
කොළඹ සිට මහනුවර බලා යන සුඛෝපභෝගී නගරාන්තර බස් රථයක හිඳගෙන සිටි ෆියෝනාට සිතන්නට බොහෝ ද තිබිණ. සියල්ලටම වඩා ස්වේතා මහගෙදරට පැමිණෙන මෙන් කරන ලද ආරාධනය සිත තුළ ඇති කරන්නේ අසීමිත කුතුහලයකි. මෙතරම් කාලයක් නිවෙසින් දුරස් කර තැබූ තමාට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කිරීම තුළ නොවැදගත් පසුබිමක් තිබිය නොහැකිය. එහෙත් එය අනුමාන වශයෙන් හෝ සිතා ගත නොහැකි තරම්ය.
“හැමදේම කියන්නම්. දැන්ම ම... මේ දැන්ම ම... චූටි නංගි පමා නොවී කැබ් එකක් අරගෙන ගෙදර එන්න. ̃
ස්වේතා අවසන් වශයෙන් පවසන ලද වදන් තවමත් දෙසවන් තුළ දෝංකාර දෙන්නාක් මෙනි. ඒ මොහොතේම ඇඳුම් කිහිපයක් පමණක් ගමන් බෑගයක් තුළ අසුරා ගත් ආකාරයත්, දොර ජනෙල් වසා දමා නිවසින් පිටතට පැමිණි ආකාරයත් ඇයට සිහි විය. ඒවනවිට පරිසරය තුළ පැවැති අඳුර සම්පූර්ණයෙන්ම දුරු වී තිබිණ. ස්වේතා පැවසූ පරිදි කැබ් රියකට කතා නොකොට බස් රියෙන් හෝ දුම්රියෙන් මහනුවර බලා යාමට ඇය තීරණය කොට තිබුණේ පැය තුනක පමණ කාලයක් කුලී රථයක තනිව ගමන් කිරීමට ඇති අකැමැත්ත නිසාය.
තමා නික්ම යන බව අරවින්ද් ට පැවසිය යුතුද නොඑසේනම් ඔහුට නොපවසාම පිට වී යා යුතුදැයි දෙගිඩියාවෙන් සිටි ෆියෝනා අරවින්ද් නිවසේ විදුලි සීනුව නාද කළාය. ස්වල්ප වේලාවක් ගත වන තුරුම ඔහු පිටතට නොපැමිණියේය.
අරවින්ද් නිවස තුළින් ඇසෙන ගයත්‍රි මන්ත්‍ර හඬ පටි ගත කරන ලද්දක් විය යුතු යයි ඇයට සිතිණ. බොහෝ දිනවල නිසංසල උදෑසනයන්හිදී ඔවුන්ගේ නිවස දෙසින් මෙම හඬ ඇසෙයි. එයට සවන් දී සිටියදී අසාර්ගේ මුහුණ අඳුරු වුව ද ඔහු කිසිත් නොපවසයි.
“ලස්සනයි අසාර්. ̃
ඔහුගේ සිත මෘදු කිරීමේ අරමුණින් පැවසුවද, ඔහු තම මුහුණ දෙස බලන්නේ දෙබැම හකුළාගෙනය. අරවින්ද් පැමිණ ගේට්ටුව හැරියේ සෑහෙන වේලාවක් ගත වූ පසුවය. ඒවනවිට ඔහුට නොපවසාම පිටව යන්නට ඇය සිත හදාගෙන තිබිණ. අරවින්ද් පැමිණෙනවාත් සමගම නැගුණු කට්ට කුමංජල් දුම් සුවඳ ගමේ පන්සලේ දේවාලයේ සුවඳ සිහිපත් කළේය.
“ඇයි මිසිස් ජැෆර්ජි මේ?’ ̃
සුබ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමට ද පෙර තමා අත වූ ගමන් බෑගය දෙස බලන අරවින්ද් ප්‍රශ්න කළේය.
“මම නුවර යනවා.’ ̃
“නුවර?’ ̃
අරවින්ද් ඇසුවේ විස්මයෙනි.
“ඔව්. නුවර.’̃
“හදිසියේම? කොහොමද යන්නෙ?’ ̃
“බස් එකෙන් හරි. ට්‍රේන් එකේ හරි යනවා.’ ̃
කිසිවක් නොපැවසූ අරවින්ද් කල්පනාවට වැටුණේය. ඔහු හා කතා බහ කරමින් තවත් කාලය අය ගත කරන්නට ෆියෝනාට නොසිතිණ.
“මං යනවා.’ ̃ ඇය පැවසුවාය.
“හොඳයි. පරෙස්සමෙන්.’ ̃
බෑගය එක අතකින් එල්ලා ගත් ෆියෝනා ඉදිරියට පිය නැගුවාය. පියවර කීපයක් ඉදිරියට ගොස් ආපසු හැරී බලන විටත් අරවින්ද් ගේට්ටුව අසළ සිටගෙන බලා සිටින අයුරු ඇයට පෙනිණ.
