සිනා කතා | සිළුමිණ

සිනා කතා

 වටිනා ආහාර

“හාමිනේ ඔන්න අපේ පුතාට පෙළ වහට ගන්ඩ කතාකරපු ළමයගෙ අම්මලා තාත්තලා කැලණි පන්සල් ගිහින් එන ගමන් පෝය දවසේ රෑට අපේ ගෙදරටත් ගොඩ වෙන කතාවක් කිව්වා. ඒ උදවියට එදාට හොඳ කෑම වේලක් දෙන්ඩ වෙයි නේද”? චන්ද්‍රසිරි තම බිරිඳ දෙස බලා කීවේ හැඳ සිටි කමිසය උනාදමමිනි.

“එහෙම නං අපි බත් උයලා, පොල් සම්බෝලයක් හදලා ඒ ගොල්ලන්ට කෑමට දෙමු. දැන් මිල ගණන්වල හැටියට හාල් වලට පොල් වලට වඩා වටිනා වෙන ආහාර තියෙනවයැ අනේ”. ශාන්ති කීවාය.

එයත් ඒ වගේද ?

“අර ඩෙංගු මර්දන වැඩ සටහන වෙනුවෙන් මේ පළාතේ හැම තැනකම වගෙ අලවලා තියෙන පෝස්ටර් ඉන්න ඩෙංගු මදුරු‍වගෙ ඔය කියන තරම් භයානක පා‍ටක් පේන්න නැහැ නෙ කළු අයියේ. ඒ මදුරුවො ලක පහට හිනාවක් දාගෙන අර පෝස්ටරේ ඉන්නේ”. දැදිගම තම කඩයට ගොඩ වු හිතවතකු හට කිවේ වෙළඳ සංකිර්ණයේ බිත්තියක අලවා තිබූ පොස්ටරයක් දෙසට අත දිගු කරමිනි.

“තමුසෙට විකාරද දැදිගම ඒ පෝස්ටරේ‍ ෆොටෝ එකේ ඉන්න ඩෙංගු මදුරුවෙක් නොවෙයි.ඒ ඩෙංගු මර්දන වැඩ සටහන දියත් කරන පළාතේ මන්ත්‍රිතුමානේ”. කළු අයියා කීවේ සරදම් හින‍ාවක් නඟමිනි.

ගණන කීයද ?

“අනේ සර්, ඔබ තුමා මේ නඩුවට පෙනි ඉඳලා මාව මේකෙන් බේරලා දෙන්ඩ, මං සර්ට රුපියල් දාහක් දෙන්නං” උසාවිය කිට්ටුව කර්යාලයක නීතීඥයකු හමු වු පච්ච සිරා ඔහුට පින්සෙන්ඩු වෙමින් කීවේය.

“අපොයි බෑ...”නීතීඥයා එය වහා ප්‍රතික්ෂේප කළේ තොල පෙරළමිනි.

“හොඳයි මම දෙදහක් දෙන්නං” පච්ච සිරා කීවේය. “ එත් බෑ...” නීතීඥයා වහා පැවසීය. “තුන්දාහක් දුන්නොත්...” පච්ච සිරා කීය. “බෑ කිව්වාම බෑ මනුස්සයෝ” නීතීඥවරයා එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමින් කීවේය. “එහෙනමං හාරදාහක්...” පච්චසිරා නැවතත් කීය. “ඒත් මට බෑ...හැබැයි දැන් තමුසෙ මගේ ගාණට ටිකක් කිට්ටුයි” නීතීඥයා එවර කොළ එළියක් දල්වමින් කීය.

ගහන්ඩ විතරක් නෙමෙයි...

හීන් අඩියක් ගැසු සැමියා නිවසට ගොඩ වී කුස්සියට කර පොවන විට ඔහු‍ෙග් බිරිඳ හීන් හඬින් ගීයක් මුමුණමින් හොද්ද ඒදමින් සිටියාය.

“බණින්නෙපා පොඩි දෝණිට .

ගහන්නෙපා පොඩි දෝණිට

හාල් මිටක් දුව අරගෙන ඇත්තේ

සෙල්ලම් බත් උයන්නයි....”

“ගහන්ඩ නෙවෙයි බං කෝටුමස් කරන්ඩයි වටින්න. යකෝ දැන් හාල් කිලෝ එකක් කීයක් වෙනවද කියල උඹ දන්නවද”සැමියා ගිගිරුවේ කෝපයෙනි.

ඒ සුදුසුකම මදිද?

“මහත්තය‍ා මං ආවේ බොහොම වැදගත් කාරණවක් ගැන කතා කරන්ඩ. මං කෙළින්ම කියන්නංකො‍. මං කැම­ැතියි මහත්තයාගේ ලොකු දුව ව කසාද බදින්ඩ”. වීරසුරිය වලව්වට ගොඩ වු සුමනදාස, වීරසුරිය නිලමේ දෙස බලා කීවේය.

“මොනවා! මේ වලව්වත් එක්ක ඔය විදියට දීගතල ගනුදෙනු ගැන කතා කරන්ඩ ඔහේට හයියක් ආවේ කොහොමද? තමුන්ට ඒ වගේ යෝජනාවක් ඉදිරිපත් කරන්ඩ තියෙන සුදුසුකම් මොනවද?” තමා හමුවට ආ ආගන්තුක තරුණයා ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කළ යෝජනාවෙන් කොපයට පත් වු නිලමේ තුමා විමසීය.

“එහෙම සුදුසුකමක් නැත්තං මං ඒ වගේ යෝජනාවක් ගෙන්නේ නෑ මහත්තයා. මම තමයි හන්දියේ ඉරිදා පොළ‍ට ඇතුල් වෙන තැනම කොටුවේ පොල් විකුණන්නේ” සුමනදාස පිළිතුරු දුන‍්නේ උඩඟු ලෙසිනි.

දැලි පිහියෙන් කිරි කෑම

“තමා දැලි පිහියක් පාවිචචි කළේ ඒකෙන් මිනිස් ජීවිත වලට හානි කිරිමේ අපේක්ෂාවෙන් කියලා මම තමාට චෝදනා කරනවා”රජයේ නීතීඥයා කීවේ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළමිනි.

“නෑ ස්වාමීනී, ඒ අදහස ඉන්තේරුමෙන්ම වැරැදියි. මම මී කිරි කන්ඩ බොහෝම ප්‍රියමනාපයි. ඔය කියන දවසේ අපේ ඥාතියෙක් අපේ ගෙදරට කිරි හට්ටියකුත් අරගෙන ආවා. මම දැලි පිහිය ගත්තේ කිරි කන්ඩ . විත්තිකරු විනිසුරුවරයා දෙස බලා හිස නමා කීවේය. 

Comments