BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ප්‍රියංකාට අභිෂේක්ව එපාවෙයි

ප්‍රියංකා චොප්රා දැන් ජාත්‍යන්තර තලයට පැමිණි නිළියක් හැටියට හැඳින්වූවත් වරදක් නැහැ. ඒ නිසාදෝ ඇය, සමහර චිත්‍රපටවල රඟපෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලිගේ අලුත්ම නිර්මාණයට දායක වෙන්නට පවා ප්‍රියංකා එකඟවී නැහැ. සහීර් ලුඩ්යාන්වි නම්වූ ප්‍රවීණ කාව්‍ය නිර්මාණවේදියාණන්ගේ ජීවිත කතාව මේ චිත්‍රපටයට පාදක වී තිබෙනවා. ප්‍රියංකා මීට මාස කිහිපයකට පෙර මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැත්ත දී තිබුණා. ඇයට ලැබුණේ අම්රිතා ප්‍රිතම් නම් වූ කිවිදියගේ චරිතයයි‍.

කොහොම වෙතත් මේ වනවිට ප්‍රියංකා මේ චිත්‍රපටයේ රංගනයට එක්වන්නේ නැති බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. ඇතැම් අය පවසා තිබුණේ ප්‍රියංකා මේ චිත්‍රපටයෙන් ඉවත් වුණේ එහි සම නිෂ්පාදකවරිය ලෙස දායක වීමේ අවස්ථාව ඇයට නොලැබී ගිය නිසා ය කියලයි. ඒත්, මේ කතාව දැනගත් හැටියේ ම එය ප්‍රතික්ෂේප කළ ප්‍රියංකා සහ අධ්‍යක්ෂ භන්සාලි කීවේ එහි ඇත්තක් නැති බවයි. තවත් අය පැවසුවේ ප්‍රියංකාට චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් යොදා තිබූ දින පිළිබඳ ප්‍රශ්නයක් මතුවී ඇති බවයි.

මෙවැනි පුංචි පුංචි අනුමාන කිරීම් සිදුවෙද්දී මතුවුණේ ප්‍රබල හේතුවක්. ප්‍රියංකා මේ චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කළේ අභිෂේක් භච්චන් එහි රඟපාන නිසාලු. ඇය අභිෂේක් සමඟ රඟපෑමට අකැමැතියිලු. දෙදෙනා අතර අමනාපයක් පවතින බවයි පැවසෙන්නේ. මේ විරසකයට මුල පිරුණේ ‘බ්ලැක් මාස්ටර්’ නම්වූ බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු දා පටන්ලු. ‘බ්ලැක්මාස්ටර්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට මුලින්ම ඓශ්චර්යා රායි තෝරාගෙන සිටියත් පසුව ඒ තැනට ප්‍රියංකා ගේ පැමිණීමත් එක්කම අභිෂේක් සහ ප්‍රියංකා අතර අමනාපයක් හට ගත් බවයි. තතු දන්නා උදවිය පවසන්නේ.

මවගේ සාරි අදින අනුශ්කා

අනුශ්කා ශර්මා නම් තවමත් කැමැති ඇගේ මව අදින සාරි ඇඳගෙන ගමන් බිමන් යන්නලු. පුංචි අවදියේ මෙන් ගේ ඇතුළේ ඇවිදින්න නම් නෙවෙයි. ප්‍රසිද්ධ උත්සව වැනි විශේෂ අවස්ථාවලට ඇය සහභාගි වන්නේ මවගේ සාරි ඇඳගෙනයි.

“පුංචි කාලෙ ඉඳන්ම මම, මගේ අම්මා අඳින සාරි දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන් අම්මා සමහර දවස්වලට පාටි එකකට යන්න ලෑස්ති වෙන කොට මම, අම්මා අඳින සාරි හොඳට පරීක්ෂා කරල බලනවා. ඒ විතරක් නෙමෙයි. මේක් - අප් ගැනත් හොඳට හොයල බලනවා.” එදා අනුශ්කා තම මව‍ෙග් ඇඳුම් පැලඳුම් දෙස එලෙස උනන්දුවෙන් සොයා බැලුවා. ඒ මතක සටහන් අලුත් කිරීම අනුශ්කාට සතුටක්. ඒ නිසයි ඇය මවගේ සාරි හැඳ පැලඳ ගන්නේ.

