හේම­න්තය ගෙවී යද්දී ජපා­නයේ සුන්ද­ර­ත්වය දුටු­වෙමි | Page 5 | සිළුමිණ

හේම­න්තය ගෙවී යද්දී ජපා­නයේ සුන්ද­ර­ත්වය දුටු­වෙමි

මහා මැතිවරණයට සති දෙකක් තිබියදී ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ ආරාධනයක් පරිදි සකුරා මල් පිපෙන සුන්දර ජපානයට පා තබන්නට මට අවස්ථාව උදා වුණි.

කොළඹ සිට පැය නමයක ගුවන් කාලයකින් පසු මා ජපානයට ළඟාවන විට ජපානයේ වේලාව උදේ 8.30 පමණ වී තිබිණි. තරමක ශීත කාලගුණයක් ටෝකියෝ නගරය අවට තිබුණ අතර 'හේමන්තය' ගෙවී යමින් තිබුණේය.

ටෝකියෝ ගුවන් තොටුපොළට පැමිණ සිටි මීනාකෝ තකහටා (Minako Takahata) මහත්මිය ඉතා උණුසුම් ලෙසින් මාව පිළිගත්තාය. පසුව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය මා වෙනුවෙන් සකස් කැර තිබූ ඉතා කාර්යබහුල කාලසටහන ඇය පැහැදිලි කළාය. ජපානයේ සිටි මුළු කාලය පුරාම ඇය භාෂා පරිවර්තිකාව ලෙස මා සමඟ සිටිමින් දැක්වූ සහය මෙහිදී සිහිපත් කිරීම වැදගත්ය. ඇය ජපන් භාෂාවට නොදෙවෙනි ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීම නිසා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යබහුල එහෙත් සිත්ගන්නා සුළු කාලසටහන ඔස්සේ ඉදිරියට වැඩ කටයුතු කැරගෙන යෑමට මට පහසු විය.

යුරෝපයේ හා අප්‍රිකාවේ රටවල් ගණනාවක මම සංචාරය කර තිබේ. ඒ සෑම සංචාරයකදීම ඒ ඒ රටවල මිනිසුන්ගේ හැසිරීමේ ස්වභාවයද, සොබාදමේ සොඳුරු බවද, රටවල් වල ස්වභාවයද තරමක් හෝ වටහා ගැනීමට මට හැකිවිණි. එහෙත් ඒ සෑම රටකටම වඩා ජපානය මගේ සිත් ගත්තේය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සිත නිවෙන සොඳුරු පරිසරයත්, ජපානයේ ඉහළ සිට පහළට විහිදී ගිය ආචාරශීලී බවත්ය. හිස නමා එකිනෙකා ආචාර කරමින් ගෞරව සම්ප්‍රයුක්තව කරන සංවරශීලී කතා විලාශය ජපාන සංස්කෘතියේ අපූර්වත්වය මගේ මනස වෙනස් කෙළේය.

ලෝකයේ අනෙක් දියුණු රටවල් මෙන් ජපාන ජනතාව ප්‍රධාන වශයෙන් ගමන් බිමන් යන්නේ දුම්රියෙනි. මුළු මහත් ජනතාවගෙන් සියයට 80ක් පමණ දුම්රිය ප්‍රයෝජනයට ගනිති. මේ සෑම දුම්රියක්ම විදුලි බලයෙන් ධාවනය වන අතර විදුලි වේගයෙන් ගමන් කරයි. දුම්රිය මැදිරි ගුවන් යානයක අයුරින් සුඛෝපභෝගීව නිර්මාණය වී ඇති අතර මැදිරි 10 සිට 15ක් දක්වා සවි කැර ඇත. මෙහි විශේෂත්වය වන්නේ දුම්රිය හා දුම්රිය වේදිකාව මඟීන්ට බැසීමට හා නැඟීමට පහසුවන ලෙස එක සමාන්තරව ඉදිකැර තිබීමයි. යුරෝපයේ ඇතැම් රටවල්වල මේ අයුරින් දුම්රිය වේදිකා ඉදිකැර තිබීම දැක ඇත්තෙමි. නමුත් අපේ රටේ දුම්රියකට නැඟීම හා බැසීම ජීවිතයත් මරණයත් අතර සටනක් වන්නේ දුම්රිය හා දුම්රිය වේදිකාව අතර ලොකු පරතරයක් තිබෙන බැවිනි.

