
ශ්‍රී ලාංකික ළමා සාහිත්‍යයේ පමණක් නොව අන්තර්ජාතික තලයේ ළමා සාහිත්‍යයේ හැඩ තල සකසන්නට වෙසෙස් මෙහෙයක් කළ අපට සිටින ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පිනිය මෙන් ම ලේඛිකාව ද වන ඇය අනිද්දා (31) අනූව වැනි වියට පා තබන්නී ය. මේ නිමිත්තෙන් ‘ආයුබෝ වේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර දැක්ම කොළඹ, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී එදින සවස 4.30 ට විවෘත කෙරේ. මෙය නොවැම්බර් එක සහ දෙක දෙදින තුළද පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වෙනු ඇත. ඇය අද අපි පැහැසර හමුවට කැඳවමු ඒ සිබිල් වෙත්තසිංහයෝ ය.
උපන්දිනය?
1928 ඔක්තෝබර් 31
උපන් ගම?
ගාල්ලේ ගිංතොට
උප්පැන්නයේ නම?
සිබිල් ද සිල්වා
දෙමවුපියන්?
පියා සව්දේරියස් ද සිල්වා. මව ජොස්ලින් ද සිල්වා.
සහෝදර සහෝදරියන්
අක්කා ගුණශීලී, නංගී අයිරංගනී ඩෙන්සිල් සහ මොරිස් මල්ලිලා දෙන්නා.
මුලින් ම අකුරු කළේ?
ගිංතොට විදුහලේ.
ඉන් පසුව?
බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය.
ඇයි පාසල මාරු වෙන්නේ?
අපට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා මුළු පවුලම කොළඹ පදිංචියට එනවා. එතකොට මට වයස අවුරුදු 6 යි.
පාසල් අවධියේ ඔබ කුමන විදිහේ චරිතයක් ද?
ලැජ්ජාශීලී එහෙත් නිතරම වගේ පාඩම් පොත්වල පවා චිත්‍ර ඇඳීමට කැමැති චරිතයක්.
ඒ ඇඳපු චිත්‍ර මතකද?
ඔව්! පාසල් මිතුරියන් වගේම ගුරුවරියන් ද චිත්‍රයට නැඟුවා.
ඒ හා සම්බන්ධ අමතක නොවන සිදුවීම් එහේම ඇති?
අපොයි ඔව්! මගේ පාසල් ගුරුවරියගේ මඟ පෙන්වීම යටතේ ඉංග්‍රීසි කවියක අවස්ථා දැක්වෙන සිතුවම් පෙළක් ඇඳ පාසලේ බිතුසිතුවමක් ලෙස ප්‍රදර්ශනය කළා.
අපූරු අවස්ථාවක්?
ඔව්! ඒ මඟීන් මා පාසලේ චිත්‍ර ඇඳීමට දක්ෂ ළමයා ලෙස ප්‍රසිද්ධියට පත්වුණා.
පාසල් යුගයෙන් පසු?
අපේ අම්මට ඕනෑ වුණේ මාව ගෘහ නිර්මාණ ශිල්පිනියක් කිරීමට.
නමුත් වෙන්නේ අන්තර්ජාතික තලයේ ප්‍රසිද්ධියට පත් චිත්‍ර ශිල්පිනියක්?
මගේ පියා මා තුළ තිබූ කුසලතාව හඳුනාගෙන තිබුණා.
ඒ කියන්නේ?
හෙමින් සීරුවේ මට සායම් සහ කොළ ගෙනවිත් දීමට පියා පුරුදුව සිටියා මේ ඇඳපු චිත්‍රයක් මටත් නොදන්වා තාත්තා ලංකා කලා සංගමයේ ප්‍රදර්ශනයකට යවා තිබුණා.
මේ චිත්‍රය ප්‍රදර්ශනය සඳහා තේරෙනවා?
ඔව්! මේ ප්‍රදර්ශනයෙන් පසුව නවමග අතිරේක කියවීම් පොත් පෙළේ 5 ශ්‍රේණියේ පොත සඳහා චිත්‍ර නිර්මාණය කිරීමට ලැබෙනවා.
එතකොට ඔබේ වයස?
