සතියේ මියුසික් වීඩියෝව | Page 3 | සිළුමිණ

සතියේ මියුසික් වීඩියෝව

ලකිත් ශ්‍යාමන් රිෂාන්ත ප්‍රනාන්දු මාරවිල තල්විල ප්‍ර දේශයේ උපන් දැනට ඉතාලියේ මිලානෝ නුවර ව්‍යාපාර කළමනාකාර ආයතනයක සේවය කරන තරුණයෙක්. කුඩා කල සිටම සංගීතයට දක්ෂතා දැක්වූ ඔහු දැන් ජනප්‍රිය ගායකයෙක්. නෙතු අග රැඳි නමින් තම පළමු ගීත නිර්මාණය රූප රචනාවක් සමගින් අන්තර් ජාලයෙන් ප්‍රචාරය කළ ලකිත් ඉන්පසු මේ තරම් ප්‍රේමයක් නමින් සිය දෙවැනි ගීත නිර්මාණයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

අද අපි ලකිත් ගැන මේ තොරතුරු ගෙන එන්නේ ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝව වන ‘වරදක් කියන්නේ නෑ‘ ගැන කතා කරන්නයි.

ඔබගේ අලුත් ගීතය වරදක් කියන්නේ නෑ ගැන කථා කරමු?

මේ ගීතය පද රචනා කළෙත් එයට තනුව නිර්මාණය කළෙත් මමයි. සංගීත සංයෝජනය කළේ ඩිල්ෂාන් සජුන් බණ්ඩාර. මියුසික් වීඩියෝව නිර්මාණය කළේ මගේ මේ තරම් ප්‍රේමයක් ගීතයට වීඩියෝ එක නිර්මාණය කළ ඩී-සෝන් ආයතනයමයි. ඒ වෙනුවෙන් රජීව අයියා තමා අධ්‍යක්ෂණය කළේ. ඉඳුනිල් රත්නායක මේ නිර්මාණය එළියට දාන්න සියල්ලම සැලසුම් කරල වැඩ කළා.

එහි රංගනයෙන් දායක වෙන්නේ ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණු විරාජ් පෙරේරා සහ රුවිනි කැලෑගම.

ගීතයේ අන්තර්ගතය ගැන කතා කළොත් -

මේ ගීතයත් සාමාන්‍ය විරහා වේදනාව ගැන කියවෙන ගීතයක්. මෙහි මියුසික් වීඩියෝව වෙනස්ම තේමාවක්, වෙනස්ම කතාවක් ඔස්සේ නිර්මාණය කළා. මෙහි ප්‍රධාන නළුවා වුනු විරාජ් පණ පොවන්නේ ග්‍රාමීය ගොවියකුගේ චරිතයකට. ඔවුන්ගේ තියන අඟ හිඟ කම් නිසාම සම්බන්ධවන අතරමැදි පුද්ගලයකු සමග මෙම ගොවි මහතාගේ බිරිය සම්බන්ධකමක් පටන් ගෙන තම ස්වාමියා හා දරුවා අතැර යනවා. ඉන්පසු තනිවෙන පියා තම එකම පුතාව මහණ කරනවා. එහෙත් ඒ බව ඔවුන්ව අතැර ගිය මව දන්නේ නෑ. මව තම දරුවා මහණ වී ඇති බව දකින්නේ පසුව විවාහ වුණු ස්වාමියා සමඟ පන්සලට පැමිණි පසුයි. එහිදී පුංචි ස්වාමින්වහන්සේ විසින් තම මවට ‘අම්මේ‘ කියා අමතනවා. එය ගොඩාක් සංවේදී වගේම දුක්බර දසුනක්. වීඩියෝවේ ඒ අන්තිම හරිය බලද්දී ඇඬුණු බව බොහෝ දෙනෙක් කියනවා.

වත්මන් මියුසික් වීඩියෝ කලාව අඩ නිරුවත් වීඩියෝ නිර්මාණය දක්වා විකාශණය වෙලා තියෙද්දී එවැනි වීඩියෝවක් කලා නම් ඉක්මනට ජනප්‍රිය වන්නට තිබුණාය කියලා හිතෙන්නේ නැද්ද?

එවැනි වීඩියෝ සමග එන ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙනවා වගේම ඒවාට සමාජයේ ලොකු විවේචනයක් තිබෙනවා. දැන් දැන් එන වීඩියෝ එක්ක බලද්දී මේක උඩු ගම් බලා පිහිනීමක්ද කියලත් හිතෙනවා. අර කිව්ව විදිහේ නිර්මාණ එක රැයින් ජනප්‍රිය වෙනවා වගේම සතියකින් දෙකකින් අමතක වෙනවා.මට ඕනා වුණේ මතක හිතෙන විදිහේ නිර්මාණයක් කරන්න. ඉක්මනට රත් වෙන යකඩය ඉක්මනට නිවෙනවා. මට ඉක්මනට නිවෙන්න ඕනේ නෑ. ඒ නිසා ඉක්මනට ජනප්‍රිය වෙන්න ඕනෙත් නෑ.

මේ ආපු ගමනේ ස්තූති කරන්න එහෙම පිරිසක් ඇති.

මගේ සංගීත ජීවිතයේ නම් මට ස්තූති කරන්න තියෙන්නේ මගේ සංගීත ගුරු මෑණිවරුන්ටයි. මගේ පවුලේ සමහර උදවිය සංගීත ක්ෂේත්‍රයෙන් අග තැන්පත් වෙලා වුන්නත් ඒ අය කිසිම වෙලාවක මට අත දුන්නේ නෑ සංගීතයෙන් ඉස්සරහට යන්න. අඩුම තරමින් මගේ ගෙදරින්වත්. එහෙම තියෙද්දිත් මම යම් තාක් හරි දුරක් ආවනම් ආවේ මගේ සංගීත ගුරුවර ගුරුවරියන්ට පිං සිද්ධ වෙන්නයි. විශේෂයෙන් මාරවිල සාන්ත මරියා විදුහලේදී මට සංගීතය ඉගැන්වූ ප්‍රියන්ති මිස් වගේම ශාන්ති මිස්වත්, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේදී මට සංගීතය කියා දුන්න ලලිත මිස්ව වගේම මාව මේ තරම් දුරක් එන්න විශාල ශක්තියක් වුන සුරේෂනී මිස්වත් ආදරයෙන් මතක් කරනවා.

 

එතකොට ලංකාවට එන්න එහෙම කල්පනාවක් නැද්ද?

මම මේ නිවාඩුවට ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. මේ දුරකථන අංක වලින් ලකිත්ව සම්බන්ධ කරගන්න පුළුවන්.

+94322254040 ,+94779647481 ,+393287564059 

Comments