මායාරංජන්ගේ සාහිත්‍ය මෙහෙවර | සිළුමිණ

මායාරංජන්ගේ සාහිත්‍ය මෙහෙවර

සිංහල වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා බවට මායාරංජන් පත් වන්නේ ඔහුගේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතිය නිසා ය. එකල දිගාමඬුලු වැව්ගම්පත්තුවේ දකුණු ප්‍රදේශය මේ කෘතිය සඳහා පසුබිම් විය. එහි රුදුරු වනසතුන් ගහන මහ වන මැද පිහිටි පාදාගොඩ ගම්මානයෙහි මායාරංජන් පදිංචිව සිට ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ රචනා කිරීම ද එක්තරා ආශ්චර්යයකි.

මායාරංජන් තම ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’කෘතියෙහි ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේ ය:

“පාදාගොඩ ගම අවට අලින්ගේ ගෝටිය මට බොහෝ දිනවල අසන්නට ලැබුණේ ය. එයින් එක් දවසක් මා මෙය ලියන දවසට දවස් තුනකට කලිනි. මේ දිනවල මා මගේ වාඩිය හදාගෙන පදිංචිව උන්නේ පාදාගොඩ ය. එදා හැන්දෑවේ මම මගේ වාඩියේ මේසය ළඟ ඉඳගෙන පාදාගොඩ ගම ගැන ලියමින් උනිමි. කරුවල වැටුණු වේලේ සිට ම කුරුඳු වින්න මුම්මාරිය දෙසින් ඇතුන්ගේ කුඤ්චනාදය විටින් විට ඇසෙමින් තිබුණේ ය” (දිගාමඬුල්ලේ ආශ්චර්යය, 54 පිටුව).

“අයියා දිගාමඬුල්ලේ ආශ්චර්යය පොත ලිව්වේ පාදාගොඩ ඉස්කෝලේ ඉන්න කාලේ. ඉතිං සමහරදාට රාත්‍රියේ නිදිමරාගෙන අයියා ලියන කොට අක්කත්, මමත් නිදිමරාගෙන ඉඳලා තේ එහෙම වත් කරලා දෙනවා මට හොඳට මතක යි,” යැයි සීලවතී මහත්මිය පැවසුවා ය.

මේ අනුව මායාරංජන්ගේ බිරිය පාදාගොඩ පාසලේ සේවය කළ කාලයේ ද ඔහු ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතිය ලිවීමේ කටයුතුවල නියැළී ඇත. එනම් එය වසර 1950- 52 දක්වා වූ කාලය යි.

පාදාගොඩ පාසලේ ඉළුක් සෙවිලි කළ කටුමැටි පැල්පතේ මේස කබලක් හා පුටු කබලක් විය. රාත්‍රියේ කුප්පු ලාම්පුව දල්වා ගන්නා මායාරංජන් ලිවීම අරඹන්නේ ය. විටක ඔහු තම ලිවීම ඇරඹුවේ සවස් කාලයේ ය.

ලිවීම සඳහා මායාරංජන්ගේ පෙර සූදානම ගැන ගුණරත්න මහතා සිහිපත් කළේ ය:

“ලොකු මහත්තයා ලියන්න පටන් ගන්නේ රෑට තමයි. සමහර දවස්වල හැන්දෑවටත් ලියනවා. ලියන්න පටන් ගන්න කලින් බෝතලේ අරගෙන උගුරක් එහෙම දාගෙන තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ලියාගෙන යන කොට දුමක් අදිනවා. ලියන්න ගත්තම තේ කහට බොනවා. කල්පනා කරනවා, ලියනවා, කල්පනා කරනවා, ලියනවා, කහට බොනවා. ඕක තමයි ඉතිං වැඩේ. සමහර දවස්වලට රෑ එළි වෙන කල් එහෙමත් ලියනවා. ඉතිං මං අහනවා ලොකු මහත්තයට නිදිමත නැද්ද කියලා. මහත්තයා එතකොට හිනා වෙනවා,” යි පැවසූ ගුණරත්න මහතා ද සිනා සුණේ ය. මායාරංජන්ගේ බිරිඳ මේ පිළිබඳ තම අත්දැකීම අයිරාංගනීට පවසා තිබිණි. මම අයිරාංගනී මහත්මියගෙන් එය විමසුවෙමි.