18 යි. ඒ කාලේ මට චිත්‍ර ශිල්පය පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් තිබුණේත් නෑ!
පසුව?
අතිරේක කියවීම් පොත් ගණනාවක චිත්‍ර නිර්මාණය කිරීමට ලැබෙනවා.
ඔබ ටෛම්ස් ආයතනයට සම්බන්ධ වෙන්නේ?
නවමග අතිරේක කියවීම් පොත් පෙළේ සම්පාදක එච්.ඩී. සුගතපාල මහතාගේ හඳුන්වාදීම මත. එතකොට ලංකාදීප පත්‍රයේ කර්තෘ ඩී.බී. ධනපාල මහත්තයා.
ඔබ එහි ටික කාලයක් ගත කැර ‘ලේක්හවුස්’ ආයතනයට සම්බන්ධ වෙනවා?
ඒ 1952 වසරෙයි. ජනතා පත්‍රයේ ළමා පිටුව සංස්කරණය මට බාර වුණා.
මේ අනභිබවනීය චිත්‍ර ශිල්පිනිය ළමා කතා රචිකාවියක් වෙන්නේ?
එවකට ජනතා පත්‍රයේ ප්‍රධාන උපකතුවරයා වූයේ ධර්මපාල වෙත්තසිංහ ජනතා පත්‍රයේ ළමා කතාව ලියන ලේඛකයා වැඩට ඇවිත් නැති දවසක එයට කතාවක් ලියන්නැයි ධර්මපාල මට කිව්වා.
ඔබ ලිව්වා?
ඔව්!
කතාවේ නම
‘කුඩහොරා’
කුඩ හොරා ලියවගත්ත ඔහු පසු කලෙක ඔබේ සිත හොරා ගත්තා?
.... සිනා! ඔව්! මා විවාහ වෙන්නේ ධර්මපාල වෙත්තසිංහ සමඟයි. ළමා පොත් කතුවරියක හා චිත්‍ර ශිල්පිනියක ලෙස ආ ගමන් මගේ ආරම්භය එතනයි.
මෙය පොතක් ලෙස මුද්‍රණය කෙරෙන්නේ?
නවමග පොතක් ලෙස 1956 දී. අද වෙනවිට කුඩ හොරා ඉංග්‍රීසි, ජපන්, කොරියන්, චීන, ස්වීඩන් ආදී භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා.
චිත්‍ර නිර්මාණය කරමින් ඔබ විසින් එතෙක් මෙතෙක් පළ කළ පොත් සංඛ්‍යාව?
දෙසිය පණහකට අධිකයි. ඊට අමතරව වෙනත් රචකයන්ගේ පොත්වලට මා චිත්‍ර ඇඳි පොත් සංඛ්‍යාවත් විශාලයි.
ඔෙබ් වෙසක් පහන කතාවත් අන්තර් ජාතික ඇගැයුමට පාත්‍ර වෙනවා?
ඔව්! ඒ 1965 දීයි. එංගලන්තයේ කාන්තා කවුන්සලය මඟින් පිරිනමන ‘ඉසබෙල් හටින්’ ත්‍යාගයයි.
මෙය අන්තර්ජාතික සඟරාවලත් පළ වුණා?
ඒ ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සඟරාවේ හා 1979 දී යුනෙස්කෝව මඟින් පළ කළ ‘අද ආසියාවෙන් කතා’ පොතේ පළ වුණා.
ලංකාවේ?
1984 දී සිංහල බසින් පළවූ ෙහාඳම ළමා කෘතියටත් 1996 දී එහි ඉංග්‍රීසි පරිවර්තනයටත් හොඳම ළමා පොත ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා.
ඔබට එතෙර සහ මෙරටේ දී ලැබුණු සම්මාන හා උපහාර පිළිබඳව මතක් කළොත්.
අපෝ බොහෝමයි.
ටිකක් කියන්න?
මගේ ළමා පොත් අටක් වසර අටකදී හොඳම ළමා පොත් ලෙස රාජ්‍ය සම්මාන දිනා තිබෙනවා. ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය ලබා තිබෙනවා.
ඔබ වඩාත් ඇලුම් කරන සම්මානය?
