ගුවන් විදු­ලි­යෙන් බිහි­වුණු ගායන ශිල්පි­නිය රම්‍යා සෙනෙ­වි­රත්න | Page 2 | සිළුමිණ

ගුවන් විදු­ලි­යෙන් බිහි­වුණු ගායන ශිල්පි­නිය රම්‍යා සෙනෙ­වි­රත්න

“මෙරට ගුවන් විදුලියෙන් බිහිවුණු ගායන ශිල්පිනියන් අතර රම්‍යා සෙනෙවිරත්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

එදා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස ගායන ලොවට පිවිසි රම්‍යා ඉන්පසු ගුරු වෘත්තියේ නියැළී සිට වර්තමානයේ විශ්‍රාම සුවයෙන් පසුවන්නී ය.

අන්න බලන් සඳ, සැඳෑ සුළඟ, තලමල පිපිලා හිච්චි පුතා ‍ගිනි කූරෙන් රැවුල අඳින්නේ, නුරා මියුරසින් (ටී.එම්. ජයරත්නයන් සමඟ) ගංගාවේ රෑ, රුහුණු බිමේ, නීල වර්ණ දේහයේ, සඳා වඳිමි තිලොවට හිමි නායක වැනි එදා යුගයේ ජනප්‍රිය ගීත රැසකම හිමිකාරිය වන්නේ ඇයයි.‍

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය සංගීත ආචාර්ය ලයනල් රංවල ශූරීන්ගේ ගුරුහරුකම් මත එවකට පාසල් ගායන තරගවලින් විශිෂ්ට දස්කම් පාමින් තම අපූරු ගායන ප්‍රතිභාව පෙන්වීමට සමත් වූවා ය. ඇයටම ආවේණික වූ මියුරු හඬ පෞරුෂය නිසාම පසුකාලීනව ගුවන් විදුලියේ සරල ගී ශිල්පිනියක් වීමට තරම් ඇය වාසනාවන්ත විය. ගුවන් විදුලියේ පමණක් නොව ස්වාධීන රූපවාහිනියේ එවකට විකාශය වූ ‘මධු රසාංග’ හා ‘නන්දන වින්දන’ වැඩසටහන්වල ද ගීත ගායනා කළ ඇය රසිකයන්ගේ නොමද ආදරය දිනා ගනිමින් ජනප්‍රියත්වයට පත්වූවා ය.

එපමණක් නොව පසුකාලීනව ‘මධුර වින්දන’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ද පැවැත්වූවා ය. ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා, සුමනදාස වතුකාරගේ, ධර්මසේන ගීගනගේ, ටියුලින් ජයරත්න, වැනි ප්‍රබුද්ධ ගීත රචකයන් ඇය වෙනුවෙන් ගීත රචනා කළ අය අතර පෙරමුණේ පසුවෙයි.

වෘත්තියෙන් ගුරුවරියක වූ ඇය හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ද පසුව කොළඹ සිරිමාවෝ විද්‍යාලයේද වසර 22 ක් පමණ සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන්නීය.

අර්ථවත්, හරවත් ගීතවලට පමණක් මුල් තැන දෙමින් ගීත ගායනා කළ ඇය භක්ති ගීත හා දේශාභිමානී ගීත ගායනයට ද වැඩි රුචිකත්වයක් දැක්වූවා ය.

ඇය එදා ගැයූ ගී ඇගේ නමින් You tube හරහා දැන් ඔබට ද රස විඳිය හැකි ය. එදා මෙන් ම තවමත් ගායනයේ නියැළෙන ඇගේ එකම බලාපො‍රොත්තුව වන්නේ එදා මෙදා තුර ඇය ගැයූ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් තම රසිකයන්ට තිළිණ කිරීම ය. ඇගේ දුරකථන අංකය - 0771133708 

Comments