සිමෙන්ති මිත්‍රයෝ 361 ට අනු­ග්‍ර­හය දැක්මකි | සිළුමිණ

සිමෙන්ති මිත්‍රයෝ 361 ට අනු­ග්‍ර­හය දැක්මකි

ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර වේදිකා නාට්‍යයක නමකි. නමක් කිව්වට එක පාරටම රූපවාහිනි චැනල් එකකින් ප්‍රේක්ෂකයා දකින , දැකල පුරුදු තරමක් ආන්දෝලනාත්මක වැඩසටහනක නමක් මතකයට ගේන නමක්. නාට්‍යයේ නමත් එක්ක නාට්‍ය නිෂ්පාදකයාගෙ මුහුණත් එයාගේම මීට ඉස්සර නාට්‍යයේ සමීප රූපයකුත් ඉන්ද්‍රචාප දකිනවා.

නාට්‍යයේ නම 361. නිෂ්පාදකයගෙ සමීපරූපෙ ඉන්නේ උදයසිරි වික්‍රමරත්න කියන තරමක පෙරළිකාර නාට්‍යයක් කලින් වේදිකාවට ගෙන ආපු තරුණ නිෂ්පාදකවරයා. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයෙ චරිත තුනක් ප්‍රේක්ෂකයන් අමතන දර්ශන ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට එකතුවෙනවා. ජයලත් මනෝරත්න, මාධනි මල්වත්තගේ , නලීන් ප්‍රදීප් උඩවෙල. මේ තුන්දෙනාගෙ රංගනය ඉන්ද්‍රචාපගෙ සමීපරූප ඇඳුණෙ කාලෙකට ඉස්සර ජ'පුර සරසවියෙ බණ්ඩාරනායක ශාලාවෙ වේදිකාවෙදි.

පසුගිය 22දා ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඇඳුණු 361 නාට්‍යයත්, සුද්දෙක් ඔබ අමතයි වර්ගයෙම ඊට තරමක් එහාට ගිය නාට්‍යයෙත් කතාකළ නාට්‍යමය අත්දැකීම තවත් අලුත් චරිත රාශියක් සමග. හැබැයි 361ත් සුද්දෙක් වගේම ප්‍රධාන නළු නිළි චරිත දෙකක් වටා ගොඩනැගෙන්නක්. ජනප්‍රිය රූපවාහිනී කතිකාමය වැඩසටහනට එකතුවන නිවේදිකාව වසන්ති, දේශපාලන චරිතය, දර්ශන පණ්ඩිතරත්න. උමයංගනා වික්‍රමසිංහත් ගිහාන් ප්‍රනාන්දුත් 361 සජීවි කතිකාව හෝරාවකුත් අඩක් තරම් කාලයක් පුරා ප්‍රේක්ෂක අවධානය සහ සහභාගීත්වය නොබිඳෙන විදිහට ගෙන යන්නේ ඔවුන් දෙදෙනාම සතු රංගන කුසලතාවයෙනි. වේදිකාවේදි හොඳම නළු නිළි රාජ්‍ය සම්මාන දිනාගත් උමයංගනා වගේම ගිහාන්ටත් රූපවාහිනි වැඩසටහනක නිවේදිකා හා දේශපාලක චරිත රඟපෑම, ප්‍රතිනිර්මාණය කිරීම අපහසු වී නැති බවයි ඉන්ද්‍රචාපට හැඟුණේ. අධ්‍යක්ෂ උදයසිරි වික්‍රමරත්න ඔවුන් දෙදෙනාගෙන්ම උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබුණු වග ඉන්ද්‍රචාපට දැනුණේ හෝරාවකුත් අඩක් ප්‍රේක්ෂගාරයෙ සජීවීව අවදියෙන් තබාගෙන ඉන්නට ඔවුන් සමත්වීම නිසා.