දුම්රිය පොළ වේවා බස් නැවතුම වේවා කොතනක හෝ වේවා සියල්ලන් තුළ ඇත්තේ පුදුම ස්වයං විනයකි. තමන්ට මොන තරම් හදිසියක් තිබුණත් පෝලිම් කඩා පැනීමක් අනිකා තල්ලු කැර ඉදිරියට පැමිණ තම අවශ්‍යතාවය ඉටු කැර ගැනීමට ජපාන ජාතිකයන් තුළ පුරුද්දක් නැත.

ජපානයේ ටෝකියෝ, කියෝතෝ, හිරෝෂිමා, ඔසාකා, නාගසාකි වැනි ප්‍රධාන නගර පමණක් නොව සමස්ත ජපානයේ සෑම නගරයක්ම වීදියක්ම පළාතක්ම ඉතාම පිරිසුදුය. දිනකට ලක්ෂ ගණනින් මිනිසුන් එහා මෙහා යන මාර්ග, දුම්රිය පොළවල , බස් නැවතුම් පොළවල කඩදාසි කෑල්ලක් සිගරට් කොටයක් දකින්නට නොලැබීම පුදුමයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ජපාන ජනතාව තුළ තිබෙන ස්වයං විනයයි. ස්වභාදහමට හා මහ පොළවට ආදරය කරන ලස්සනට අඳින පළඳින මිනිසුන් සිටින රටක විනයක් තිබීම පුදුමයට හේතුවක් නොවේ. ස්වයං විනයත් නියමිත වේලාවට වැඩ කිරීමත් නිසා අද ජපානය සංවර්ධන ඉලක්ක අභිබවා ලෝක බලවතෙකු වූ බව කිව යුතුය.

ජපානයේ ඇතැම් පිරිමින් මෙන්ම කාන්තාවෝද සිගරට් බොති. ඊට තහනමක් නැත. නමුත් තැන් තැන් වල සිගරට් බීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කැර ඇත. මේ පසු පස හඹා යමින් වරදකරුවන් නීතියේ රැහැනට හසුකැර ගැනීමට ජපානයේ කවුරුත් නැත. නමුත් සියලු ජපාන වැසියන් ඒ ක්‍රියාව නිසි තැන කළ යුතු බව දනී.

ජපානයේ මා ගත කළ කාලසීමාව තුළ එක් පොලිස් නිලධාරියකු පමණක් දුටුවෙමි. ඒ ටෝකියෝ දුම්රිය පොළ ආසන්නයේදී හැර වෙන කිසිම තැනකදී පොලිස් නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් මගේ නෙතට හසුවූයේ නැත. එමෙන්ම ආරක්ෂකයන් පිරිවරා ගෙන මාර්ග නීති කඩා ඉදිරියට ඇදෙන දේශපාලනඥයන් මා දුටුවේ නැත. මේ පසුබිමෙන් ලෝක ප්‍රජාවට ජපානය කියා දෙන පාඩම කුමක්ද. ඒ පාඩම වන්නේ අදත් හෙටත් 'ජපානය සාම රාජ්‍යයක්' ය යන පාඩම නොවේද?.

ජපානයේ රියැදුරන්ටද ස්වයං විනයක් තිබේ. ඔවුන් අපේ රටේ රියැදුරන් මෙන් කට ගොන්නක් බී ගෙන රියැදුරු බලපත්‍ර නොමැතිව නිසි වයස සම්පූර්ණ වීමට පෙර වාහන ධාවනය කරන්නේ නැත. රියැදුරන් කුමන හෝ ඇඳුමක් ඇඟේ පටලවා ගෙන වාහන ධාවනය කරන්නේ නැත. ඔවුන් ඉහළ සිට පහළට නීතිගරුක, විනීත පිරිසක් වෙති. සෑම රියැදුරෙකුම සුදු අත් මේස්, ටයි, කෝට් ඇඳ කළු සපත්තු කළු තොප්පියක් පැළඳ සිටිය යුතුය. අපේ රටේ මෙන් ජපානයේ ටැක්සි කුකුල් කූඩු නොවේ. සෑම ටැක්සියක්ම ඉතා හොඳට ඉඩ පහසුව ඇතිව ගමන් කළ හැකි ටොයෝටා ක්‍රවුන් වර්ගයේ රථවීම විශේෂත්වයකි. සෑම ටැක්සියක්ම රියැදුරුගේ ඡායාරුපය සමඟ ජීව දත්ත ඇතුළත් දැන්වීමක් රියැදුරු අසුණේ සවිකැර ඇත්තේ ටැක්සියේ ගමන් කරන පුද්ගලයාට (මඟියාට) දැනගැනීම සඳහාය. යම් මඟියෙක් ටැක්සියට ගොඩවී යා යුතු ස්ථානය රියැදුරාට දැන්වූ විගසම ඔහු තම අසුන ළඟ සවිකැර ඇති කුඩා කොම්පියුටරයේ ගූගල් සිතියම පණ ගන්වා යා යුතු ස්ථානය නිවැරැදිව සොයා ගනී. මෙයට අමතරව යම් රියැදුරෙකු බීමත්ව හෝ බලපත්‍ර නොමැතිව හෝ තම රථය ධාවනය කැර අසුවුවහොත් ඔහුට බේරීමට නොහැකිය. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකු නැති අතර දඩ පිට දඩ ගෙවීම හැර වෙන කිසිවක් ඉතුරු වන්නේ නැත.

