දුටිමි අරුමැසි කවි ‘අරුමැසි ම කවි’ අතරෙහි... | සිළුමිණ

දුටිමි අරුමැසි කවි ‘අරුමැසි ම කවි’ අතරෙහි...

 

 

“කවිය කවදත් තරුණයි” යන්න තව දුරටත් ශපථ කරමින්, ජයසිරි අලවත්ත විසින් කාව්‍ය කලාවට දායාද කළ තම කුලුඳුල් පද්‍ය නිර්මාණය වන “අරුමැසි ම කවි ” කාව්‍ය කෘතියෙහි තවත් බොහෝ අරුමැසි කවි කියවන්නට ලැබුණි. මා එසේ පවසන්නේ ඔහුගේ පද වැල් තුළ පෙනෙන ඉසවුවට වඩා සඟවා, හකුළුවා, ඇති ඉසවු සහ මාන රාශියක් පිරී ඇති නිසා ය.

ජීවිතය ප්‍රතිනිර්මාණය කෙරෙන සහ විවිධ අනුභූතින් ඔස්සේ එය පෙරළා කියැවීමකට අපි රැගෙන යන ‘අරුමැසිම කවි’ කාව්‍ය සංග්‍රහය මා මෙතෙක් කියවා රසවිඳි කවි පොත් අතරින් සුවිශේෂ වන්නේ: මූලිකව ම කවිය තුළ පවතින්නා වූ සංක්ෂිප්තතාව, කාව්‍යෝචිත යෙදුම් සහ ව්‍යංග්‍යාර්ථ ය. ඒවා ඔස්සේ එක්තරා සුවිශේෂ වූ රටාවකට ගොනු කළ ජීවිතයේ එක් පරිච්ඡේදයක් පිළිබඳ ව මනා සංයමයකින් යුක්ත ව කවියෙන් කවියට අපිව සොඳුරුතම ප්‍රේමයේත්, වේදනාත්මක විරහවේත්, අරුමැසි ම මානයක් කරා රැගෙන යනු ලබන්නේ ය. ඒ අතර තුර ඔහු සමාජ නිරීක්ෂකයකු ගේ තියුණු මනසට ගෝචර වන්නා වූ සංකර්ණ සමාජ කාරණා ද සිය පදවැල් අතරේ සීරුවට රඳවන්නේ එහි යටි පෙළ අරුත් සියුම් ව පාඨකයාගේ බුද්ධියට යොමු කරවමිනි.

කවියාගේ ‘ඇත්ත ම කතාව’ නම් නිර්මාණයෙන් අපි කවුරුත් දන්නා අම්බපාලියත්, අම්බපාලියකගේ වේශයෙන් එන විනාශකාරී මාතාහාරියෝ ගැනත්, ‘අඳුරට හිමි අඳුර ම ය’ නිර්මාණය තුළින් තරුණියකගේ පළමු මංගල රාත්‍රිය පිළිබඳව වූ සුන්දර සිහිනයක ඛේදාන්ත අවසානයත්, මනාව සනිටුහන් කරයි. සමාජයේ පවතින්නාවූත්, එහෙත් ප්‍රසිද්ධියේ කතා නොකරන සම රිස්සන් ගේ සඟවා ගත් ලිංගික කාරණා ගැනත්, දුර දිග සොයා නොබලා එවැනි පුරුෂයකු හා සරණ ගිය කන්‍යාවකගේ බිඳ වැටෙන විවාහයක අවසානයත්, කවියා මෙහිදී මතු කර දෙන්නේ ව්‍යංග්‍යාර්ථ, උපමා, රූපක ඉතා අපූරුවට යොදා ගනිමිනි․ එහි එන...

‘අඳුර කෙමෙ කෙමෙන් සියලඟ රිදවූවා
අඳුරට අඳුර දී හිරු සඳු වෙත ආවා’

යනුවෙන් කන්‍යාව ආපසු තම දෙමාපියන් වෙත පැමිණීම ගැන පවසයි. කෙනකුට තම ජීවිතයේ හිරු හා සඳු යනු තම මව සහ පියා ය. කවියා යොදාගත් උපමා රූපක තුළ කිඳා බැසීමකින් තොරව මෙහි යටි පෙළ අරුත් ගන්වා ගැනීම ම අසීරු කටයුත්තකි. අසීරුවෙන් ලිහා ගත් පදරුත් කියැවීමෙන් පසු කවියා කෙතරම් සමාජ නිරීක්ෂකයකු දැයි වටහා ගත හැකි ය․

‘අඳුර හැඳින ගන්නට අඳුරට බැරුවා
තිත්ත රසය පැණි රස කරනට බැරුවා
පුෂ්ප මකරන්ද දෙබරට ඵල නැතුවා
සත්ත සක් සුදක් සේ ජය කොඩි සැලුවා’

යන පැදි පෙළින් එය එය වඩාත් පසක් කොට දෙයි.