“මම්මා කියනවා පියදාස බාප්පා ලියන්න සූදානම් වෙන එක මම්මා කලින් ම දැනගන්නවලු. එතකොට මහප්පා කා එක්ක වත් කිසිම කතාබහක් නැතිව වත්ත පහළට වෙලා කල්පනා කර-කරා සක්මන් කරනවලු. වෙලාවකට නතර වෙලා ඔහේ ගස් දිහා හරි බලාගෙන කල්පනා කරනවලු, මුමුනනවලු. අන්න එහෙම හවසට කල්පනා කර-කරා හිටියොත් මහප්පා සමහර විට ඔන්න එළි වෙන කල් ම නිදිමරාගෙන ලියනවලු. මහප්පා ලියන කොට ඉතිං තොල-කට තෙමා ගන්න එක නම් වරද්දන්නේ නෑ කියලා මම්මා හිනා වෙවි කියනවා,” යි පැවසූ අයිරාංගනී මුවග ද සිහින් සිනාවක් මතු විය.

මායාරංජන් පාදාගොඩදී රාත්‍රී කාලයේ ලිවීම පටන් ගත් පසු විටක ඊට බාධා කරන්නෝ ද සිටියහ. ඒ අන් කිසිවකු නොව වන සතුන් ය.

“ලොකු මහත්තයා ලියන්න ගත්තම වෙන දේවල් හිතන්නේ නෑ. හැබැයි ඉස්කෝලේ වත්තට වල් අලි හරි, වල් හරක් හරි ආවොත් ලියන එක නතර කරලා ඔන්න එළියට බහිනවා. ඊට පස්සේ උන් එළවලා දාලා තමයි ආයෙ ලියන්න පටන් ගන්නේ,” යැයි ගුණරත්න මහතා පැවසී ය.

තමා රාත්‍රියේ ලියමින් සිටින විට වල් අලින් ගමට කඩා වදින අයුරු ද එවිට උන් පලවා හැරීමට කටයුතු කර නැවත ලිවීම අරඹන අයුරු ද මායාරංජන් ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතියේ දීර්ඝ විස්තරයක් කර තිබේ.

මායාරංජන් විසින් මෙසේ ලියන ලද ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ කෘතියේ අත්පිටපත තම අතින් ද නැවත පිටපත් කළ බව බුද්ධි නිමල රාජපක්ෂ මහතා මා සමඟ පැවසී ය.

“මම ඒ දවස්වල කොළඹ ඉස්කෝලෙක ගුරුවරයෙක් වශයෙන් වැඩ කළේ. මම නතර වෙලා හිටියේ කොස්ගස් හන්දියේ නවාතැනක. අයියා මුලින් ම ලියපු පොත ඔය දිගාමඬුල්ලේ ආශ්චර්යය. ඒකෙ අත්පිටපත මට අයියා ගෙනත් දීලා කිව්වා ලස්සන අත් අකුරින් පිටපත් කරලා දෙන්න කියලා. ඉතිං මම ඒක මොනිටර් ඇක්සයිස් පොත්වල පිටපත් කළා.”

මෙලෙස ලියන ලද සිංහල වන විත්ති සාහිත්‍යයේ මුල් පොතට ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ යැයි නම් තැබූ මහානාම රාජපක්ෂ එහි කර්තෘ නාමය වෙනුවට භාවිත කළේ ‘මායාරංජන්’ යන අන්වර්ථ නාමය යි. ඔහු එය ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා අගනුවර පුරා ඇවිද පොත් ප්‍රකාශකයන් සොයා වෙහෙසුණේ ය. එහෙත් ඔහුට තම උත්සාහය තනිව ම ජය ගැනීමට නොහැකි විය. එවිට ඔහු තම සොහොයුරු බුද්ධි නිමල රාජපක්ෂගේ පිහිට පැතී ය.

“ඒ කාලේ පොත් ප්‍රකාශකයෝ නිකම්ම පොත් අච්චු ගහන්න ගත්තේ නෑ. ඉතිං ලයනල් ලොකුලියන මහත්තයා හඳුනන මගේ යාළුවෙක් හිටියා. ඒ යාළුවා මාර්ගයෙන් ලයනල් ලොකුලියන මහත්තයාට අත්පිටපත භාර දීලා සහතිකයක් අරගත්තා. ඒ රෙකමදාරුව පොත් සාප්පුවට භාර දුන්නා. ඊට පස්සේ අත්පිටපතේ හිමිකමත් ප්‍රකාශකට පවරා දෙන්න වුණා. මගේ මතකේ හැටියට අයියාට කර්තෘභාගය විදියට රුපියල් 250ක් හරි 300ක් හරි තමයි ලැබුණේ. ඒකත් එක සැරේම නෙවෙයි. එක දවසක් ආවම කීයක් හරි දෙනවා. තවත් දවසකට කීයක් හරි. එහෙමයි,” යැයි බුද්ධි නිමල මහතා එහි අතීත සිදු වීම ආවර්ජනය කළේ ය.

‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ පොත මුද්‍රණයෙන් පිට වූ පසු එහි පිටපත් රාශියක් රැගෙන මායාරංජන් දිගාමඬුල්ලට ගියේ ය. එහිදී අකුරු දත් හා අකුරු නොදත් තම හිතවත් ගැමියන්ට එහි පිටපත බැගින් පිළිගැන්වීමට ඔහු අමතක නො කළේ ය.

“මහත්තයා දිගාමඬුල්ලේ ආශ්චර්යය පොතක අස්සන ගහලා මට දුන්නා. ගමේ තව අයටත් මෙහෙම පොත් දුන්නා,” යි ගුණරත්න මහතා කී ය.

ඒ පිළිබඳව සීලවතී රාජපක්ෂ මහත්මියට ඇත්තේ මෙවැනි මතකයකි:

“ඒ පොත පිට වෙන කොට අයියා වැඩ කළේ ඉඟිනියාගල ඉස්කෝලේ. ඒ දවස්වල මමත් එහෙ හිටියේ. ඉතිං අයියා අස්සන් කරපු ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ පොතක් මටට තෑගි දුන්නා. ඒ පොත තාමත් මං ළඟ තියෙනවා. එදා ඉස්කෝලේ ගුරුවරුන්ටත් පොත බැගින් තෑගි දුන්නා. තව ඩීආර්ඕ කන්තෝරුවේ මහත්තුරුන්ටත් දුන්නා. පාදාගොඩ ගමේ ගුණරත්නලා වගේ ඇත්තන්ටත් පොත් දුන්නා.”

‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ පොතට එකල, මෙකල මෙන් පාඨක ප්‍රතිචාරයක් නො ලැබිණ.

පාඨක - විචාරක ප්‍රතිචාරය කෙබඳු වුව ද මායාරංජන් දිගාමඬුල්ලේ ආශ්චර්යයෙන් නොනැවතිණි. ඔහු දිගාමඬුල්ල ඇස‍ුරෙන් තවත් කෘති දෙකක් රචනා කළේ ය. ‘පිටිසර මිනිස්සු’ හා ‘මගේ රාජ්‍යය’ ඒ කෘති දෙක විය. එසේ ම ඔහු වෙනත් කෘති රාශියක් ද ලියා පළ කළේ ය. වීදිය බණ්ඩාර, පණ්ඩුකාභය, අපේ රාජ්‍යය, නීලා, සහෝදරයෝ දෙන්නා, කුමාරයා සහ රන්මැණික, කලිසම සහ සුකුමාරි, අටල්ලේ උපන් කුමාරි, නිර්භීත පුංචි සන්නාලිය, ප්‍රේම පූජාව යන කෘති ඒ අතර වේ.

මායාරංජන් ඉංග්‍රීසි සාහිත්‍ය කෘති කිහිපයක් ද සිංහලයට පරිවර්තනය කළේ ය. ඔහු හට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හසළ දැනුමක් තිබුණේ යැයි පියදාස වැලිකන්නගේ සූරීන් පැවසුවේ තම අත්දැකීම් ඇසුරෙනි.

මායාරංජන් ඉංග්‍රීසි භාෂාව උගත්තේ ස්වෝත්සාහයෙන් යැයි වඩිනාගල ආරච්චි මා හා පැවසී ය. මේ පිළිබඳ මායාරංජන්ගේ සො‍හොයුරු බුද්ධි නිමල රාජපක්ෂ මහතාගෙන් මම විමසුවෙමි.

“අයියා ඉංග්‍රීසි පාසලකට ගොස් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නම් ලැබුවේ නැහැ. සමහර විට ඕන නම් රාත්‍රී පාසලකට යන්න ඇති කියලා හිතෙනවා. නමුත් අයියගේ ඉංග්‍රීසි දැනුම හරි ම ඉහළ යි,” යැයි ඔහු පැවසී ය. මායාරංජන් වන සංග්‍රාමය පමණක් නො ව, තවත් පරිවර්තන කෘති කිහිපයක් ම සිංහලයට පරිවර්තනය කළේ ය. ඒවා නම්: ත්‍රෝජපුර සංග්‍රාමය, මහෞෂධය හා ඇලෙක්සැන්ඩර් යන කෘති ය. මේ අනුව මායාරංජන් සිංහල සාහිත්‍යයට නිර්මාණාත්මක හා පරිවර්තන කෘති 18ක් පමණ එක් කර තිබේ.