ජපානයේ කුලී ටැක්සි රියැදුරන්ගෙන් බහුතරයක් රටේ ‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම තවත් විශේෂත්වයකි. ඔවුන් වයස අවුරුදු 55 ඉක්මවා ගිය සමාජ වගකීම් මනා ලෙස තේරුම්ගත් අත්දැකීම් බහුල පුද්ගලයෝ වෙති. ඔවුන්ගෙන් බහුතරයක් රියැදුරු රැකියාව කිරීමට පෙර වෙනත් ආයතනවල රැකියා කැර විශ්‍රාම ගිය අය වෙති. තම විශ්‍රාම වැටුප බැංකුවක තැන්පත් කැර අමතර ආදායමක් ඉපැයීමේ බලාපොරොත්තුවෙන් ටැක්සි රියැදුරු රැකියාව කරන බව ම‍ගේ පරිවර්තිකාව මීනා මට පැවසුවාය.

අනේ දෙයියනේ ඒකට අපේ රට. පාසල් ජීවිතය අතරමඟ නැවතීම හෝ විභාග අසමත් වූ විට මවුපියන් මුලින්ම කරන්නේ කෙසේ හෝ ණය වී රෝද තුනේ ටැක්සියක් තම පුතාට අරන්දීමයි. අද අපේ රටේ ටැක්සි රියැදුරන්ගෙන් (ත්‍රීරෝද ඇතුළුව) සියයට 90ක් අවුරුදු 18 - 45 අතර වයසේ පසුවෙති. ඔවුන්ට සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් නොමැති අතර වෙනම උප සංස්කෘතියක කොටස්කරුවෝ වෙති. මේ නිසා සමාජ හර පද්ධති විනාශ වී යන අතර මුදල මුල් තැන ගත් පසුබිමක් ගොඩනැඟේ. ඒ තුළ මිනිස් ජීවිත මුදලට සීමා කරන තත්ත්වයක් දක්නට ලැබෙන බව සත්‍යයකි.

වර්තමාන ජපානයේ තරුණ පරපුර ඉතා වේගයෙන් බටහිරකරණය වී ඇති බව පෙනෙන්න තිබේ. ඇතැම් උත්සව වලදී ඇතැම් තරුණියන් ජපාන සම්ප්‍රදායේ 'කිමෝනාව' අඳින අතර තරුණයන් දිගු කබායක් අඳිති. කෙසේ නමුත් ජපානයේ තරුණ මහලු හැම දෙනා ඉතා පිරිසිදුව හා ඉතා අලංකාරව අඳිති. පළඳිති. විනයානුකූලව කටයුතු කරති.

ජපානයේ කිසිම නගරයක ගමන් කරන මෝටර් රථයකින් කන්බිහිරි කරවන නලා හඬවල් ඇසෙන්නේ නැත. ඊට හේතුව වන්නේ ජපාන රියැදුරන් ඉතා විනයගරුකව මාර්ග නීති පිළිපදිමින් ගමන් කරන බැවිනි. බස් රථයකදී දුම්රියකදී මඟීන් සතු ජංගම දුරකථනවල විවිධ නාද රටා විටින් විට නොඇසීම තවත් විශේෂත්වයකි. එසේම අපේ රටේ මෙන් දවාලක් රාත්‍රියක් නැතිව මොර හඬ දෙන ශබ්ද විකාශන ජපානයේ නගරවලින් නම් ඇසෙන්නේ නැත. කෙසේ නමුත් සති කීපයකට සුර ලොවකට ගියා දැයි මට වැටහුණේ නැවතී සිටි ‍හෝටලයට පැමිණ පසුදින වැඩ සැලසුම් කැර මධ්‍යම රාත්‍රියේ නින්දට යන මොහොතේය.