සංක්ෂිප්ත බව කවියක තිබිය යුතු සුවිශේෂ අංගයක් බව සැබෑවකි. පදවැල් යටි පෙළ අරුත් තුළ ගිල්වමින්, කෙටි ම කෙටි පද වැල් දෙක තුනක හකුලා වරුවක් හිතන්නට තරමේ ඉතා දිගු කතාවක් පාඨකයා වෙත සංසරණය කරවන්නට සමත් කවි අරුමැසි ම කවි අතර වෙයි. ඒවා අතර: රැවටීම, වෙනස් කළ අන්තිම කැමැත්ත, සතුරා කවුද, දැනුම් දීමයි, ඇත්ත ම කතාව, යන පද්‍යය රචනා විශේෂීත ඒවා ලෙස හැඟේ. ඒ අතරින් සතුරා කවුද යන කවියේ යටි පෙළ අරුත පසිඳලීමෙන් වර්තමාන දේශපාලනයේ සැබෑ ස්වරූපය කියවා ගත හැකි ය. කවියාගේ සමාජ ආර්ථික සහ දේශපාලන අත්දැකීම් ඔස්සේ පාලක පක්ෂයත්, ඔවුන්ට අභිමුඛ සැබෑ විපක්ෂයත් (සැබෑ දේශපාලන සතුරා) අතර එකිනෙකාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා පවතින්නාවූත්, ඇතිවන්නාවුත් ගැටුම පිළිබඳ ව විවරණයක් ගෙන හැර පාන්නේ බෞද්ධ දර්ශනයේ එන උදාහරණ ද සහිත වීම විශේෂයකි.

මන්ද මේ උපමා යොදා ගැනීම නිසා ම දේශපාලනයේ පමණක් නොව බුද්ධ චරිතයේ එන බොහෝ සිදුවීම් සහ චරිත පිළිබඳ ව ද යළි යළිත් අවදි වූ මනසකින් කියවා තේරුම් ගත යුතු සහ මායාවලින් අපි මිදිය යුතු බව ද කවියා නොලියා ම සිහිපත් කරවන බැවිනි. මෙවැනිම වූ නුවණින් කියවා වටහා ගත යුතු, හඳුනා ගත යුතු, මිනිසා ගේ මිනිස්කම පිළිබඳ ව ලියැවුණු අපූරු ම පද වැලකි, ‘ජේසුගෙන් පණිවිඩයක්’ නිර්මාණ ය. ජේසු චරිතය තුළ ද නැවතත් නුවණින් සරන්නට කාලය පැමිණ ඇති වග මේ නිර්මාණය හරහා කවියා පාඨකයාට සිහිපත් කොට දෙයි. මෙවැනි ම පණිවිඩයක් රැගත් ‘ගෝධන මිදුම’ නිර්මාණය ද (පොතේ කවරයේ පිටුපස) එදා ධනවතුන්ගේ වහල්භාවයට මැදිව සිටි, තම පෞද්ගලික ජීවිතයේ අයිතිවාසිකම් පවා අහිමි ව ජීවත්වූ පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් වූ පියතුමකුගේ මතකය ද පාඨක සිත් තුළ යළිත් සිත්තම් කොට දෙන්නට තරමට කවියා උත්සුක වී ඇත.

වරක් දෙවරක් නොව තුන් හතර වතාවක් අකුරක් නෑර කියෙවුව ද, වටහා ගැනීමට නොහැකි නිර්මාණ එකක් දෙකක් නොතිබුණා නොවේ․ ඒත් ඒ සෑම නිර්මාණයක ම ඇතුළත් යෙදුම් සහ වදන් හරඹය අලුත් යමක් මනසට ඇතුළු කරගන්නට උනන්දුවක් ඇති කළ බව නම් සැබෑ ය. ඒ අතරේ දුටු සුවිශේෂී කාරණාව වන්නේ කවියාගේ බොහොමයක් නිර්මාණ ඉදිරිපත් කෙරෙන්නේ කථකයකු හරහා වීමයි. බොහෝ පද්‍ය නිර්මාණවල කථකයකු මෙන් ම කථිකාවක ද දක්නට ලැබේ. එහෙත් ජයසිරි අලවත්තගේ කවිය තුළ බොහෝ විට කථිකාවක දක්නට ලැබෙන්නේ අවමයෙනි. මෙය කවියා විසින් සිතා මතාම සිදුකළ දෙයක් ද, නැතහොත් නිර්මාණාවේශයේදී කවිය විසින් නිර්මිත කථකයාගේ භූමිකාවට කවියාටත් නොදැනීම කවියා ආවේශ වීමක් දැයි සිතාගැනීම අසීරු ය. මෙසේ සිතන්නට මග හසර කියන්නේත් කවියාගේ ම ආදරය සහ විරහව පිළිබඳ ව ගෙතුණු පදවැල් නිසාම ය. එපමණට ම කවියේ ප්‍රස්තුතයට සහ කථකයාගේ භූමිකාවට ඔහු උපරිමයෙන් සාධාරණයක් ඉටු කොට ඇතැයි සිතේ.

