
සිනමාව රැඳී තිබෙන්නේ මෙවැනි සිනමා උලෙළවල විතරයි. ප්‍රදර්ශන මණ්ඩලවලත්, සිනමා ශාලාවලත් අතුගාල දොට්ට දාපු සිනමාවකුයි මේ සම්මානවලින් පිදෙන්නේ. මතු පරම්පරාවට මේක ලොකු අභියෝගයක්. මම එබඳු සිනමාකරුවෙක්. එනිසා අධෛර්යවත් නොවී සිනමාව වෙනුවෙන් මේ වගේ චිත්‍රපට උලෙළවල් පවත්වන්න.
- ධර්මසේන පතිරාජ
දෙරණ සන්සිල්ක් සම්මාන උලෙළ පිළිබඳව නොයෙකුත් දේ ලියැවී තිබේ. සමාජ ජාල වෙබ් අඩවිවල සිට ආලින්දයේ ඇති රූප පෙට්ටියෙන්ද එහි ආස්වාදය මේවන විටත් ඔබ අත්විඳ හමාරය. එසේ නම් සම්මාන ලැබුවෝ කවුරුද ඒ කවර චිත්‍රපට සඳහාද යන්න නැවත පුනරුච්ඡාරණය කිරීමට තරම් දෙයක් මට නැත. එනිසා මෙම සම්මාන උෙලළේදී සිදු වූ කිසියම් කාරණයක් උද්ධෘත කරමින් වෙනත් මානයකට ඔබව කැඳවාගෙන යාමට අවසර.
දශක තුනකට එපිට සිනමා තාරකාවන් රොද බඳින සිහින සිත්තම් අප කොතෙකුත් දැක ඇත. කුඩා කල පටන් ඒවාට සහභාගි වූවකු ලෙස අදත් ඒ ආස්වාදනීය මතකයයන් සිත තුළ ලැගුම් ගෙන ඇත. එනිසා දෝ සිනමා සම්මාන උලෙළක් පවත්වන විට ඒ පිළිබඳව සවිඥානක වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. මේ පුරුද්ද මෙවර දෙරණ සන්සිල්ක් සම්මාන උලෙළ නැරඹීමටද උත්තේජනයක් විය. මෙහිදී 2016 වසරේ ප්‍රදර්ශනය වූ සිනමා සිතුවම් බොහෝමයක් ඇගයීමට පාත්‍ර විය. ඒ අනුව කෙටි චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමිමත් හෙට දවසේ සිනමාව වෙනුවෙන් මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු බාර ගැනීමත්, හොඳම මතු ප්‍රාර්ථනා සහිත අධ්‍යක්ෂවරයා ලෙස ජූඩ් රත්නම් නම් කිරීමත් සිත් ගන්නා සුලු මෙන්ම ප්‍රශංසාව හිමි විය යුතු කාරණාවකි.
අප ඉතිහාසයේ නොදුටු ඉතාම සාධනීය තීන්දු තීරණ ගණනාවක් මෙම සම්මාන උලළේ ජූරිය විසින් ගෙන තිබුණි. ඇතැම් තීන්දු තීරණ ඉතාම රැඩිකල් ය. විශේෂයෙන්ම හොඳම සිනමා සංගීත අධ්‍යක්ෂණය සහ ගීතය ලෙස විශ්වජිත් කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අජිත් කුමාරසිරිට හිමිවීම මෙහිදී කැපී පෙනේ. මෙම සම්මානය ඔහු අතට පත්වන්නේ ඉතාම දක්ෂ නිර්මාණශීලී සංගීත සංරචකයින් දෙපළක්වන නදීක ගුරුගේ හා චිත්‍රාල් සෝමපාල පරයා වීම මෙහි වටිනා කම තවත් තීව්‍ර කරයි. නමුත් මෙහි ඇති අඩුව නම් සම්මාන නොලැබුණු සංගීතඥයින් දෙපළ පිළිබඳව ඔවුන් කළ කාර්ය පිළිබඳව කිසියම් ඇගයීමක් සිදු නොකිරීමය.(මෙය සෙසු සම්මාන ලාභීන් සඳහාද එක සේ අදාළය)
සම්මාන උෙලළේ හොඳම නිළිිය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ 70-90 දශකවල අති රමණීය කමනීය රංග ප්‍රතිභාවකින් ප්‍රේක්ෂකයින් වසඟ කළ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චිය. නමුත් මෙම විනිශ්චය ලබාදීම සඳහා පෙර සඳහන් කළ ප්‍රශස්ත විනිශ්චය මණ්ඩලය සාධාරණය ඉෂ්ට කළේ ද යන්න නො අසා සිටිය නොහැකිය. හොඳම නිළිය සඳහා ජූරියේ විශේෂ සම්මානයක් ‘මෝටර් බයිසිකල්’ සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් සමනලී ෆොන්සේකාට ලබාදෙන්නේ මෙම හෘදය සාක්ෂියෙන් ගැලවීම පිණිසදැයි සැක සිතේ. ඇත්තෙන්ම ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ ‘ස්වර්ණා’ රඟපෑවේද යන්න ප්‍රශ්නාර්ථයක් නැගෙන්නේ රිතිකාගේ රංගනය එය පරයා නැගී ඒම තුළය. කෙසේ වෙතත් සමනලීට ජූරියේ විශේෂ සම්මානයෙන් සෑහිමට පත්වන්නට සිදු විය.
