
ඇමසන් වනාන්තරයේ තිබුණ වාතාවරණය දිනෙන් දිනම උග්‍රවන්නට විය. එයට හේතුව වූයේ බොහෝ දෙනා තුළ පැවැති සංයමයක් නොමැතිකමයි. මේ අතර ඉදිරියෙන්ම සිටියේ පිජංජරාවෝය. ඉතාමත් අමානුෂික දිවිපෙවෙතක් ගත කිරීම නිසා මොහු තමන්ගේ දෛනික කටයුතු පවා අවුල් කරගත්තේය. දඩයමේ යෑම මස් කෑම පමණක් නොව තම තමන්ගේ වර්ගයාගේ මස් කෑමට ද මොවුහු පුරුදු වූහ. පිජංරාවන්ගේ නායකයාට මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වීමෙන් තත්ත්වය තවත් උග්‍ර විය.
උදෑසන දඩයමේ යන පිරිමි පිජංජරාවෝ රාත්‍රි පැමිණීමට මත්තෙන් තම කූඩාරමට පැමිණෙති. තමන්ගේ රාජකාරිය අකුරටම කිරීමට ඔවුහු හුරු වී සිටිති. රාත්‍රියට තම කූඩාරමට පැමිණෙන, සඳ දෙස බලාගත් ඔවුන් වෙතින් සෞන්දර්යාත්මක සිතුවිලි නික්මෙයි. විටක මතුවෙන කවි සිතුවිලි ගල් පුවරු මත ඇඳීමට පටන් ගනියි. පිරිමින්ට නම් ජීවිතයේ අරුත වැටහෙන නමුත් ගැහැනුන්ට ඊට ප්‍රතිවිරුද්ධ දේම සිදුවෙයි. ගෝත්‍රික සටන්වලට මුහුණ දීමත්, ඉලක්ක දිනා ගැනීමත් මේ කාලයේ අවශ්‍යතාව වුවත්, ගැහැනුන්ට නම් ඒ ගැන වගක් නැත.
දිනක් රාත්‍රි සිහිනයකින් ගෝත්‍රික නායකයාට දෙවියන් දෙදෙනෙක් කතා කරන්නට වූහ.
'' එම්බා නායකය නුඹගේ ගෝත්‍රයට සිදුවී යන විපත නුඹ නොදන්නීද?"
නායකයා ද කලබල වී, ඇති වූ වික්ෂිප්ත බවින් ම පසුදා තම වරිගයේ සෙස්සන් කැඳවීය.
'' ඇයි නායකතුමනි, මේ හදිසි කැඳවීම? "
ගෝත්‍රිකයන් නායකතුමාගෙන් එලෙස ඇසීය. එහෙත් නායකතුමා සංසුන් සිත් ඇතිව මෙසේ පැවැසුවේය.
''ඊයේ රාත්‍රියේ සිහිනෙන් දෙවිවරුදෙනකු පෙනී සිටි නුඹලා හමුවීමට පැමිණෙන බව පැවැසුවා. ඒ අය නුඹලාට හොඳ නරක කියලා දෙනවා කියලාත් කිවුවා. ''
''මොනවා? ''
පිජංජරාවෝ තරමක් මවිත වී,
'' අනේ අපිට තේරෙන්නේ නෑ ඒ මොනවාද?''
නායකතුමා මදක් සිනා සී මෙලෙස කීය.
'' ඒ කියන්නේ මේ කැළෑවේ ජීවත් වෙන්න ඕන හොඳම ක්‍රමය''
''අපි මෙතුවක් කලක් ජීවත් වුණේ අපේ ක්‍රමයට. ඒක අපිට හොඳයි''
'' ඒත් එහෙම බැහැ. උඹලාගේ ක්‍රමයට ජීවත් වෙන්න ගිහිල්ලා නුඹලා විනාශ වෙනවා. ''
'' නෑ නෑ එහෙම වෙන්නේ නෑ. අපි කැමැති විදිහට ඉන්න දෙන්න .''