කවියා ප්‍රේමයේ සුන්දරම මොහොතින් තම පූජෝපහාරය අරඹයි. ඒ බිඳුණු ප්‍රේමය වෙනුවෙන් ඉපදුණු විරහව වෛරී සිතුවිල්ලෙන් පුරවනවා වෙනුවට එයම සවියක් කොට ගෙන මනරම් ප්‍රේමයත්, වේදනාත්මක විරහවත් ගැන අරුමැසි ම කවිකම් කිරීම ය. කවියා තම ප්‍රේමය සහ විරහව ගැන ලියවූණු කවි බොහොමයක්ම හැඩ වැඩ ගන්වන්නේ සොබා දහමෙන් උකහා පෙරා ගත් උපමා, රූපකවලිනි. පොදුවේ ගත් කල සාහිත්‍යයේ දී කවීහු බොහොමයක් ස්ත්‍රී පුරුෂ සබඳතා ගැන මෙන්ම ආදරය, විරහව වෙනුවෙන් ද පරිසරයේ බෙහෝ දෑ භාවිත කරත්. එලෙස ම කවියා ද කථකයා වෙතින් ගිලිහුණු සුන්දර ආදරයක් පිළිබඳ ව වූ අතීත ස්මරණයකට තුරුලු ව, එහෙත් ඒ ආදරය ම අහිමි වීමෙන් ලද විරහ වේදනාවේ ප්‍රබලත්වය අපූරු කාව්‍යෝක්තීන් මගින් පාඨකයාගේ හදවත ගැඹුරට ම දැනෙන ලෙසින් ප්‍රකාශ කරයි. එලෙස රූපක ප්‍රබල ව භාවිතයට ගත් තැනක් ලෙස ‘බැස ගිය සරා සඳ’ නිර්මාණය දැක්විය හැකිය. එහි එන...

‘අඳුරු ය; නැත... නැත.. ගනඳුරු ය
ගගන මත නොව මුළු විශ්වය ම
චක්‍රාවාටය ම’

යන යෙදුම හරහා ආදරයෙන් ආලෝකවත් ව තිබූ කථකයාගේ ලෝකය ම එකී ප්‍රේමය අහිමි වීමෙන් මහා ඝන අන්ධකාරයක ගිලී ඇති බවත්, ඔහු පමණක් නොව විශ්වයත්, මුළු චක්‍රාවාටයත් ඝන අඳුරක ගිලී ගිය සෙයක් පාඨකයාගේ සිත තුළ ජනිත කරවයි. සුනුවිසුනු වී ගිය ප්‍රේමයෙන් ලද විරහව කෙතරම් ප්‍රබලදැයි දැනවීමට කළ තවත් අපූර්ව නිර්මාණයකි, ‘අවසන් ඵලය’ පද එකතුව. ඒ හරහා ද කවියා ස්වභාව ධර්මයේ නෙක නෙක අවස්ථා මගින් කථකයාගේ විරහවේ දිග පළල පාඨක හදවත් තුළ ප්‍රතිනිර්මාණය කරවන්නට සමත් වෙයි.