ජපානයේ ප්‍රධාන නගරවලින් ඈත්ව ගම්මානවලට ගමන් කරන්නෙකුට ඇතිවන හැඟීම ඉතා මනරම්ය. කියෝතෝ (Kyoto) නගරයේ සිට කිලෝමීටර් 50කට වැඩි දුරකින් යුත් 'මියාමා' ගම්මානයට මා පැමිණෙන විට අධික වර්ෂාවත් දැඩි ශීතලත් පැවතියේය. මේ සුන්දර ගම වට කරමින් කඳු වළල්ලක් තිබේ. එක් පැත්තකින් කුඹුරුද, තවත් පැත්තකින් විවිධ කර්මාන්තශාලා ද දක්නට තිබේ. මේ 'මියමා' ගමේ බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන හා දැව කර්මාන්තය මුල්කරගත් රැකියාවන්ය. මේ සුන්දර ගම්මානයට පා තබන විටම මගේ මතකයට ආවේ කොළඹ නගරයට ආසන්නව ඇති මොරටුවයි. ඒ මන්ද යත් 'මොරටුව මෙන්' 'මියමා' ගමේදී ද ගසට ගස් මුණ ගැසෙන බැවිනි. නමුත් මොරටුවට වඩා මේ 'මියමා' ගම ඉතා සුන්දරය. ඒ ඇළ දොළ ගංගාවලින් හා කඳුවලින් සුන්දරත්වය මතු කැර පෙන්වන බැවිනි.

මේ ගමේ මිනිසුන් එක් ගසක් කැපූ විට ගස් දෙකක් සිටුවීම පුරුද්දකි. ඒ නිසා ගම්මානයේ ඇති සුන්දරත්වය සැමදා රැකෙමින් පවතී. ජපානය පුරා ඇති උද්‍යාන, කඳු, ගංගා, ඇළ දොළ, කැලෑ හා වෙරළ රැකගැනීම සඳහා ගෙන යන වැඩසටහන අද හඳුන්වනු ලබන්නේ 'සාතෝචි සතයාමා' නමිනි. මේ වැඩසටහන සාර්ථක කැර ගැනීම සඳහා මියමා ගමේ දැව කර්මාන්තකරුවෝ සිය ශ්‍රම දායකත්වය ලබා දෙති. මතු පරපුරට පරිසරය උරුමකර දීම මේ දැව කර්මාන්තකරුවන්ගේ දර්ශනයයි. ජපාන පරිසර අමාත්‍යාංශය අද පළාත් 10ක මේ 'සාතෝචි සතයාමා' වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යමින් පවතී.

තවත් පැත්තකින් ජපානයේ ගම්මාන වල ඇති ගොවිබිම් හා වගුරුබිම් ගොඩකිරීමට අවසරයක් නැත. අපේ රටේ වගුරුබිම් ගොවි බිම් ගොඩකිරීමට නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් මැදිහත් වූවද ජපානයේ එසේ සිදු වන්නේ නැත. ඒ ඔවුන් පරිසරයට ආදරය කරන ජාතියක් ලෙස කටයුතු කරන බැවිනි. එමෙන්ම ජපාන මිනිසුන් මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම ඔවුන්ගේ මූලික සටන් පාඨය වී තිබීම නිසාය.

ජපාන මහ මැතිවරණයට සති දෙකක් තිබියදී එහි සංචාරය කළ මට ඡන්ද උණුසුමක් දැනුනේ නැත. ජපානයේ පළවන ඉංග්‍රීසි පුවත්පත්වල මැතිවරණයට සම්බන්ධ ප්‍රවෘත්ති පළවී තිබුණත් ජනතාව ඡන්දය ගැන ප්‍රසිද්ධියේ කතා කරන ස්වභාවයක් දක්නට නොලැබිණි. එමෙන්ම අපේ රටේ මෙන් ජනතාවට හිනාවෙන ඡන්ද අපේක්ෂකයන්ගේ යෝධ පෝස්ටර්, කටවුට් ජපානයේ වීදිවල ප්‍රදර්ශනය වී නොතිබීම විශේෂ ලක්ෂණයකි. නමුත් ආසියාවේ හා යුරෝපයේ ඇතැම් රටවල ඡන්ද අපේක්ෂකයන්ගේ පෝස්ටර්, කටවුට් මම දැක ඇත්තෙමි. මහා මැතිවරණය සම්බන්ධයෙන් ජපාන ජනතාවගෙන් විමසූ හැම විටම ඔවුන් පැවසුවේ අගමැති අබේට වැඩි වාසියක් ඇති බවයි. මේ වන විට ජපාන මැතිවරණය නිම වී දින කීපයකි. ජපාන ජනතාව නැවත වරක් අගමැති අබේ බලයට පත් කැර ඇත්තේ ලෝකය ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා බව නම් සැබෑය.

ජපානයේ කළ සංචාරයෙන් පසු 

Comments