පිජංජරාවෝ කිසිවක් පිළි නොගත්හ. නායකතුමාට ද තැන තැන බැණ වදිමින් කාලය ගත කළහ. මේ කාලයේ ඇමසන් වනයේ ගස්වල කොළ හැලී දැරිය නොහැකි දරුණු නියඟයක් ඇති විය. එහෙත් ඔවුහු සුපුරුදු ලෙස කාලය ගත කළහ. නායකයා ද මේ අනුවණ කැළ සමඟ එලෙසම ජීවත් විය. සිහිනෙන් කතා කළ දේවතාවන් දෙදෙනා දර්ශනය වීමට පටන් ගත්තේ මේ අතරතුර කාලයේය. පිජංජරාවන්ගේ ගැහැනු දහවලේ තම සැමියන් ගෙනෙන දඩ මස් බොදා ගැනීමට නොහැකිව බොහෝ ආරවුල්වල පැටළුණහ. ඒ නිසා ම ඇතැම්හු මිය ගියහ. මේ තත්ත්වය උස්සන්න වීමෙන් අනතුරුව කිසිවකුගේ අවසරයක් නොමැතිව දෙවිවරු දෙදෙනා ඇමසන් වනයට පැමිණියහ.
මේ සිදුවිම දෙස පුදුමයෙන් බැලූ ගෝත්‍ර වාංශිකයෝ තම නායකයාට දොස් පවරමින් දෙවිවරුන් දෙදෙනා වෙත ගියහ.
'' ඇයි අපට කැමැති විදිහට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ? ''
'' එම්බා ස්ත්‍රියනි, නුඹලා කැමැති ආකාරයට ජීවත් වීම නොව ජීවිතය කියන්නේ හරියට ජීවත් වීමයි.'' මෙලෙස පැවැසූ දෙවිවරු දෙදෙනා,
''මින් මතු අපි නුඹලා කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. ඉන් එක් වර්ගයකට මල් නෙළීමටත්, අනිත් අයට ඉටි පන්දම් දැල්වීමටත් නියම කරනවා.''
'' ඔව් නුඹලා කැමැතියි නේද? ''
'' අපි දෙදෙනාගෙන් එක් අයෙක් මල් නෙළන කණ්ඩායම භාර ගන්නවා. අනෙකාට ඉටි පන්දම් දල්වන කණ්ඩායම බලාගැනීමේ වගකීම පැවැරෙනවා.''
මේ අනුව දෙවිවරු දෙදෙනා කණ්ඩායම් දෙකක් වෙන් කර ඔවුනොවුන්ට කළ යුතු නොකළ දේ පිළිබඳ දැන්වීම් පුවරුවක් ද පෙන්වූහ. එහෙත් මොවුන් සිරුරට පොරවා ගෙන ඇති කටු රෙද්ද එලෙස තැබීමට දෙවිවරු දෙදෙනා තීරණය කළහ. මේ කටු රෙද්ද නිසා බොහෝ කාන්තාවන්ගේ සුන්දරත්වය ගිලිහී රුදුරු පෙනුමක් පැමිණ තිබිණි.
'' අපි දැන් ඉටි පන්දම් පත්තු කරන්නේ කාටද? ''
'' නුඹලාගේ ඉටු දෙවියන්ට. අපි නුඹලාට පාර පෙන්නුවා පමණි ''
'' ඇත්තටම,''
බොහෝ කාන්තාවෝ උනන්දුවෙන් ඇසූහ.
''යම් ලෙසකින් නුඹලා මේ මල් සේම නුඹලාගේ සිත පවිත්‍ර කරගනිත්වා. එමෙන්ම ඉටි පන්දම් එළියෙන් නව ජීවයක් ලබත්වා.''
දෙවිවරු දෙදෙනා ප්‍රාර්ථනා කළහ. මේ අවවාද කාන්තාවෝ පිළිගත්හ. දෙවිවරු දෙදෙන කාන්තාවන් අමතා මෙසේ කීහ.
