BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 අතවරවලට එරෙහිව ප්‍රියංකාගේ හඬත්

සුරූපී නිළියන් බොහෝ දෙනකු පසුගිය සති කිහිපය තුළ වරින් වර ප්‍රකාශ කළ කාරණයක් තිබුණා. ඒ තමයි, සිනමා ලෝකය තුළ සිදුවන ලිංගික අතවරයන්. බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩයට ගිය ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාත් මේ ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබුණා. ඒ, ඇමරිකාවේ තිබු එක්තරා උත්සව අවස්ථාවකදීයි. මාරි ක්ලැරී විලාසිතා දැක්ම වෙනුවෙන් පැවැති මේ උත්සවයේදී ඇය පැවසුවේ චිත්‍රපට රූගත කිරීම්වලට සහභාගි වන නිළියන් බොහෝවිට අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ ලිංගික අතවරවලට ලක්වන බවයි.

ප්‍රියංකා මේ කාරණය වඩාත් ඉස්මතු කළේ පසුගිය සතිය තුළ කාගේත් අවධානයට ලක්වූ චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ චිත්‍රාගාර හිමියකු පිළිබඳ සිදුවීමක් සිහිපත් කරමින්. හාවේ වීන්ස්ටීන් නම් වූ මේ ධනවත් පුද්ගලයාට චෝදනාවන් එල්ල වුණා. ඔහු නිසා සුරූපී නිළියන්ගෙන් ඇතැම් අය අතවරයන්ට ලක්වූ බවයි, ඒ චෝදනාවලින් කියැවුණේ.

“ඇත්තට ම ඒක ලිංගිකත්වයට ම සීමා කරන්න බැහැ. ඒක බලය පිළිබඳ කතන්දරයක්. කිසි ම කාන්තාවක් ඉඩ දිය යුතු නැහැ, මේ බලය පතුරුවන්න.” ප්‍රියංකා දැඩිව අවධාරණය කළා.

මේ දිනවල ප්‍රියංකා කාර්ය බහුල තත්වයක පසුවෙනවා. සුප්‍රකට ‘ක්වොන්ටිකෝ’ ටෙලි කතා මාලාවේ දෙවැනි අදියර රූපගත කිරීම් සිදුවන නිසා ඇය දැන් ඒ සඳහා එක්වී සිටිනවා.

මේ අතර ඇමරිකාවෙන් ලැබුණු උණුසුම් පුවතක සටහන් වුණේ බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේ පිහිටි මනරම් නිවසක් ප්‍රියංකා විසින් බද්දට ගෙන ඇති බවයි.

අජේ කනස්සල්ලෙන්

සුපිරි නළු, අජේ දේව්ගන් පසුගිය දිනවල කාලය ගත කළේ දැඩි අවිවේකී බවකින්. ඒ, ඔහු රඟපෑ ‘ගෝල්මාල් අගේන්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන් වලට සහභාගි වීම නිසයි. මේ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ ‘දීපවාලී’ උත්සව දිනයේදීයි.

අජේ රඟපෑ තවත් චිත්‍රපට දෙකක් දැන් තිරගත වෙනවා. ඒ, ‘ගෙස්ට් ඉන් ලන්ඩන්’ සහ ‘බාඩ්ෂෝ’. ‘ගෙස්ට් ඉන් ලන්ඩන්’ හි අජේ රගපා ඇත්තේ ආරාධිත චරිතයක්. අජේ ප්‍රධාන චරිතයක් රඟපෑ ‘බාඩ්ෂෝ’ තිරගත වීමත් සමඟ ම සිනමා කර්මාන්තයේ නියැළී බොහෝ දෙනකු පැවසුවේ ‘බාඩ්ෂෝ’ චිත්‍රපටයේ ආදායම රු. කෝටි 100 ඉක්මවන බවයි. නමුත් ඒ අනාවැකිය සැබෑවක් බවට පත්වුණේ නැහැ. එම චිත්‍රපටය ලැබුවේ රු. කෝටි 78 ක ආදායමක් පමණයි.