මහා සිනමා පරමාදර්ශයන් පිළිබඳව කතා කරන මෙම ජූරි සභිකයින්, සම්මාන ලාභින් කොතෙක් තමන්ට අවංක වන්නේ දැයි මෙවැනි සම්මාන උලෙළවල් අපට නිතැතින් පසක් කරදෙයි. තමනට අයිති නොවන සම්මානයක් ලබා ගැනීමට නොහැකිව ඒවා ප්‍රතික්ෂේප කළ නැති නම් සුදුස්සාට පිරිනැමූ අවස්ථාද මෙරට සිනමා උලෙළවල අප දැක ඇත. එනිසා මෙරට සිනමාවේ ‘පීඩිත ස්ත්‍රියගේ’ භූමිකාව මොනවට මුද්‍රා තැබූ ස්වර්ණා වැනි ගෞරවාන්විත නිළියකට මෙම සම්මානයට හිමිකම් කීම තරම් නොවේ යැයි සිතමි. මෙය හොඳම සම්මානය ලබාගත් අසෝක හඳගමටද එක සේ අදාළය. ඔහු අපට සිටින දේශපාලනමය සිනමාකරණයේ සංඥාර්ථයකි. නමුත් ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය ඒ අනන්‍යතාව කොතරම් දුරට රැකගත්තාද යන්න ඔහුම කිරාමැන බැලිය යුතුය. 2016 වසරේ නිමැවුණු කලාත්මක සිනමා සිත්තම් අතර ‘මොර්ටර් බයිසිකල්’ හා ‘සයපෙති කුසුම’ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයට බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියේය. එය සම්මාන හිමිව ඇති ආකාරය විමසීමේදී මනාව ස්ඵුට වේ.
මෙහිදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දසුන් පතිරණය. එසේ සම්මානයෙන් පිදුම් ලැබීම එම කලා ශිල්පියාට මහත් ගෞරවයක් සේම ඔහුව දිරිගන්වන්නකි. නමුත් අහඹුව අනිවාර්ය වන්නා සේ සිය සහෝදර රංගන සිල්පියකු වන ජගත් මනුවර්ණ වැලඳ ගැනීමට යාමේදී සම්මානයේ යට කොටස ගැලවී බිම පතිත විය ( ඒ අහඹු අනිවාර්ය කුමක්දැයි මතු දැක්වේ). ඒ සම්මානවල හැටිය. ඔවුන් අතර දස්සා යනු ‘තඹූරු කුසුමකි’. එහෙත් එය සිදු නො විය යුත්තකි. තමන් බොහෝ වෙහෙස මහන්සි වී සිදු කරන රංගනය වෙනුවෙන් ලැබෙන ඇගයීම තුට්ටු දෙකේ සෙල්ලම් බඩුවක් මෙන් බිඳී ගිය විට ඇති වන මානසිකත්වය කෙබඳුදැයි සිතා ගැනීම එතරම් අපහසු නැත. එය ලෝකෙටම අඬබෙර වයා ගන්නා මගුලේ මනමාලියගේ සාරිපොට ගැලවී වැටුණා සේය. එහෙත් ජීවිතයේ බොහෝ දුෂ්කරතා පසුකර පැමිණි දසුන්ට එය සාමාන්‍යකි. ඔහු මෙසේ පවසයි,
“සම්මාන ඒවා කැඩෙනව. ගණන් ගන්න එපා. ඒව සම්මානනෙ, පිස්සු වගේ.. මුල ඉඳන් ස්තූති කරන්න ඕනේ… දෙවියන්ගෙන් ගොඩක් දේවල් ඉල්ලුවා.. ඒත් ඒ කිසිදෙයක් ලැබුණේ නෑ.. අම්මා තාත්තගෙන් ඉල්ලුවා. ඒ හැමදේම ලැබුණා. මාව හැදුවට වැදුවට ගොඩක් ස්තූතියි.. මගේ නංගි.. හංසි..මගේ මුල පාසල.. ප්‍රියංගි මිස්, කැලුම් සර්… මගේ දෙවැනි උපත මහේන්ද්‍ර පෙරේරා. එතනට ආපු නිසා තමයි මේ හැමදේම.. මගේ යාළුවෝ.. මට ෆීලින්ග් එකක් දීපු හැමෝම. මට එක්ස්පීරියන්ස් එකක් දීපු හැමෝම. මගේ ෆිල්ම් ඩිරේක්ටර්ස්ලා හැමෝටම ස්තූතියි! මාව විශ්වාස කළාට..මගේ මේ ඉස්සරහ මේ ඉන්න අයියලා අක්කලා ටික මගේ ලෝකේ පොරවල්. එයාලා ඇක්ට් කරනවා ආශාවෙන් බලන් හිටියා නිසයි මට ආසාවක් ඇති වුණේ. ඒ ආසාව නිසයි මම අද මෙතන ඉන්නේ. සම්මානයක් ලැබුණා.. ඒකට මාර සතුටුයි.”