ඔහු තම ගම වූ මගලෙගොඩ ගමේ දරු-දැරියන්ගේ සාහිත්‍ය පෝෂණය උදෙසා ද මහඟු මෙහෙවරක යෙදිණි. ඔහු ඔවුන් වෙනුවෙන් ගමේ තම නිවෙස අසල පුස්තකාලයක් බිහි කළේ ය. එය ‘පොත් මිහිර’ නම් විය.

“අයියා විශ්‍රාම ගියාට පස්සේ ගේ ළඟ පුංචි ගොඩනැඟිල්ලක් හැදුවා. ‘පොත් මිහිර’ කියලා ඒක නම් කළා. පොත් මිහිර පුස්තකාලයක්. අයියා වැඩිපුර ම කාලය ගත කළේ මේ පුස්තකාලයේ ම යි. පොත් මිහිරෙ පොත්පත් විතරක් නොවෙයි, දිනපතා ප්‍රවෘත්ති පත්තර එහෙමත් තිබුණා. ඕනෑ ම කෙනකුට පොත් මිහිරට ඇවිත් පොත්-පත් කියවන්න පුළුවන්. පොත් ගෙදර ගෙනිහිල්ලත් බලන්න පුළුවන්. හැබැයි පොත් බැහැරට ගෙන යනවා නම් ‍සත 25ක ගාස්තුවක් අය කළා,” යැයි බුද්ධි නිමල මහතා පැවසී ය.

එකල පොත් මිහිරේ බොහෝ කලක් කටයුතු කළ ළමයෙක් ද සිටියේ ය. ඔහු මහින්ද මහානාම රාජපක්ෂ ය. පොත් මිහිරේ ගත කළ තම ළමා විය පිළිබඳ මතකය අවදි කරමින් මහින්ද මහතා මා සමඟ මෙලෙස පැවසී ය:

“මම ඉස්කෝලේ යන කොට කාලයක් පොත් මිහිරේ වැඩ කළා. ඒ කාලේ පොත් මිහි‍රේ පොත් නිකුත් කිරීම මට පැවරිලා තිබුණා. සෙනසුරාදාට තමයි පොත් බැහැරට ගෙනියන්න දෙන්නේ. පොත් ගෙදර ගෙනෙල්ලා තියා ගන්න පුළුවන් උපරිම කාලය සති දෙක යි. ඊට වැඩි කාලයක් පොත් තියා ගත්තොත් දඩ ගෙවන්න ඕන. හැබැයි කවදාත් දඩ අය කරන්න වෙන්නෙත් නෑ. ඒ වගේ ම කවුරුවත් කිසි ම දවසක පොත් භාර නොදී ඉඳලත් නෑ. දහම් පාසල් නිසා ඉරිදට පොත් මිහිර වහලා තියෙන්නේ. හැබැයි සතියෙ දවස් පහේ ම හවසට පොත් මිහිර ඇරලා තියෙන්නේ,” යැයි පැවසූ මහින්ද මහතා ළමයින් දෛනිකව පොත් මිහිරේ පත පොත පරිශීලනය කරන අයුරු ද පැහැදිලි කළේ ය.

“පොත් මිහිර ළඟ ගස් හෙවණේ බංකු ගහලා තිබුණේ. ළමයි ඒ බංකු උඩ වාඩි වෙලා පොත් කියවනවා. පියදාස ආතා පොත් කියවන හැමෝම දිහා විමසිල්ලෙන් බලා ගෙන ඉන්නේ. කාට හරි ළමයකුට කියවන දෙයක ගැටලුවක් තිබුණොත් ඔන්න ආතා ඒ ළමයගේ ළඟට ම ගිහිල්ලා කියලා දෙනවා. සමහර ළමයි තමන්ට නොගැළපෙන බරසාර පොත් එහෙමත් වෙලාවකට කියවන්න ගන්නවා. එහෙම කියවන වෙලාවට ආතා හිනා වෙවී ඒ ළමයා ඉස්සරහ දණ ගහගෙන, “මොකුත් තේරෙන්නේ නෑ නේද කොල්ලෝ?” කියලා බොහෝ ම ආදරයෙන් ළමය‍ෙග හිස අතගාලා අහනවා; එහෙම අහලා ළමයට තේරෙන විදියට ඒ පොතේ තියෙන සමහර දේවල් කියවලා තේරුම් කරලා දෙනවා. හැබැයි ගෙදර ගෙනියපු පොතක් ආපහු භාර දෙන කොට, ඒකෙ අනිත් පැත්ත. එතකොට පියදාස ආතා ඒ ළමයගෙන් අර පොතේ තියෙන දේවලින් අඩු ම ගානේ ප්‍රශ්න දෙක-තුනක් වත් අහන්න අමතක කරන්නේ නෑ. ඒ හින්දා ළමයි පොත් භාර දෙන්න එන්නේ හොඳට පොත කියවලා, එහෙම ආතා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බලාගෙන.”

