සාහිත්‍ය වර්ගීකරණ | සිළුමිණ

සාහිත්‍ය වර්ගීකරණ

දැන් අපි නැවතත් ‘සාහිත්‍යය හඳුනාගැනීම’ යනුවෙන් අප ඇරඹූ තැනට ම ආපසු යන්නෙමු. සාහිත්‍යය පිළිබඳ සාහිත්‍යධරයන් කිහිප දෙනකු විසින් තබන ලද සටහන් මතු දැක්වේ.

සාහිත්‍යයේ පරිහානිය ජාතියක පරිහානිය පිළිබිඹු කරන බව ජර්මානු දාර්ශනිකයකු වූ වොහාන් වුල්ගන්ග් වොන් ගුතෝ (1749 - 1832) වරක් පැවසී ය. සාහිත්‍යයේ වැදගත්කම කෙබඳු ද’යි ඉන් අදහසක් ඇති කර ගත හැකි ය.

ආචාර්ය ගුණදාස අමරසේකර සිය ‘අබුද්දස්ස යුගයක්’ කෘතියේදී පෙන්වා දෙන්නේ සාහිත්‍යය යනු සමාජය සමඟ අත්‍යන්තයෙන් බැඳුණු උසස් දේශපාලන සංවාදයක් බව යි. ඕනෑ ම ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ දේශපාලන සංවාදයක් තිබේ. සාහිත්‍යය යනු ඒ සමාජය තුළ තිබෙන දේශපාලන සංවාදය මත එම සමාජයේ සිටින බුද්ධිමතුන් සාහිත්‍යකරුවන් ඇතුළු පිරිස ගොඩනඟන උසස් හරවත් සංවාදය යි.

චිනුආ අචිබෙ කියන්නේ සාහිත්‍යය යනු දූරස්ථ පුද්ගලයන් සහ දේවල් හඳුනා ගැනීම බවයි. ‘මම මගේ සිසුන්ට මෙසේ කියමි. ඔබ සමාන පෙනුමැති ඔබගේ අසල්වැසියකු ඔබෙන් අනන්‍යව හඳුනා ගැනීම අපහසු නොවේ. අපහසු කටයුත්ත වනුයේ ඔබට නොපෙනෙන‚ දුර බැහැර වෙසෙන‚ සමේ පැහැය වෙනස්‚ වෙනස් ආහර ගන්නා කෙනෙකු හඳුනා ගැනීම ය. ඔබ එසේ හඳුනා ගන්නට උත්සාහ කළ වහා ම සාහිත්‍යය සිය අසිරිය විදහා දක්වන්නට උත්සාහ කරයි.’

‘සාහිත්‍යයේ සාරය වනුයේ මනෝභාවයන් සහ බුද්ධිය අතරත්‚ ජීවිතය සහ මරණය අතරත් යුද්ධයයි. සාහිත්‍යය වඩා බුද්ධිමත් වීමට පටන් ගත් විට - එය ලලසා සහ මනෝභාව නොසලකා හැරීම ඇරැඹි සඳ එය නිසරු‚ නැණ මඳ සහ භාවාර්ථ විහීන වෙයි.’ ඒ ඉෂාක් බෂෙවිස් සිංගර්ගේ අදහසයි.

බොරිස් පැස්ටනැක්ට අනුව සාහිත්‍යය යනු සාමාන්‍ය ජනයා කෙරෙන් අතිවිශේෂ යමක් උකහා ගැනීමත්‚ උකහා ගන්නා ලද ඒ අතිවිශේෂ දැය සාමාන්‍ය වචනවලින් ඉදිරිපත් කිරීමත් ය.

සාහිත්‍යය යනු වඩුමඩුවක් හැර අන් යමක් නො වේ යැ යි ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සඳහන් කරයි. ‘යථාව සමඟ වැඩ කරන විට විෂයය දැව සේ දැඩි වෙයි.’

මේ උදාහරණ කිහිපයෙන් දක්වන්නට උත්සාහ කරන ලද්දේ ‘සාහිත්‍යය’ යන්න විවිධ පුද්ගලයන් දකින්නේ විවිධාකාරයෙන් බව ගෙන හැර පාන්නට ය. මෙයින් ප්‍රකට වන තවත් කාරණයක් නම් සාහිත්‍යය යන්නේ අර්ථ දැක්වීම් මෙන් ම නිර්ණායකයන් ද වාස්තවික මෙන් ම විස්තරාත්මක ප්‍රවර්ගයකට අයත්ව තිබෙන සහ තිබිය යුතු බවයි. එසේ විය යුත්තේ එය අගතියෙන් තොර මෙන් ම පුද්ගලබද්ධ නොවිය යුතු ද නිසා ය. එමෙන් ම ඊට පුළුල් විෂයපරාසයක් ඇති නිසා ය.

එබැවින් සාහිත්‍යය යන්න ගැන මේ වන විට ප්‍රමාණවත් හඳුනා ගැනීමක් සිදුව ඇති බව අපගේ විශ්වාසය යි. තවදුරටත් එක ම කාරණයේ එල්ලී වාද කිරීමේ පලක් නැති බව ද වැටහෙන බැවින් සාහිත්‍යය යන්නෙහි අධ්‍යහාරයෙන් වැටහෙන අරුත මින් ඉදිරියට අප විසින් ද උපයෝගි කර ගනු ලැබේ.

එබැවින් මෙහිදී මින් ඉදිරියට පාදක කොට ගනු ඇත්තේ නිර්මාණාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය පමණකි. එ-ද ලිඛිත කෘති පමණකි.