සමකාමීත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය පාපයක්, මනෝව්‍යාධියක් ලෙස දකින හඟින මිනිසුන්ගේ හෘද සාක්ෂිය නුඹ සියුම් සැතකින් පාරා සිදුරු කර අවසානයි වීසා. නුඹ කට උත්තර නැති වෙන්න කියන්න ඕනදේ දැනටමත් කියා ඉවරයි. මේ කුහක සදාචාරවාදීන් අතින් ‘සයපෙති කුසුම’ හොඳම සිනමා නිර්මාණය ලෙස අගය නොවන බව නුඹටත් මටත් විමතියක් නැත. ඒ මේ කුහක සඳාචාරයේ හැටි බව අපි දනිමු.
එහෙත් දස්සා අතින් බිඳී වැටුණු සම්මානයේ සංඥාව අපට හඟවන්නේ පම්පෝරි ගසා අපක්ෂපාතීව දෙනු ලබනවා යැයි පවසන මෙරට සම්මාන උලෙළවලදී දෙනු ලබන ඇතැම් සම්මාන කොතරම් ප්‍රෝඩාකාරී ද යන්නය. ඒ බව දස්සාගේ ම සම්මානය (හොඳම නළුවා) අහඹුවෙන් හෝ බිඳී යෑමෙන් පසු දස්සා ඊට දැක්වූ ප්‍රතිචාරයෙන්ම විද්‍යමාන විය.
එනිසා අනාගත සිනමාව වෙනුවෙන් වැඩ කරන තරුණ තරුණියන් සිනමාව වෙළෙඳාම් කිරීමට නොව වෙළෙඳාම සිනමාව වෙනුවෙන් නිර්මාණශීලීව යොදා ගැනීමට ශූක්ෂ්ම විය යුතුය.
දේශපාලන දෘෂ්ටියක් සහිත සිනමාත්මක ප්‍රකශනයෙහි පුරෝගාමියකු වූ ධර්මසේන පතිරාජට ජීවිතේ එක් වතාවක් පිරිනමන යාවජීව සම්මානයෙන් පුද ලබන විට කළ කථාවෙන් කොටසක් මෙහිදී සටහන් කර තැබීම උචිතයැයි සිතමි. “මේ සිනමාව රැඳී තිබෙන්නේ මෙවැනි සිනමා උලෙළවල විතරයි. ප්‍රදර්ශන මන්ඩලවලත්, සිනමා ශාලාවලත් අතුගාල දොට්ට දාපු සිනමාවකුයි මේ සම්මානවලින් පිදෙන්නේ. මතු පරම්පරාවට මේක ලොකු අභියෝගයක්. මම එබඳු සිනමා කරුවෙක්. එනිසා අධෛර්යවත් නොවී සිනමාව වෙනුවෙන් මේ වගේ චිත්‍රපටි උලෙළවල් පවත්වන්න. ඒවගේම දැඩි ධෛර්යකින් යුතුව මේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දෙන්නත්, හොඳ චිත්‍රපටි නිර්මාණය කරන්නත් මතු තරුණ පරම්පරාව යොමු වේවා!යි ප්‍රාර්ථනා කරනවා ”
එනිසා හෙට දවසේ මේ ආකාරයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උලෙළවල විනිශ්චයන් වඩා විනිවිද භාවයෙන් යුතු වීම අනාගත සිනමාවට මහත් ආලෝකයක් වනු නියතය.