ඉන්දි­යාව චීනය වායු දූෂ­ණ­යෙන් මුලට | සිළුමිණ

ඉන්දි­යාව චීනය වායු දූෂ­ණ­යෙන් මුලට

චීනය සහ ඉන්දියාව ලෝකයේ සියලු රටවල් අතරින් වැඩිම වායු දූෂණය සිදු කරන රටවල් ලෙස වාර්තා පොතට එක් වී තිබේ. වායු දූෂණය අතින් දිල්ලි සහ බීජිං නගර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් වායු දූෂණය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාවද මේ රටවල ඉතා ඉහළ අගයක් ගන්නා බවත් වාර්තා වී ඇත.

ලෝකයේ වසරකට සාමාන්‍යයෙන් මිනිසුන් මිලියන 9ක් මිය යන අතර එම සංඛ්‍යාවෙන් මිලියන 2.5ක් වායු දූෂණය හේතුවෙන් සිදු වන මරණ ලෙස ගණනය කළ යුතු බවද හෙලි වී තිබේ. මෙලෙස වායු දූෂණය හේතුවෙන් සිදු වන මරණ මිලියන 2.5 අතරින් මිලියන 1.8ක්ම චීනයෙන් වාර්තා වේ. ඉන්දියාවේ මරණ සංඛයාවද ඉතා ඉහළ අගයක් ගනී.

වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සලකන විට එය ඒඩ්ස් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවත් ක්ෂය රෝගය සහ මැලේරියාව යන මරණ කාරක දෙකම හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාවට සමාන කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. එමෙන්ම මේ මරණ සංඛ්‍යාව සමස්ත ලෝකයේ යුද්ධ හේතුවෙන් මිය යන මිනිසුන් සංඛ්‍යාව මෙන් පහළොස් ගුණයකි.

මේ අන්දමින් බලන විට වායු දූෂණය හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් සමස්ත මිනිස් වර්ගයාම අවධානය යොමු කළ යුතු බවත් ප්‍රකාශ වී තිබේ.

වායු දුෂණය මේ වන විට මුළු ලොවම මුහුණ පාන ප්‍රබල ගැටලුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වායු දුෂණය හේතුවෙන් ඇතිවන රෝග සෘජුව මෙන්ම වක්‍රවද මරණවලට හේතු කාරක වේ.

එ් අනුව වායු දූෂණය හේතුවෙන් හෘදයාබාධවල සිට ලය පිළිකා, පෙනහලු පිළිකා දක්වා ඇති විය හැකිය.

එපමණක්ද නොව මරණය සිදු නොවූවද දිවි ඇතිතෙක් අතිශය වේදනාවෙන් පෙළීමට සිදුවන රෝගාබාධ රැසක්ද වායු දූෂණය හේතුවෙන් ඇති විය හැකිය. 

 

Comments