විදෙස්ගතවීමේ සිහින සැබෑ­ක­ර­දෙන ගුවන් යානා දෙවොල | Page 3 | සිළුමිණ

විදෙස්ගතවීමේ සිහින සැබෑ­ක­ර­දෙන ගුවන් යානා දෙවොල

විදෙස් ගත වීමේ හීනය හැමෝටම වාගේ තිබෙන එකක්. නමුත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල සිටින අපිට විදේශ සංචාරයකට වඩා විදේශ රටකට ගොස් පදිංචි වී සිටීමට වැඩි කැමැත්තක් තිබෙනවා. සමහර පුද්ගලයන් නම් උපන් රට දමා වෙනත් රටවල් වෙත යාමට වැඩි කැමැත්තක් නොදැක්වූවත් තවත් සමහර පිරිසක් විශේෂයෙන්ම තරුණ පිරිස ඇමෙරිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි දියුණු ලස්සන රටවල් වලට ගොස් තම අනාගතය සුබදායී කරගැනීමට සිහින මවමින් සිටිනවා. විදෙස්ගත වීම එකම සිහිනය කරගත් ඉන්දියානුවන් වෙසෙන පන්ජාබයෙන් ඇසෙන පුවතක් තමයි මේ.

මීට වසර කිහිපයකට පෙර ශහීඩ් බාබා නිහාල් සිං දේවස්ථානය නම් වසර 150ක් පැරැණි සීක් ජාතිකයන්ගේ දේවාලයක් වෙත මිනිසකු පැමිණෙනවා. ඉන්දියාවේ තල්හාන් ප්‍රදේශයේ තිබෙන මෙම දේවාලය වෙත ඔහු පැමිණෙන්නේ ඇමෙරිකාව බලා යාමට වීසා ලබා දෙන්න කියා කන්නලව් කිරීමටයි. ඉල්ලීම් ලබා ගැනීමට දේවාල, කෝවිල් වෙත යාම අපේරටේ වූවත් සුලබව දක්නට ලැබෙන්නක්. මෙසේ පැමිණි මිනිසා වීසා ලැබුණහොත් කුඩා ගුවන් යානයක් තුටු පඬුරු ලෙසින් රැගෙන විත් පූජාකිරීමට පොරොන්දු වී තිබෙනවා. දේවාලයට පැමිණ දින සතරක් ගතවූ විට ඔහුට වීසා ලැබී තිබෙන අතර, ඔහු කුඩා සෙල්ලම් ගුවන් යානයක් දේවාලයට පූජාකර තිබෙනවා. මෙම පුවත පන්ජාබය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යන්නට ගතවී ඇත්තේ දින කිහිපයකි. නොබෝ දිනකින් පඬුරු ලෙසින් ගුවන් යානා දේවාලයට දීම පුද පූජා ක්‍රමයක් බවට පත් වී තිබෙනවා .

මෙලෙස ගුවන් යානා ලබා දී දෙවියන්ව සතුටු කිරීම සාර්ථක වූවත් නැතත් සෑම වසරකම පන්ජාබි ජාතිකයින් නොකඩවා විදේශ රටවලට සංක්‍රමණය වන අතර පන්ජාබිවරුන් පමණක් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නීති විරෝධී සංක්‍රමණයන් නිසා ලොව පුරා සිරගත වී සිටින බවත් වාර්තා වනවා. මෙම ප්‍රදේශයේ වෙසෙන පවුල් වල අඩුම තරමින් එක සාමාජිකයකු හෝ වෙනත් රටක වාසය කරනවා. මොවුනට අනුව නීති විරෝධී සංක්‍රමණය එතරම් වැරැදි දෙයක් නොවේ. කෙසේ හෝ පවුලේ සාමාජිකයකු විදෙස්ගත වූ විට ගුවන් යානයක හැඩයෙන් වතුර ටැංකියක් නිවසේ වහලය මත සෑදීම සිදු කරන අතර ඔවුන් එම විදෙස්ගතවීම ඉතා ඉහළින් සමරනු ලබනවා.

‘Hawai Jahaz Gurudwara’ එනම් ගුවන් යානා දේවාලය නමින් ප්‍රසිද්ධ මෙම දේවාලයට පැමිණෙන මඟ දෙපස කුඩා ගුවන් යානා විකුණන වෙළඳසල් රාශියක් තිබේ. එවායේ ගුවන් යානා උණු කැවුම් ලෙසින් විකිණෙනවා. බොහෝ තරුණ ප්‍රජාව මෙයට යොමු වී තිබෙන්නේ වීසා ප්‍රතිකේෂ්ප වූ පුද්ගලයන්ට පවා දේවාලයට පැමිණ ගිය පසු වීසා ලැබීම නිසායි. නමුත් මෙසේ දේවාලය තුළ ගුවන් යානා ගොඩ ගැසීම භාරකරුවන්ට කරදරයක් වී තිබෙන බවත් වාර්තා වනවා. දේවාලයේ භාරකරුවන් දැන් එම ගුවන් යානා එකතු කර ඒවා අවට ගම් වල වෙසෙන දුප්පත් ජනයා වෙත බෙදා දෙනු ලබන්නේ මේ නිසායි.

Comments