ඉන්ද්‍රචාප 361සමීපරූපයට හසුකර ගත්තෙ 22ඉරිදා සවස පුංචි තිය‍ටරයෙදි. සිමෙන්ති මිත්‍රත්ව සමාජයක් cement friendship club සමීපරූපය රූපයට එකතුවෙලා.සමාජය සිමෙන්තියට සම්බන්ධ වුණත්,හොඳ කලාවක් පිළිබඳව ඔවුන්ගේ බැඳීම ඉන්ද්‍රචාප අගය කරනවා. 361 වේදිකා ගත කිරීමෙන් ලැබෙන ආදායම ඔවුන්ගේ ඉදිරි සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා යොදවන බවයි සඳහන්කර තිබුණේ. අමුතුම වර්ගයේ මිත්‍රත්ව සමාජයක් විදිහටයි. සිමන්ති මිත්‍රත්ව සමාජය ඉන්ද්‍රචාප දකින්නේ. රජයේ සිමෙන්ති සංස්ථාවෙන් පටන් අරගෙන වරින්වර පුද්ගලික විදේශ සමගෙම් බවට පත් වීමෙන් පසුවත් සිමෙන්ති හා බැඳුණු චිත්‍ර කණ්ඩායමක් මේ සමාජයේ ඉන්නවා. ඔවුන්ගෙන් ඇතැම්අය විශ්‍රාමිකයි. තව පිරිසක් තවමත් සේවයකරයි. තනතුරු භේදයක් නෑ, කාර්යාල කාර්ය සහායකයා වගේම ඉහළ කළමනාකාරිත්වය මිත්‍රයොත් මේ සමාජයෙ. ආයතනයෙ සේවය නොකරන ඒත් සේවා පහසුකම් සපයන මිත්‍රයොත් සිමෙන්ට් ක්ලබ්හි සාමාජිකයො. 361 රංගගත කරන්න ඔවුන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වීම ඉන්ද්‍රචාප දකින්නේ හොඳ කලා කෘතියකට අනුග්‍රහය දැක්වීමක් විදියට. රෝගීන් පාසල් දූ දරුවන්, පහසුකම් අඩු රෝහල්, ගැබිනි මවුන් ආදීන්ට, සිමෙන්ති මිත්‍රත්ව සමාජය ආධාර කරන්නේ මේ වගේ යහපත් කටයුත්තකින් ලැබෙන ආධාරවලින්. ඒක ඔවුන්ට වගේම 361 නාට්‍ය කණ්ඩාමටත් ගෞරවයක්.

උදයසිරිගෙ 361 නාට්‍යයේ වර්තමාන රූපවාහිනී මාධ්‍යය තුළ සිදුවෙමින් පවතින විකාරරූපී ජවනිකා වැඩසටහන් විශේෂයෙන් ම ප්‍රේක්ෂක බුද්ධියට රසවින්දනයට නිගා කරන අන්දමේ වෙළෙඳ දැන්වීම්, සංගීතාංග දේශපාලන කතිකාමය වැඩ සටහන් ආදියෙන් පිළිබිඹු කෙරෙන බොල් බව, හිස්බව, උදයසිරි අපූරුවට ගිහාන් හා උමයංගනා ලවා ප්‍රතිනිර්මාණය කරනවා. විවිධ කාලීන විෂය යටතේ නැගෙන ප්‍රශ්න හා අමනෝඥ දේශපාලනඥයකු විසින් දෙනු ලබන හාස්‍යජනක පිළිතුරු හා ප්‍රතිචාර යටින් දිවෙන ප්‍රබල උපහාසය කුලුගැන්වීමට උදයසිරිගෙ නාට්‍ය රචනය උපකාරී වෙනවා. වේදිකාවේ අසුන් දෙකකට සීමාවී කෙරෙන රංගනයක් වීම නිසා, සංවාද හා ඔවුන්ගේ අභිනය මගින් පළ කෙරෙන රංගනය ප්‍රබලවීම අත්‍යවශ්‍යයයි.

අධ්‍යක්ෂ උදයසිරි ඒ කරුණ හොඳින් වටහාගෙන අවශ්‍යතන්හි විරාම ලබාගෙන. ඒ අතරතුර ඉදිරිපත් කෙරෙන වෙළෙඳ දැන්වීම් නිර්මාණාත්මක රංගන බවට පත් කරගනිමින් ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්න්නට උත්සාහ කරනු ලබන වර්තමාන විද්‍යුත් මාධ්‍ය භාවිතයේ ජඩ ස්වරූපය හාස්‍යය සමග මුසුව ගලායෑම නාට්‍ය රසයේ අඛණ්ඩත්වය රැකගැනීමක්. ගිහාන්, උමයංගනා ප්‍රමුඛ කණ්ඩායම, ඉෂාර, මිහිර, චාමරී, රුවන් මලිත්, කුසල් රෝහිත, නයන්තරා,ප්‍රබෝධ, ප්‍රසංග, ධනුෂ්කි ආදීන්ගේ දායකත්වයත් කැපී පෙණුනා 361 රංග කාර්යයේදි. සිමෙන්ති මිත්‍රත්ව සමාජයේ අනුග්‍රහය යහපත් කලා නිර්මාණයක් සඳහා වෙන්වීම ඉන්ද්‍රචාපගේ සතුටට හේතුවක්. 

Comments