මෙයට හේතුව දැක්වූ අජේ පැවසුවේ, ‘බාඩ්ෂෝ’ චිත්‍රපටය ඉන්දියාවේ සිනමා සංකීර්ණයන්ට රොක්වන ප්‍රේක්ෂකයන් අතරට නොගිය නිසා මේ අසාර්ථකත්වය සිදුවුණාය කියලයි. ඒ විතරක් නොවෙයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මිලාන් ලුත්රියාට දොස් නගන්නටත් අජේ පසුබට වුණේ නැහැ. “මේ චිත්‍රපටයේ උච්චතම අවස්ථාවන් මතුවන දර්ශන අධ්‍යක්ෂවරයා ගේ වුවමනාවට අයින් කරලා තිබුණා. ඒ නිසා චිත්‍රපටයට සිද්ධ වුණේ අවාසියක්. ම‍ට නම් හිතාගන්න බැහැ ඇයි එයා ඒ වගේ අත්‍යවශ්‍ය දර්ශන අයින් කළේ කියලා.” අජේ තම කනස්සල්ල පළකළා.

රන්වීර් - දීපිකා ප්‍රේමය දෙදරා යයි?

පූජනීය ආදරයක් ගැනයි බොලිවුඩ් පුරයෙන් අපට අහන්නට ලැබුණේ. මේ ආදර කතාවේ පෙම්වතා සහ පෙම්වතිය තමයි, රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්. මේ දෙදෙනාගේ ආදරය වසර 4 ක් පැරැණියි. කවුරුත් කියන්න පටන් ගත්තේ බොලිවුඩ්පුරයේ සැබෑ පෙම් යුවළ රන්වීර් සහ දීපිකා කියලයි. ඒත් මේ දෙදෙනාගෙන් එක් කෙනකුවත් තමන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ.

මීට සති කිහිපයකට පෙර දැන ගන්නට ලැබුණේ දීපිකා, රන්වීර් සහ පවුලේ අය මෙන් ම සමීප ඥාතීන් කිහිප දෙනකු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වුණාය කියලයි. වැඩ කටයුතු අධිකව තිබුණත් දීපිකා ඒ සියල්ලට ම කෙටි විරාමයක් තබා මේ සුහද හමුවට එක්වුණා. ඉන්පසුව කවුරු කවුරුත් ප්‍රකාශ කළේ රන්වීර් - දීපිකා පෙම් කතාව අලුත් මාවතකට යොමු වූ බවයි.

හැම දෙනාගේ ම බලාපොරොත්තුව වුණේ රන්වීර් - දීපිකා පෙම මල් ඵල ගැන්වෙනු ඇතිය කියලයි. විශේෂයෙන් ම රන්වීර් ගේ පවුලේ උදවිය එලෙස සිතුවා. නමුත් මීට දින කිහිපයකට උඩදී දීපිකා විසින් කරන ලද එක්තරා ප්‍රකාශයකින් සියලු බලාපොරොත්තු සුන්වී ගියා. ප්‍රවීණ නිළි හේමා මාලිනීගේ චරිත කතාව රැගත් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී අදහස් දැක්වූ දීපිකා පැවසුවේ ‍තමන් ගේ සාර්ථකත්වය නොඉවසන අය සිටින බවයි. මේ නිසා තම‍‍ පෙම් සබඳතා වේදනාකාරී වූ බවත් ඇය පැවසුවා.

දීපිකාගේ මේ අදහස් පාපොච්චාරණය කිරීමක් ලෙසයි බොලිවුඩ් මාධ්‍ය හඳුන්වා දී තිබුණේ. ඇගේ මේ කතාව නිසා රන්වීර් සමඟ තිබෙන සබඳකම පලුදු විය හැකි යැයි ද ඔවුන් පවසනවා. 

 

Comments