම පොතේ කවියෙන් සටහන්කළා.

බෝඩිමෙන් හොරෙන් පැන්නා

උසස් පෙළ සමත්වුවාට පසු ඇතුල් කෝට්ටේ ඥාති ගෙදරක සිට ගණකාධිකාරි පාඨමාලාවක් හැදෑරුවා. ඔය කාලයේදි තාත්තා මාව කොළඹ ඩී. එස්. අයි ආයතනයේ රැකියාවට දැම්මා.පළමු දින දෙකේ ඇතුල්කෝට්ටේ සිට ආවත් දුර වැඩි නිසා පසුව බොරැල්ලේ බෝඩිමක නතර කළා.බෝඩිමේ ඇන්ටි තාත්තට කීවේ ගෑණු ළමයි විතරයි ඉන්නේ ‍පිරිමි පුළුටක්වත් නැහැ කියල. එදා සෙනසුරාදා දවසක් දවල් කෑමට ගිය විට පිරිමි ළමයි ගොඩක් ඇවිත් ඉන්නව කෑම කන්න. මට දැන් බයයි ලැජ්ජයි මම අලුත් නිසා ඔවුන් මගේ දිහාම බලනව. බෝඩිමේ ඇන්ටිත් එයාගෙ පුතා ගංගා කියා මට හදුන්වා දී ගංගා යමුනා එකතු වුණහම හරි ලස්සනයි වැනි විවිධ කතා කියනව. බයවෙච්ච තරම කොච්චරද කියනවනම් රෙදි බෑග් එක බෝඩිමේම දාල ඇන්ටිටත් නොකියා හොරෙන්ම ගාල්ලට ගියා.ගෙදර අයට පුදුමයි මම කොහොමද තනියම ආවෙ කියල. තාත්තට විස්තරය කිව්වාම අපි වෙනින් බෝඩිමක් සොයාගමු කීවා.

හොඳම නළුවා ආදරවන්තයා වෙයි

බොරැල්ලෙ බෝඩිමෙන් බම්බලපිටියේ බෝඩිමකට ගියා. එතන මගේ වයසෙම ගෑනු ළමයි ගොඩක් සිටි නිසා අපි හරි විනෝදෙන් තමයි සිටියේ. 1981 පරාස්ස නාට්‍යය පෙන්වුවා ලුම්බිණි රඟහලේ. යාළුවන්ගෙන් බේරෙන්න බැරිම තැන මමත් ගියා නාට්‍යය බලන්න. ගම රාළයි යක්කු පස්දෙනයි. එහි පුංචි රාළ ලෙස රඟපෑවේ සේනක. නාට්‍ය ඉවර වෙලා යාළුවො කට්ටිය සේනක ලස්සනට රඟපෑවා කියන්න රංග ශාලාවේ පිටුපසට ගියා. මම යන්නෙ නැතිව පැත්තකට වී සිටින විට තරුණයෙක් ආඩම්බරකාරී නුවර පැත්තෙ වගෙයි කියාගෙන ළඟට ආවා. මම කීවා මම නුවර නෙමෙයි ගාල්ලෙ ඔයා හොඳට රඟපෑවා කියා. මගෙත් සීයා ගාල්ලෙනෙ එහෙනම් අපි යාළුවොනේ කියමින් ඔහු වැඩියෙන් කතාවට ආවා. අප දෙදෙනා බොහෝ වේලා කතාකළා. ඔහු මගේ කවි රස විඳින්නෙක් බවත් කීවා. පසුව අපි දෙදෙනාගේ ඇසුර ප්‍රෙමයකට පෙරළුනා. ඔහුගේ ගුණ යහපත් බවට කැමැති වු මගේ නිවැසියන් අප දෙදෙනාගේ ආදරයට ආශිර්වාද කළා.