“මං හරිම පුදුම කෙනෙක් කියලා අරවින්ද් හිතන්න ඇති.’ ̃
දිගු සුසුමක් හෙලූ ෆියෝනා කල්පනා ලොවින් මිදුණාය. නගරාන්තර සුඛෝපභෝගී බස් රථය වේගයෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරමින් තිබේ.
“මේ වේවැල්දෙණිය වෙන්න ඇති.’ ̃
වේවැල් වලින් සාදන ලද නොයෙකුත් ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිත කඩ කිහිපයක්ම පසු වන අයුරු දුටු ඇයට සිතිණ. ලොකු අක්කාගේ විවාහ මංගල්‍යය ආසන්න දිනයකදී අම්මා සහ ලොකු අක්කාත්, ඇගේ සැමියා වන වගීෂ අයියාත් සමග කොළඹ පැමිණි ගමන ඇගේ සිතට නැගුණේ නිතැතිනි. එම ගමනෙහි මූලික අරමුණ වූයේ අක්කාගේ මංගල සාරිය සහ රන් අබරණ ආදිය ගැනීම වුව ද, අතරමග මෝටර් රිය නතර කරවූ ඇය වේවැල් භාණ්ඩ විකුණන කඩයකින් කුඩා වේවැල් කූඩ රැසක් මිලට ගත්තාය.
“මේ මොනවටද ලොකු දුව? ̃
අපූරු හැඩයකට නිමවා තිබූ වේවැල් කූඩයක් අතට ගත් අම්මා එය ඒ මේ අත හරවමින් බැලූ අයුරු ෆියෝනාට සිහියට නැගිණ.
“බලන්නකො ඔය බාස්කට් වලින් මං කරන්න යන දේ.’ ̃
ලොකු අක්කා පැවසුවේ ආඩම්බර සිනාවක් මුවග නංවාගෙනය.
“මෙයාද අම්මා? වෙඩින් එක දවසට මෙයා මොකක් හරි විශ්ව කර්ම වැඩක් කරලා තියේවි.’ ̃
වගීෂ අයියා සිනාසුණු ආකාරය එකල කුඩා වියෙහි සිටියද ෆියෝනාගේ මතකයෙහි තවමත් රැඳී තිබිණ. වගීෂ අයියා පැවසූ ලෙසම ලොකු අක්කා එම වේවැල්කූඩ සියල්ලෙහිම රන් පැහැය ආලේප කළාය. ඇගේ මංගල දිනයෙහි මල් කුමරියක වූ තමාට ද මලින් පිරුණු රන් පැහැය ආලේප කළ කූඩයක් අතට ලැබිණ. මල් කූඩය ද අතැතිව තමා එහා මෙහා ඇවිද ගිය ආඩම්බර ලීලාව ෆියෝනා සිහිපත් කළේ දුක් සිනාවක් ද මුවග රඳවාගෙනය. එදින කූඩය තුළ බහාලූ නැවුම් මල් පරවී ගිය ද, අම්මා විසින් සුරැකිව තබා තිබූ එම කූඩය මංගල දිනයෙන් පසු බොහෝ කලකට පසු ලොකු අක්කා තම නිවසට රැගෙන ගියාය.
“අනේ ඒක මට ඕන. ̃
අක්කා කූඩය රැගෙන ගොස් මෝටර් රියට දමද්දී අම්මාගේ ඔසරි පොටෙහි එල්ලී තමා හැඬූ අයුරුත්, අම්මා තමා සැනසූ අයුරුත් ෆියෝනා සිහිපත් කළාය.
“මිස්. වෙලාව කීයද?’ ̃
ෆියෝනා අසළ වාඩි වී සිටි ගැහැනියගේ හඬින් ඇය අතීත මතකයෙන් මිදුණාය.
“නමයයි විස්සයි.’̃
“එකොළහ වෙද්දි නුවරට යාගන්න පුළුවන් වෙයිද? ̃
“පුළුවන් වෙයි.’’ ̃
“හරියටම එකොළහ වෙද්දි ගුඩ් ෂෙඩ් එකේ ඉන්න කියලා දුව මට කිව්වා. ඒකයි.’’ ̃
සැනසිලි හඬින් පැවසූ ගැහැනිය සිය අත් බෑගය තුළින් ජංගම දුරකතනයක් පිටතට ගත්තාය. ඇය එහි කෙටි පණිවුඩයක් ටයිප් කරන ආකාරය ෆියෝනා දුටුවාය. එකොළහට නුවරට පැමිණෙන බව පවසා ගැහැනිය තම දියණියට කෙටි පණිවුඩයක් යවනවා විය යුතුය.
“මේ ළමයත් නුවර යන්නද?’’ ̃
සිය කාර්යය නිම කළ ගැහැනිය ෆියෝනා සමග කතාවට වැටුණාය.