සාහිත්‍යය ඇරඹුණේ කුමන පෙදෙසක කුමන රටකදැයි විශේෂයෙන් සඳහන් කළ නොහැකි නමුත් බටහිර සාහිත්‍යය කෘති වර්ගීකරණය ඇරඹුවෝ ග්‍රීකයෝ ය. දහසය වන සියවසේ හෝ ඊටත් පෙර ග්‍රීසියේ බොහෝ සාහිත්‍යධරයන් සහ දාර්ශනිකයන් සිටි බවට සාක්ෂි තිබේ. ඔවුන්ගෙන් ප්‍රමුඛයා ලෙස අදත් ගෞරවයට පාත්‍ර වන්නේ ප්ලේටෝ ය. ප්ලේටෝ විසින් මූලික වශයෙන් මේ සංකල්පය ඔහුගේ ශිෂ්‍යයකු වන ඇරිස්ටෝටල් සහ පසු කලෙක රොම ශාස්ත්‍රඥයකු වූ හොරස් විසින් සංවර්ධනය කොට පවත්වා ගෙන යන ලදි.

එම වර්ගීකරණය අනුව සාහිත්‍ය කෘති වර්ග තුනකි. පළමුවැන්න භාව ප්‍රකාශන (lyric) වන අතර දෙවැන්න නළු (drama) සහ තුන්වැන්න වීරකාව්‍ය (epic) වේ.

වර්තමානයේ ප්‍රබන්ධ සාහිත්‍යය ප්‍රධාන වශයෙන් නවකතා‚ කෙටිකතා‚ කෙටි නවකතා‚ කවි‚ ගීත සහ නාට්‍ය යන අංගවලින් සමන්විත ය. ඇතැම් ශ්‍රී ලාංකික වියතකු පවසන්නේ ගී පදමාලා අයත් වන්නේ පද්‍ය නමැති සාහිත්‍යාංගයේ එක් අංශයකට පමණක් බව යි. එහෙත් ඉහත වර්ගීකරණයේ භාව ප්‍රකාශන යනු කවි සහ ගී පදමාලා යන දෙක ම ය. එකල තිබූ නාට්‍යවල බහුල වශයෙන් ගීත අඩංගු වූ අතර ඒවා වෙන ම ගායනා කිරීම ද සිදු වී තිබේ. නාට්‍ය නොවන ගීත රචනා ද තිබී ඇත. හොරස් එබඳු ගීත රචකයකු බව පැවසේ. එසේ ම 2016 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ‘මහා අමෙරිකානු ගීත සම්ප්‍රදායයට නව කාව්‍යමය ප්‍රකාශන විධියක් එක් කිරීම සඳහා නිර්මාණකරනයේ යෙදීම වෙනුවෙන්’ බොබ් ඩිලන්ට පිරිනැමීමෙන් පෙනී යන්නේ ගීත රචනා වෙන ම සාහිත්‍යාංගයක් කොට සැලකෙන බව ය.

මේ සාහිත්‍යාංග ඉන් පසු ප්‍රවර්ග හෙවත් කාණ්ඩ හෙවත් ශානර (genre) වලට බෙදා වෙන් කොට තිබෙනු දැක්ක හැකි ය.

ශානරය යනු විධිය (form), ආකෘතිය (type), කාණ්ඩය (sort), ස්වභාවය (kind) යන අරුත් ඇති ලතින් generics යන පදයෙන් බිඳී ආවකි. දැන් එය ඒ ආකාරයෙන් ම ඉංගිරිසියේ ද වැහැරෙයි.

ශානරය අනුව වර්ගීකරණය කිරීමේ වාසි තුනකි. මූලික වශයෙන් ප්‍රාථමික මට්ටමේ දී ම - බැලුබැල්මට ම - විශාල කෘති සංඛ්‍යාවක් අතරින් අපට අවශ්‍ය කාණ්ඩය තීරණය කළ හැකි වනු ඇත. දෙවනුව එමගින් කෘතියේ අන්තර්ගතය සහ ආකෘතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇත. තෙවනුව අපට අවශ්‍යය ශානරයේ හෙවත් කාණ්ඩයේ කෘති විශාල සංඛ්‍යාවක් අතරින් සන්සන්දනාත්මක ව ගෙන අපට අවශ්‍ය විශේෂ කෘතිය හෝ කිහිපය තෝරා ගත හැකි වනු ඇත.

වීර කාව්‍ය (epic)‚ ශෘංගාරාත්මක (erotic)‚ ප්‍රේමවෘත්තාන්ත (romance)‚ ශෝකාන්ත (tragedy)‚ ප්‍රහසන හෙවත් සුඛාන්ත (comedy)‚ ශෝකසුඛාන්ත (tragicomedy)‚ පුරාණෝක්ති (mythology)‚ උපහාසාත්මක (satire)‚ විකාර (nomsense) ‚ බීභත්ස්‍යය (horror)‚ අරුමැසි (fantacy)‚ චෞරාඛ්‍යාන (picaresque), විද්‍යාත්මක‚ නාට්‍ය සහ ගී පද යනාදි වශයෙන් ශානර බොහෝ සංඛ්‍යාවක් තිබේ. දෘෂ්ටාන්ත හෙවත් අන්‍යාලාප (allegory) මෙන් ම ගොපලු ජනකවි (pastoral) ද වෙන ම ශානර යටතට ගැනෙන බව ඇතැම් ශාස්ත්‍රඥයන්ගේ මතය යි.

Comments