අනුශ්කාගේ පියා හමුදා නිලධාරියෙක්. ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාවේ විවිධ පළාත්වල සේවය කරන්නට සිදුවුණා. ඉතින්, පියාත් සමඟ විවිධ ප්‍රදේශවල පදිංචියට යෑමටයි, අනුශ්කාටත් මවටත් සිදුවුණේ.

“අපි රට වටේම ගියා. ඒ ගමන්වලදී විවිධ ප්‍රදේශවලට ආවේණික වූ ස්වදේශීය සාරි ගොඩක් මිලදී ගන්න අම්මාට පුළුවන් වුණා. ඒ නිසා අම්මාට හොඳ ලස්සන සාරි එකතුවක් තිබුණා. ඒ සාරි අදත් මම ගමන් බිමන් යන්න අඳිනවා” අනුශ්කා මුව පුරා සිනාසෙමින් කීවා.

රත්තරන් වැඩ ගොඩක්

අනිල් කපූර් සහ කට්රිනා කයිෆ් යන ජනප්‍රිය නළු නිළි දෙපළ පසුගිය සතියේ මැද පෙරදිග සංචාරයකට පිටත්ව ගියා. බොලිවුඩ් චිත්‍රපට රූගත කිරීමකට නම් නොවෙයි. රත්තරන් වැඩකටයි. ස්වර්ණාභරණ සාප්පු කිහිපයක් විවෘත කරන්නටයි.

 

කට්රිනා පිටත්ව ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දේශයටයි. ඇය ඩුබායිවල ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර තුනක් ආරම්භ කළ බවයි අල්ලපු රටෙන් ලැබුණු පුවතක සටහන් වුණේ. නවීන ලෝකයට ගැළපෙන විලාසිතාවන්ගෙන් සපිරුණු ස්වර්ණාභරණ මේ වෙළෙඳසල්වල ඇති බවයි, කට්රිනාගේ සමීපතමයන් පවසන්නේ.

අනිල් කප‍ූර් පිටත්ව ගියේ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි. ඔහු ද එ‍රටෙහි විවිධ ප්‍රදේශවලදී ස්වර්ණාභරණ හල් තුනක් විවෘත කළ බවයි පැවසෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි හි එයින් එක් ‘රන්මාලිගයක්’ විවෘත වූ බවත් සාජා ප්‍රදේශයේ දී තවත් වෙළෙඳ සැලක් විවෘත කෙරුණ බවත් සඳහන්.

පැරැණි පෙම් යුවළ යළිත්

‘රාජු ඛාන් ගායා ජෙන්ට්ල්මන්’, ‘ධර්’, ‘රාම් ජානේ’, ‘යර්ස් බොස්’ සහ ‘ඩුප්ලිකේට්’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල පෙම්වතා සහ පෙම්වතිය ලෙස රඟපෑ යුවළ ඔබට මතක ඇති. මේ පින්තූරයේ සිටින්නේ ඒ දෙදෙනා තමයි.

ඔබේ ආදරය දිනාගත් ශාරුක් ඛාන් සහ ජූහි චව්ලා යළිත් එදා මෙන් එක්ව රඟපාන චිත්‍රපටයක් ළඟදීම තිරගත වීමට නියමිතයි. තවමත් නමක් යොදා නොමැති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආනන්ද් එල් රායි. දැන් මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී තිබෙනවා. ජූහි, ශාරුක් සමඟ නිරූපණය කරන්නේ කෙටි රංගනයක් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. මේ දෙදෙනාගේ රඟපෑම් ඇතුළත් වූ දර්ශන කිහිපයක්ම පසුගියදාක රාත්‍රියේ සිට පසුදා අළුයම් කාලය වනතුරු රූගත කෙරී තිබුණා. 

Comments