පොත් මිහිරේ පාඨක පිරිස කොපමණ දැ යි මම මහින්ද මහතාගෙන් විමසුවෙමි.

“ගමේ ඉන්න හැම ළමයෙක් ම වගේ පොත් මිහිරේ පාඨකයෝ. කවුරු හරි ළමයෙක් පොත් මිහිරට නෑවිත් හිටියොත් පියදාස ආතා ඒ ගැන හොයලා බලලා කොහොම හරි ගෙන්න ගන්නවා. අනෙක ඉතිං ආතට මඟදි ගමේ මිනිහෙක් මුණගැහුණොත්, ‘ළමයා පොත් මිහිරට දිගට ම එවන්න ඕනෑ. වරද්දන්න එපා. ළමයා එතකොට තව හොඳට ලියන්න කියන්න ඉගෙන ගන්නවා නේ...’ කියලා ආතා කියනවා. එතකොට ඉතිං දෙමවුපියන්ටත් මඟ ඇරලා ඉන්න බෑ නේ...” යි පවසමින් ඔහු සිනා සුණේ ය.

පොත් මිහිරේ පත-පොත පරිශීලනය කළේ ළමයින් ය. එහෙත් කියවීමේ අගය පිළිබඳ යහපත් ආකල්පයක් වැඩිහිටියන්ගේ සිත් තුළ පෝෂණය කිරීමට මායාරංජන් කටයුතු කළේ ය. ඒ පිළිබඳව තමන් ලද අත්දැකීම් මහින්ද මහතා මා සමඟ පැවසී ය.

“පොත් මිහිර නිසා කියවන්න පුරුදු වුණේ මම විතරක් නෙවෙයි. මගේ තාත්තත් පෙලඹුණා. තාත්තා පඩි ගත්තම මටත් නංගිටත් කියවන්න කතන්දර පොත් ගෙනත් දෙන-එක තාත්තාගේ පුරුද්දක් වුණා. අපේ වයසේ ළමයින්ට කියවන්න තියෙන හැම පොතක් ම වගේ අපට ගෙනත් දුන්නා. මට අද වගේ මතකයි තාත්තා ගෙනත් දීපු සමහර පොත් එහෙම. ගලිවර්ගේ චාරිකා, රතු බයිසිකලේ, පුංචි අයගේ කතන්දර, නළපාන ජාතකය වගේ පොත් මට දැනුත් මැවිලා පේනවා. පොත් මිහිර නිසා මගේ මුළු ජීවිතය ම, දැනුත්, ගෙවෙන්නේ පොත්-පත් එක්ක. මම පොතක් පතක් නොකියපු එක දවසක් වත් මගේ ජීවිතේ තිබුණා ද කියලා මට නම් හිතාගන්න බෑ. ඉතිං මගේ තාත්තා විතරක් නෙවෙයි, ගමේ හැම වැඩිහිටියෙක් ම වගේ කියවීමේ වටිනාකම තේරුම් අරගෙන කටයුතු කළේ පියදාස ආතා නිසා කියලයි මට හිතෙන්නේ.”

පොත් මිහිර සාමාන්‍ය පෙළ මෙන් ම උසස් පෙළ විභාගවලට සූදානම් වන සිසුන් හට මහත් පිටිවහලක් විය. එහි පාසල් පෙළපොත් මෙන් ම අතිරේක පොත් ද විය. එකල නොමිලයේ පෙළපොත් ලබා නොදුන් නිසා සිසුන් එම පොත පත මිල දී ගත යුතු විය. එහෙත් එලෙස පාසල් පොත් මිල දී ගැනීමට නොහැකි ළමයින් හට තිබූ එකම පිළිසරණ වූයේ පොත් මිහිර ය. එය ළමයින්ගේ දැනුම් කෝෂ්ඨාගාරය විය. එදා ඒ කෝෂ්ඨාගාරයේ දොරගුළු විවර කර විභාග කඩයිම් පැන ගත් ළමයි අද වැඩිහිටියෝ ය. සමහරු දැන් රජයේ රැකියාවලින් විශ්‍රාම ලැබුවෝ ය.