බොහෝ පෙම් පලහිලවු අවසන් වන්නේ එකිනෙකා තුළ: වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම සහ කලකිරීම වැනි දෑ ඉතිරි කරමිනි. එසේත් නොමැතිනම් ජීවිත හානි වීමකිනි. එහෙත් ආදරය යනු, එය බිඳී ගිය විට හෝ අතහැරුණු විට එකිනෙකා වෙනුවෙන් වගපල කියා ගැනීම නොව, ජීවිතයේ ඉතිරිය ගෙවා දැමීමට සිත හසුරුවා ගැනීම බව කවියා සඳහන් කරන තවත් අපූරු ම නිර්මාණ දෙකක් මේ කවි එකතුවේ වෙයි. අපේක්ෂා භංගත්වයෙන් ජීවිතය බිඳ ගන්නවාට වඩා තම සදොස් බව දරාගෙන ම, කවිය ම දිවියේ සවිය කොටගන්නා ආදරවන්තයකගේ සන්සුන් අධ්‍යාත්මය සරල පද වැල් අතරේ සීරුවට ගොනු කොට දෙන්නට කවියා සමත් ව ඇති අයුරු දකින්නට නම් ‘වෙන කුමක් පවසම් ද?’ නිර්මාණය නොකියවා ම බැරි ය.

‘රඳන් සිත සවිය - ගොතන්නෙමි කවිය
එයයි මගෙ සවිය - රකින්නට දිවිය’

යනුවෙන් බිඳ වැටුණු, සුන් වූ අපේක්ෂා මතින් නැඟී සිටිමින් ගොඩනඟා ගන්නා කථකයාගේ අලුත් ජීවිතය ගැන කවියා සමස්ත ආදරවන්තයන්ට ම යම් ධනාත්මක පණිවිඩයක් ද රැගෙන එයි.

ඉනුත් නොනැවතෙන කවියා තම බිඳුණු සිත සුවපත් කරගන්නේ පුරාණයේ දී තෙදැති බලැති මහා විෂ්ණු දෙවිඳුට ද වනයක බට කොළ වළඳන්නට සිදු වී නම්, සාමාන්‍යය පුද්ගලයකු වූ තමාට එසේ සිදුවීම අරුමයක් නොවන් බවත්, තමාට ම කොතැනක හෝ වරදින්නට ඇතැයි ද සිතමිනි. එලෙස ම දෙළයක් එක් කළ මලවිට ද මල් දුන්නට ද ඉලක්කය වරදින්නට ඇතැයි කියන්නේ අතහැරුණු ප්‍රේමය වෙනුවෙන් කිසිවකුට කිසිදු චෝදනාවක් හෝ එල්ල නොකරමිනි.

‘අග්නිදාහයෙන් පීඩිත
මහා ඔද තෙද විෂ්ණු දෙවිඳුට
කැව්වා වනේ බට කොළ’
ආදි ලෙසිනුත්,
‘ඉදින් සිදු විය නොහැකි ද
වරදින්නට ඉලක්කය
දෙළයක් එකට යා කරන
කුසුමවියාට හෝ එ මල් දණ්ඩට’

යනුවෙනුත් කවියා සිය ‘කුසුමවියාටත් වරදින්’නැති’ නමැති නිර්මාණය තුළ පද හසුරවන්නේ පාඨක අපේ සිත් ද මොහොතකට විස්මයට පත්කරවමිනි.

සමස්ත කාව්‍ය සංග්‍රහය ම ගත් කල එය පමණක් කවි පොත් මෙන් එහෙන් මෙහෙන් කියවා පසෙකට දමන්නට හැකි පොතක් නොවන වග නම් යළි යළිත් සිහි කරමි. මන්ද, කවියාගේ කවි තුළ තවත් බොහෝ කවි සොයා යා හැකිවා මෙන් ම ආදරය හා විරහව විඳගන්නා වෙනස්ම මාවතක් වෙත අපි කැඳවාගෙන යනු ලබන නිසා ය. එපමණක් නොව සමාජීය, ආර්ථික හා දේශපාලනමය යථාර්ථයේ අහුමුලු ද අතට හිතට අසුවන හා ගොඩවන ආකාරයෙන් කවියේ යටි පෙළ තුළ අරුත් ගන්වා ඇත්තේ භාෂාව හැසිරවීමේ පරිචය මෙන්ම සැබෑ කලාකරුවෙකුගේ යුතුකම සහ වගකීම කවියා විසින් මනාව පසක් කොට ගෙන ඇති නිසාවෙන් බව හැඟේ.

විවිධ අනුභූතීන් ඔස්සේ අපි විඳින, අපි අත්දකින අපේම ජීවිතවල බොහෝ පැතිකඩ කවිය තුළ ප්‍රතිනිර්මාණය කරමින්, ජීවිතය පිළිබඳ ව පෙරළා කියවීමකට පාඨක පාඨිකාවන් යොමු කරවන්නට සමත් ‘අරුමැසි ම කවි’ කාව්‍යය සංග්‍රහය බුද්ධිමත් කාව්‍යය පාඨක පරපුරක් වෙනුවෙන් කළ මහඟු මෙහෙවරක් ලෙස දකිමි.

Comments