
ළඟ දී දිනෙක මැණික් ව්‍යාපාරිකයකු කැටුව සන්ධ්‍යාවක් ගත කළෙමු. ඔහු මේ දිනවල නවකතාවක් ලියයි. අපි ඒ ගැන කතිකා කිරීම සඳහා අවන්හලකට ගියෙමු. මධුවිත සමඟ සංවාදය ගොඩනැඟෙන අතර කවිය හා ගීතය ද අපගේ මාතෘකාවක් බවට පත් විය. ව්‍යාපාරික මහතා ද කවියෙකි; ගීත රචකයෙකි. ජනප්‍රිය ගායක - ගායිකාවෝ කිහිප දෙනෙක් ඔහුගේ ගේය - පද ගායනා කරති. එහෙත් ඒවා තව ම වෙළෙඳ පොළට නිකුත් වී නැත.
කුමක් වුව සාකච්ඡාව යන අතෙර් ම; ඔහු කොළයක් ගෙන යමක් කුරුටු ගෑවේ ය. කතා කරන අතර ද කුරුටු ගෑවේ ය. මධුවිත තොලගාන අතර ද කජු මදයක් හපමින් කුරුටු ගෑවේ ය. අන්තිමේ එය මා වෙත දිගු කළේ ය.
දුටුමතින් නම්; එය අතිශය සරල කවියකි. කෙනකු එය ආධුනික රචනාවක් සේ සලකා ඉවතලන්නට ද පුළුවන. එහෙත් මේ ප්‍රබන්ධය හැඟුම්බර ය. දීර්ඝ කතාන්දරයක් ද ඉන් එළියට පනී. වෛවාහික පුරුෂයකු නම්; තම බිරිය පිළිබඳ සිතිවිලි අවදි කරගන්නට පුළුවන. ඒ හැරෙන්නට ආදරණීය පියෙක්, දයාබර යුවළක් අපට මෙහි දී මුණ ගැසෙති. පවුල් අර්බුද, ගැටුම් හා සිත්කම්පා කරවන සිදුවීම් අතරේ මෙබඳු - සොඳුරු කතාන්දරයක් අසන්නට ලැබීම ද අස්වැසිල්ලකි. කවියා රෝහණ තිස්ස මහතා ය. ප්‍රබන්ධය මා අතට පත්වූයේ 2017 ඔක්තෝබර් 12 දා ය.
කවියෙන් මූලික වශයෙන් ගම්‍ය වන්නේ අඹුසැමි ස්නේහය යි. “ස්නේහ” යනු සංස්කෘත වචනයකි. ශබ්ද කෝෂය අනුව එහි අරුත් දෙකක් තිබේ. එක; ආදරය යන්න ය. දෙක; තෙල යන්න ය. මිනිසා ජීවත් කරවන ශක්තිය හෙවත් ඉන්ධන වර්ගය ස්නේහය යැයි කියන්නට පුළුවන. කෙනකු තම සමීපතමයන් කෙරෙහි දක්වන සැලැකිල්ල, ගෞරවය, කැපවීම හා ආදරය ස්නේහයෙන් කියැවෙයි. කථකයා තවදුරටත් සතුටින් ජීවත්වන්නේ බිරියගේ ආදරය නිසා යැයි අපට සිතේ.
ජීවිතය පිළිබඳ පෙළගැස්මක් ද කවියට අඩංගු ය. දරුවෙක්, තරුණයෙක්, මහත් කැපවීම් කළ පියෙක් අපට මෙහි දී මුණ ගැසෙති. දැන් ඔහු තලතුනා වියෙහි පසු වෙයි. හෙතෙම උත්සාහයෙන් හරිහම්බ කර ගත් සියල්ල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කර ඇත. එහෙත් හිතේ අසතුටක නැත. බිරිය ද එසේ ම ය. දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා මහත් කැපවීමක් කළ යුවළ දකින අපට අනුකම්පා සිතෙයි. අනුකම්පාව හා කරුණාව ද ස්නේහයේ ම එක්තරා සාධක ලෙස සැලැකිය හැකි ය.
1962 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබූ අමෙරිකන් ලේඛකයකු වන ජෝන් ස්ටීන් බෙක් මෙහි ලා අපට සිහිපත් වෙයි. ඔහුගේ ‘ද පර්ල්’ නම් කෙටි නවකතාවට පාදක වන්නේ ද අඹුසැමි යුවළක හා කුඩා දරුවකු පිළිබඳ ගැටලුවකි. එහි එන කීනෝ නම් තරුණ පියා උදෑසන අවදි වූ සැණෙන් දකින්නේ තම පුත්‍රයා නිදා සිටින තොටිල්ලේ ලණුවක් දිගේ ගෝනුස්සකු පහළට එන බව ය. ගෝනුස්සා මරා දමන්නට දරන උත්සාහයේ දී ඌ දරුවාට දෂ්ට කරයි. දරුවා රෝහලට රැගෙන ගිය ද දොස්තර ගාස්තු ඔවුන් ළඟ නැත. අවසානයේ සඟවා තිබූ මුතු ඇටයක් දොස්තරට දීමට ඔවුහු තීරණය කරති. මේ මුතුඇටය ඔවුන්ගේ දිළිඳු ජීවිතයේ සන්ධිස්ථානයකි. එහෙත් දරුවා වෙනුවෙන් එය ලබාදීමට ඔවුහු පෙලඹෙති. කතාවේ මුල් කොටසින් කියැවෙන්නේ තම දරුවා වෙනුවෙන් මාපියන් කරන කැපවීම ගැන ය.