එමෙන් ම පොත් මිහිරේ පමණක් නොව මායාරංජන්ගේ නිවෙසේ ද එළිමහන් පන්ති කාමරයක් මෙන් පාසල් සිසුන් රැඳී සිටීම සුලබ දසුනක් විය. ගුරු සේවයෙන් විශ්‍රාම ගෙන සිටි ඔහු සොයා පාසල් දරුවන්, පාසල් වේලාවෙන් පසු නිතර පැමිණීමට පුරුදුව සිටි බව මහින්ද මහතා පවසයි. එලෙස පැමිණෙන ඔවුහු තම පාසල් පන්ති කාමරයේ බොහෝ අධ්‍යාපන ගැටලු රැගෙන පැමිණෙති. එසේ පැමිණීමට ඔවුන්ට වෙලාවක් කලාවක් නො වී ය. ඔවුහු තමන් හට පහසු වේලාවක දිවා කල මෙන් ම රාත්‍රියේ ද පැමිණියහ.

“මෙහෙම එන ළමයි ගොඩාක් වෙලාවට හිතා ගෙන එන්නේ මොකක් හරි එක විෂය ගැටලුවක් අහගෙන වෙන්න පුළුවනි. සමහර වෙලාවට කෙටි පිළිතුරක් ලැබෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවනි. ඒත් පියදාස ආතා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් ඒ පාඩමට අදාළ ප්‍රශ්න ගොඩාක් අහනවා. කොටින් ම කියනවා නම් ගොඩාක් වෙලාවට ගැටලුවට අදාළ මුළු පාඩම ම කියලා දෙනවා. ඒ වගේ ම තමයි ළමයින් දෙමවුපියන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා ම උත්තරයක් දෙන්න බැරි නම් කියන්නේ ඕක පියදාස මහත්තයගෙන් අහලා බලන්න කියලයි. අනෙක තමයි පියදාස ආතා ළමයින්ගේ අත් අකුරු හැදුවා. ළමයින්ට වෙනත් ලියන කියන වැඩත් හුරු කළා,” යැයි මහින්ද මහතා මායාරංජන්ගේ මෙහෙවර පිළිබඳ හෙළි කළේ ය.

මෙලෙස මගලෙගොඩ දරුවන් හට ඉමහත් මෙහෙවරක යෙදෙමින් සිටින අතර මායාරංජන් රෝගාතුර විය. පසුව සිදු වූ ඔහුගේ අභාවයත් සමඟ ම පොත් මිහිර වැසී ගියේ ය.

පොත් මිහිරේ අභාවය පිළිබඳ බුද්ධි නිමල මහතා ද සිහිපත් කළේ ය.

“අක්කට, ඒ කියන්නේ අයියගේ බිරියට පොත්වල කර්තෘ භාගයට විශාල පොත් ගොඩක් ලැබුණා. ඉතිං මොකක් හරි පින්කමක් කරන කොට පිරිකර එක්ක ඒ පොත් එහෙමත් පූජා කළා. ඒ සමහර පොත් වේයෝ කාලම ගියා. අන්තිමට මේ පොත් විනාශ වෙලා යන නිසා කාට හරි ප්‍රයෝජනයක් වෙන්න ඕනෑ කියලා අපි හිතුවා. අපේ ඥාතියකුට වේයන්ගොඩ පොත් සාප්පුවක් තිබුණා. ඒ පොත් ඔක්කොම මේ පොත් සාප්පුවට දුන්නා. අපි මුදල් ගන්න බලාගෙන නෙවෙයි දුන්නේ. විනාශ වෙලා යන නිසා කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවනි කියලා. ඒ වුණාට පොත් නිකං එහෙම ගන්න බෑ කියලා පොතකට සත විසිපහ බැගින් අපිට දුන්නා.”

එහෙත් පසු කලක යළිත් පොත් මිහිර අරඹන බව දන්වා බුද්ධි නිමල මහතා මා හට ආරාධනා ලිපියක් එවා තිබිණි. මායාරංජන් ඇරඹි ඒ සාහිත්‍ය ගමන, නව පරපුරක ඇරඹුම නැවත පණ ගැන්වෙන්නේ නම් කොතරම් අගනේ ද?

Comments