“ඔව්.’’ ̃
“ගම නුවරද?’’ ̃
“ඔව්. ’’̃
ගැහැනිය දෑස් හකුළා තමා දෙස විමසුම් බැල්මක් හෙලන අයුරු දුටු ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ. ඇය තමා හැඳ සිටින කුර්තාව දෙසත්, දෙකන් වල පළඳා සිටින කෘත්‍රිම කරාබු දෙසත් මෙන්ම අත බැඳි රාකි පටිය දෙසත් විමසුම් නෙතින් බලන අයුරු ඇය දුටුවාය. ඔසරියෙන් සැරසී කොණ්ඩය ගෙඩියක ආකාරයට බැඳ රන් පැහැති ඇට සහිත මාලයක් ගෙල පළඳා සිටින ඇය තුළින් පෙනෙන්නේ නියම උඩරට කුලවමියක නොවේදැයි ෆියෝනාට සිතිණ.
අම්මා ද සැබෑ උඩරට කුලවමියක ලෙස නිවසට ද ඔසරියක් අඳින්නට පුරුදුව සිටියාය. ලොකු අක්කා සහ මද්දු අක්කා ද නිවසට ගවුම හෝ සාය හැට්ට අඳින්නට පුරුදුව සිටියද, නිවසින් පිටත ගියේ සැබෑ උඩරට කුලවමියන් සේ ඔසරියෙන් සැරසීගෙනය. ඔවුන් දෙදෙනා එකල සිටම තමා හඳින පළඳින ආකාරය විවේචනය කළ ආකාරය ෆියෝනාට සිහි විය.
“මේ ළමයට පිළිවෙළකට ඇඳුම් අඳින්න කියන්නකො අම්මා.’’ ̃
තමා නිවසින් බැහැර යද්දී අඳින විවිධ මෝස්තර වල ඇඳුම් දකින අක්කලා අම්මාගෙන් ඉල්ලා සිටියහ.
“අපි නම් ඒ කාලෙවත් ඔය විකාර ඇඳුම් ඇඳලා නෑ. මේ ළමයා මේ පවුලෙ කෙනෙක් නෙමෙයි කියලා දකින මිනිස්සු හිතාවි.’’ ̃
නිවසින් පිටත යද්දී තමා අඳින කලිසම් සහ කුර්තා ද, බැගී කමිස ද අක්කලා දෙදෙනා විවේචනය කළහ.
“ඇඳුම කියන්නෙ තමන්ගෙ හිතට හරියන දෙයක්. චූටි කුමාරි කැමැති විදියට එයා ඇඳපුදෙන්.’’ ̃
“හරි කතාවක්නෙ අම්මා කියන්නෙ. අම්මගෙ චූටි කුමාරි මීගස්තැන්න වලව්වෙ කෙනෙක් නෙමෙයි කියලා දකින අය හිතාවි. ̃
“ ඕන කෙනෙක් ඕන දෙයක් හිතපුදෙන්. හිතටයි දිවටයි සීමාවල් නැහැනෙ. ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්නයි, ́ඕන දෙයක් කියන්නයි පු ළුවන්. අපි ඒවා ගැන එච්චර හිතන්න ඕන නෑ. ̃
“අම්මා?’ ̃
ලොකු අක්කා විස්මයෙන් කෑගැසුවාය.
“අම්මා කතා කරන්නෙත් හරියට වගීෂලගෙ අම්මලා කතා කරනවා වගෙයිනෙ.’’ ̃
උඩරට කුලවත් පවුලක ඉපදුනද, වගීෂ අයියා ද, ඔහුගේ දෙමාපියන් ද, කලක් පිටරට ජීවත්ව සිටි බව ෆියෝනා අසා තිබිණ. වගීෂ අයියාගේ මව වරෙක උඩරට ඔසරිය මෙන්ම ඉන්දියන් සාරිය ද ඇන්දාය. හඬ නගා සිනාසෙන, කතා බහ කරන ඇගේ ගති පැවතුම් ලොකු අක්කා ප්‍රිය නොකළාය.
“අනේ අම්මා. වගීෂලගෙ මහ ගෙදර ඉන්න බෑ. අම්මා හරි සංකරයි. අපි වෙන ගෙයක් හදාගෙන යන්න යනවා.’ ̃
තම නිවසට පැමිණි දිනෙක ඇය පැවසූ ලෙසම දායාද සඳහා අම්මා විසින් ලියා දෙන ලද ඉඩමක ඉතා ඉක්මනින් නිවසක් ඉදි කර ගත් ලොකු අක්කා සිය සැමියා සමග එහි පදිංචියට ගියාය.
“අක්කලා දෙන්නා දකින්නත් ආසයි. මං මහ ගෙදරට යන බව ඒගොල්ලො දැන ගනීවිද? නෑ. ස්වේතයි, අයියයි කියන එකක් නෑ. දැනගත්තොත් ඒ දෙන්නා ඇවිත් අම්මටත් බනීවි. ගෙදරින් ගිය එකීව ආයෙම ගෙන්න ගත්තද කියලා.’ ̃
ෆියෝනාගේ අත් බෑගය තුළ වූ ජංගම දුරකතනයෙහි කෙටි පණිවුඩ හඟවන සංඥාව ඇසුනෙන් ඇය එය පිටතට ගත්තාය. එය කියවා බලන ඇගේ මුවග පුළුල් සිනාවක් නැගිණ.