'' හැබැයි මේ ප්‍රතිපත්ති දිගින් දිගට අනුගමනය කරන්න ඕනේ ''
කාලයක් ගෙවී ගියේය. කාන්තාවෝ කියූ ලෙස මේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටිහ. එහෙත් එය අමතක වී යාමට එතරම් කාලයක් ගත නොවීය. මල්වලින් නමස්කාර කරන කාන්තාවන් මෙන්ම ඉටි පන්දම්වලින් නමස්කාර කරන කාන්තාවන් දෙපාර්ශ්වයටම දෙවියන්ගේ කියමන් අමතක විය. ඇමසන් වනාන්තරයේ තිබූ අඳුරු තත්ත්වය යළිත් හිස වීය. කාන්තාවෝ තමන්ගේ පිරිහුණ ප්‍රතිපත්ති සමඟ ජීවත් වීමට පටන් ගත්හ. යළිත් දෙවිවරු දෙදෙනා පෙනී සිට මෙලෙස පැවැසූහෙ
'' කෝ... නුඹලාගේ ප්‍රතිපත්ති, අපි නුඹලාට ඉගැන්නූ ඒවා දැන් නුඹලා ළඟ නැහැනේ.''
'' අනේ නැහැ. අපි ආයිත් ඒවා කරන්නේ නැහැ. අපි ඒ විදිහටම ඒවා කරන්නම්. අපිට දඬුවම් කරන්න එපා.''
යළිත් දෙවිවරුදෙදෙනා පෙර සේ සමාව දී යෑමට පිටත් වූහ.
'' නුඹලා කටු රෙදි පෙරවූවාට කමක් නැහැ. ඒත් අධ්‍යාත්මය පිරිසුදුව තියෙන්න ඕනේ.''
සෑම කාන්තාවක්ම අධ්‍යාත්මය පිරිසුදුව තබා ගැනීමට වෙහෙසුණි. මේ නිසා නැවැතත් ඇමසන් කලාපය ලස්සන විය. දෙවිවරු දෙදෙනා නැවැත පැමිණියහ.
'' ආ.... අද නම් නුඹලාගෙන් බොහෝ දෙනෙක් හොඳයි. ඒත් ඇයි නුඹලා දෙදෙනා"
කාන්තාවන් දෙදෙනෙක් වෙතට ඇඟිලි දිගු කරමින් ඇසීය.
'' නෑ නෑ අපි හොඳින් ඉන්නවා''
'' හොඳින් ඉන්න බව පේනවා. ඒත් නුඹලා දෙන්නා සමාජයට පිට කරන්නේ විෂ. බලන්න එකපැත්තකින් හිනා වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ළඟම මිතුරාට හතුරුකම් කරනවා. කොයින්ද නුඹලා දෙන්නා ළඟ පිරිසුදු බව. හැම තිස්සේම මිනිසුන්ගේ වැරැදි හොයනවා. ඇනුම් පද කියනවා. මිනිස්සුන්ට අපහාස කරනවා. කවදාවත් නුඹලාට හොඳ දේ පුරුදු කරන්න වෙන්නේ නැහැ. ''
ස්ත්‍රීන් දෙදෙනා විශ්මයෙන් අයාත් මුවින් බලා සිටීහ.
'' නෑ නෑ එහෙම නෑ. අපි ඔබතුමාලා කියපු විදිහට හිටියා. අපි ඉටිපන්දම් දැල්වුවා. මල් රැගෙන නමස්කාර කළා."
ඔවුහු කීහ.
'' වැඩක් නෑ නුඹලා අපි කී ආකාරයට ඉටිපන්දම් දැල්වුවත්, මල් රැගෙන නමස්කාර කළත් නුඹලා ළඟ ආගමිකකම නැහැ. නුඹලා ළඟ තියෙන්නේ ආගමික හම විතරයි. නුඹලා නාමික වූවෝ පමණයි.''