කවි ලියමින් තනිය මකා ගත්තා

ධර්මසිරි ගමගේ මහතා විසින් පවත්වාගෙන ගිය යොවුන් පහන්වැට වැඩසටහනේ පළමුවැනි අදියර පදනම් ආයතනයේදි පැවැත්වුණා.කවිය, ගීතය, නාට්‍ය යන නිර්මාණයන්ට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන්වා නවකයන් දැනුවත් කිරීමක් කළා කොහොමද නිර්මාණකරණයට පිවිසෙන්නේ කියා. එහිදී නවක නිර්මාණකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීමට යොවුන් ජනතා පුවත්පත එළි දැක්වුවා.ධර්මසිරි ගමගේ මහතා කළ එම වටිනා කාර්ය භාරය නිසා කලා ක්ෂේත්‍රයේ විවිධ නවක කලා ශිල්පීන්ට හොඳ අවසථාවක් හිමි වුණා තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට. ඔය කාලයේදි පරාස්ස නාට්‍යයේ හොඳම නළුවා වු සේනකට රුසියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. වසර දෙකකට රට යන නිසාවෙන් විවාහය ලියාදිංචි කරලයි ඔහු රට ගියේ. ඔය කාලයේදි සිතට දැනුණ පාළුව තනිකම කවියට ලියමින් සේනකට සතියකට ලියුම් දෙක තුනක් යවනවා. ඔහොම යවපු එක ලියුමක ලියු කවි පද වැලක් තමයි

අහස පොළොව වට පිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනි කමක්

සේනක රට ඉඳන් පැමිණ ටික කලකදී සුනිල් එදිරිසිංහයන් කියා තිබෙනවා යමුනාට කියා ගීතයක් ලියා දෙන්න කියා. ඒ අවස්ථාවේ ඔහුගේ හදවතට තදින් වැදි තිබුණු මේ කවිපද කී විට එ් ගීතයක් ලෙස ලියා දෙන්න කීවලු. ඔය විදිහට තමයි සුනිල් එදිරිසිංහයන් ගයන රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මා විසින් පළමුව ලියනලද අහස පොළොව වටපිටාව ගීතය ලි‍යැවෙන්නෙ.

ගීත පන්සියයකටත් වඩා ලීවා

හැම ගැහැනියකටම පොදු ජීවිතේ අමතක නොවන දිනයක් තමයි මවු පදවිය ලැබුණු දිනය.1985 ජනවාරි 16 දින සුරතල් දියණියකගේ මව වෙන්නට වාසනාව හිමිවුණා. ඇය ප්‍රතිභා ප්‍රබා.අද වන විට ඇයත් ගායන ක්ෂේත්‍රයට අවතීර්ණව ගීත පහක් ගායනාකර තිබෙනවා. දැනට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සංගීතය උගන්වනවා. ඇයගේ සැමියා රුවන් ජයකොඩි. එයට වසර තුනකට පසුව ප්‍රමුදි ශෝබා ඉපදෙනවා. ඇය එස්. ජී. එස් ලංකා ආයතනයේ සේවය කරන අතර කලාවට සම්බන්ධ සාලිය ඉලංගසිංහ සමග විවාහ වී සිටිනවා. ජීවිතයේ කෙමෙන් කෙමෙන් වයසට යෑම දුකක් නොවුවත් ප්‍රිය විප්‍රයෝගය අදටත් සිහිවෙන විට දැනෙන දුක අප්‍රමාණයි. 2003දි සේනකගේ අභාවයත්, 2001දි පියාගේත්, 2011දි මවගේත් වෙන්වීම අදටත් ගෙනදෙන්නේ වේදනාවක්. එදා මෙදා තුර ගීත පන්සියයකට වැඩි සංඛ්‍යාවක් ලියා ඒවා ගීත පොත් හයකින් එළි දැක්වුවා.ඒ අතරින් ආදරය සුන්දර වරදකී, ගහක මල් පිපිලා වැනි ගීත මා වඩාත් සිත්ගත් ගීත. පසුගිය රාජ්‍ය සම්මාන උළෙලකදී මා ලියු 'තිත්ත මන්දිරය'කාව්‍ය ග්‍රන්තයට සම්මාන ලැබුණා. දැනට ළමා කෘති කෙටි කතා, කාව්‍ය පොත් විශාල සංඛ්‍යාවක් ලියා පලකර තිබෙනවා.අවසාන වශයෙන් කියන්න ඕනෑ සතෙක්වත් මරණව අහන්නවත් දකින්නවත් අක­ැමැති මම ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී පොදු සතුරා ඝාතනය කළ දවසේ ගොඩක් සතුටු වුණා. ඒ දවසත් මගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂි දිනයක්.

Comments