කැලණිය රජමහ විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කළ සෝලියස් මැන්ඩිස් නමින් දෙනු ලබන සම්මානයයි. එය 2007 දී ලැබුණා.
ඔබ අන්තර්ජාතික ජූරි සභාවලත් කටයුතු කැර තිබෙනවා?
යුනෙස්කෝවෙත්, නෝමා කොන්කුවර්ස් චිත්‍ර තරගයේත් ටෙහෙරාන බියෙනාල ඔෆ් ඉලෙක්ට්‍රේෂන්ස් චිත්‍ර තරගය ආදී වශයෙන් ජූරි සභාවල කටයුතු කැර තිබෙනවා.
ඔබේ පවුලේ තොරතුරු ටිකක් දැන ගන්න කැමැතියි?
මගේ මහත්තයා 1988 දී නැතිවුණා.
දරුවන්?
හතර දෙනයි. සූරියා, ශසී, කුසලා සහ විනෝද් මා ඉන්නේ බාල පුතු විනෝද්ගේ පවුල සහ දියණි කුසලා සමඟයි.
දශක හතකට අධික කාලයක් පින්සලෙන් - පෑනෙන් දරුවන්ට ආමන්ත්‍රණය කරන ඔබ අද දරු පරපුර ගැන යමක් කියන්න?
තාක්ෂණය අද විශාල ලෙස දියුණු වී තිබෙනවා. නමුත් දරුවන් කොයි යුගයෙත් එකයි. දරුවන් තාක්ෂණයටම යට කළ යුතු නෑ. ඔවුන්ට ඔවුන්ගේ ලෝකය දිය යුතුයි.
ඒ කියන්නේ?
බලන්න! අද දරුවන් ළදරු පාසල් යන දවසේ ඉඳලා පහේ ශිෂ්‍යත්වයට යොමු කරලා. වැඩිහිටියන් ළමා ලෝකය හොරකම් කැරගෙන.
ඛේදජනක තත්ත්වයක්?
සත්තකින්ම! හරි කනගාටුයි. පුංචි කාලේ දරුවන්ට ආදරය කරුණාව පිරිලා ඉතිරිලා යන්න අවශ්‍යයි.
ඔබ පුංචි කාලයේ එලෙස ලැබුණා?
සම්පූර්ණයෙන් ලැබුණා! මා කුඩා කාලයේ දැන සිටියේ ආදරය කරුණාව මෛත්‍රිය පමණයි ඒ දරුවයි මා තුළ තවම ඉන්නේ.
ඒ කියන්නේ?
ළමයින්ගේ ළමා ලෝකය උදුරා ගැනීම මානව පරපුරට කරන විශාල අපරාධයක් මා ඔබට මා කුඩා කාලයේ කතාවක් කියන්නම්.
කියන්න! කැමැතියි දැන ගන්න?
අඟුරුවලින් ගෙයි බිත්තවල මා චිත්‍ර ඇන්දා. බිත්ති ගන්න දෙයක් නෑ. නමුත් මගේ දෙමවුපියන් මට දඬුවම් කළේ නෑ. මට නපුරු විදිහට දඬුවම් කළා නම් අද මා මෙතැන නෑ.
ඔබේ දෙමවුපියන් උගතුන්?
ඔවුන් මහ උගතුන් නොවේ. නමුත් ඔවුන් තුළ උතුම් ගතිගුණ හා දරුවන්ගේ සිතුම් පැතුම් වටහා ගැනීමේ හැකියාව තිබුණා. මගේ කතාවල නපුරු චරිත නැත්තේ ඒ නිසා විය යුතුයි.
අද?
ඔව්! ඇඟිලිතුඩුවලට තලයි. එහෙම නැත්නම් නපුරු විදිහට ප්‍රතිචාර දක්වයි.
අවසන් වශයෙන් මේ සමාජයට කිව යුතු යමක් තිබෙනවද?
අනේ ඔව්! මා අවධාරණයෙන් කියන්නේ දරුවන්ට දරුවන්ගේ ලෝකය දෙන්න ඔවුන්ගේ ලෝකය හොරා ගැනීමට කිසිම කෙනෙකුට අයිතියක් නෑ. එසේ කිරීම මහ අපරාධයක් වගේ ම මහ විනාශයක්.