කවියෙහි එන කථකයා ද දරුවන් උදෙසා මහත් කැපවීම් කළ තැනැත්තෙකි. කවියෙන් ඒ වෘත්තාන්තය එළියට එයි. ඔහු උපතින් ම පොහොසතෙක් නොවේ. කතාන්දරයට අනුව පුරුෂයා යමක් හරිහම්බ කරගෙන ඇත්තේ ස්වෝත්සාහයෙන් ය. ඒ සියල්ල දරුවන්ගේ අනාගතය උදෙසා කැප කර තිබේ. අවසානයේ ඔහු ජීවත්වන ඉඩමක් විකිණීමට යයි. සහෘද සිතට දැනෙන්නේ බලවත් අනුකම්පාවකි.
වැතිර සිටි බිම්කඩත්
අහිමි වන්නට යද්දි
මගේ පණ වැනි ඇඹෙණි
අහිංසක - අසරණිය
දිනක් මා යදින්නී
“හිනාවෙන්නකො අනේ!”
මේ කවියෙහි සාරය ඇත්තේ බිරියගේ වචන දෙක තුළ යැයි සිතන්නට පුළුවන. ‘හිනාවෙන්නකො අනේ!’ යනු අව්‍යාජ හැඟුම්බර යෙදුමකි. ඒ ඔස්සේ අර්ථ හා හැඟීම් රැසක් ධ්වනිත වෙයි. මේ බිරිය සැමියාගේ සතුට හා පැවැත්ම ගැන කල්පනා කරන යහපත් ස්ත්‍රියකි. ඔවුන් අතීතයේ සතුටින් කල් යැවූ බවක් ද ඉන් ගම්‍ය වේ.
අතීත කාන්තාව සොම්නසින් කල් යැවූ සේවිකාවක බව ද, වර්තමාන කාන්තාව දොම්නසින් කල්යවන ස්වාමිදුවක් බව ද ඛලීල් ජිබ්රාන් කියා තිබේ. එහි එක් දාර්ශනික අදහසක් වන්නේ සරලත්වය හා සුන්දරත්වය අතර ගැළපීමක් ඇති බව ය. මෙහි එන බිරිය ද සරලත්වය හා සුන්දරත්වය ඉල්ලා සිටී. ජීවිතය යනු ඒ යැයි සිතන්නට ද පුළුවන.
කවියා සිදුවීම් ගණනාවක් ද? හැඟීම් ගණනාවක් ද සහෘද සිත්හි සටහන් කරයි. සිදුවීම් ගතහොත් දිළිඳු - සරල ළමයකුගේ ජීවිතය, ඔහු යොවුන් වියට පත්වීම, නන්නත්තාරේ ආවාහයක් කරගැනීම, දියුණුවීම, දරුවන් ලැබීම, දරුවන් පිළිබඳ සිහින දැකීම, ඔවුන් උදෙසා කැපවීම හා නැවත දිළින්දකු බවට පත්වීමත් සැලැකිය හැකි ය. හැඟීම් වශයෙන් ගතහොත්, අඹු - සැමි ප්‍රේමය, දාරක ස්නේහය, අනුකම්පාව, ආත්මානුකම්පාව අප සිහියට නැඟේ. අවසන් ලෙස කථකයා ගැන මෙන් ම ඔහුගේ බිරිය ගැන ද බලවත් ශෝකයක් අප සිත්හි ජනිත වෙයි.
සමස්තයක් ලෙස ගත් කල පවුල යන ඒකකය තුළ මනුෂ්‍යත්වය රඳවා ගැනීමේ වැදගත්කම කවියා අපට පෙන්වා දෙයි. අප අත්දකින පවුල තුළ ගැටුම් උත්සන්නව පවතී. දරුවන් හා වැඩිහිටියන් අතර ගැටුම, දරුවන් - දරුවන් අතර ගැටුම මෙන් ම අඹු - සැමියන් අතර ගැටුම ලෙස ද එය විග්‍රහ කරගත හැකි ය. මේවා ගැන යළි සිතා බලන්නට පෙලැඹවීමක් මේ කවියෙන් ඇති වේ.
කවියා අර්ථ ධ්වනිය සඳහා ද රිද්මය සඳහා ද අලුත් යෙදුම් කිහිපයක් භාවිත කරයි. “යොවුන් - විය - තුරුණු විය”, හේදි - හේදී”, “දැන උගත්”, “අහිංසක - අසරණිය” ඊට නිදසුන්ය. එක ම අර්ථයක් ඇති වචන කිහිපයක් ගළපා එයින් ධ්වනියක් මතු කිරීමට රෝහණ තිස්ස වෑයම් කරයි. එය සාර්ථක ය. එය ජනකවියෙන් ලද ආභාසයක් වන්නට ද පුළුවන.
‘රෑනෙන් - රෑන” උඩ ඉගිලෙන කුරුල්ලනේ
බානෙන් - බාන ගල් ගැසුවත් නොයන්නේ”
“රෑනෙන් - රෑන”, “බානෙන් බාන” යනු අර්ථ - ශබ්ද දෙකෙහි ම උද්දීපනය සඳහා යොදාගත හැකි යුගල පද බව කිව යුතු ය. තිස්ස රෝහණ මහතා ගේ උක්ත ප්‍රබන්ධය විශිෂ්ට කවියක් නොවන්නේ වුව අපේ හිතට යම් බරක් පටවයි. ‘ඇනී සෙක්ටන් ගේ “Her Rind” නම් ප්‍රබන්ධය අප සිහියට නැඟේ.