සතර සවිය සහ නෙළුම 25 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 25

මිනිසුන් කළ යුත්තේ රැකියාව නොව සේවයයි

මගේ ජීවිතයේ 60 සහ 70 යන දශක දෙකේදී වැඩි වශයෙන් වේදිකා නාට්‍ය කලාවට නැඹුරු වූයෙමි. 70 සහ 80 දශක දෙකේදී වේදිකා නාට්‍ය‍මෙන් ම සිනමා කලාවේද නිරත විය. 80 සහ 90 දශක දෙක එසේම වූයේ නැත. රූපවාහිනී කලාවේ වැඩි වශයෙන් නිරත වීමට මට හැකි විය.

‘එක මවකගෙ දරුවෝ’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයේ රංගනය ආරම්භ කළ මම එක දිගට ම විවිධ උසස් ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත මෙන් ම උප ප්‍රධාන චරිත රඟපෑවෙමි. ධම්ම ජාගොඩ ශූරින්ගේ ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍යයේ පණ්ඩිත හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළ මා, එතුමාගේ ම ‘මිහිකතගේ දරුවො’ ප්‍රසාංගික ටෙලි වෘත්තාන්තයේ මුස්ලිම් ජාතික මන්සර් නානාගේ චරිතය නිරූපණය කළෙමි. මා පුංචි තිරයට හඳුන්වා දුන් ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාදේවි’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ හෙන්රි නිකලස් ජයසුන්දර නම් වූ ධනවතාගේ චරිතය නිරූපණය කළෙමි.

එම රඟපෑමට එවක තිබූ විජය රූපවාහිනී ටෙලි සම්මාන උලෙළේදී ජුරි සභාවේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවෙමි. ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ අනෝජා වීරසිංහය. ප්‍රතිභාපූර්ණ රංගධර ජැක්සන් ඇන්තනී මගේ ප්‍රතිවිරුද්ධ චරිතය විය. රඟපෑම යනු ක්‍රියාව සහ ප්‍රතික්‍රියාවයි. ප්‍රතික්‍රියා දැකගන්නට නම් අනෙක් රංගන ශිල්පීන් හා ශිල්පිනයින් අති දක්ෂ විය යුතුය. ‘තාරාදේවි’ ටෙලි නාට්‍යයේ රඟපෑවේ ඉතාමත් දක්ෂ ශිල්පීන් හා ශිල්පිනියන්ය. මේ වන විට එම නාට්‍ය පස් හය වතාවක් විකාශය වී ඇත. මේ නොබෝදා ‘තාරාදේවි’ දුටු සහෘදයින් බහුතරයකින් පිටවූ වචනය නම් “තාර‍ාදේවි දකිනකොට දැන් තියෙන ටෙලි කතා නාට්‍යය ද කියලයි හිතෙන්නෙ” යනුවෙනි. කලාකරුවන්ගේ ගමන සාර්ථක වීමට ඇගැයීම ඉතා වැදගත්ය.

රන්ජන් ද සිල්වාගේ ‘සුදු පරවියෝ’, ‘රතු රෝස’, ‘අරවින්ද සහ ඉන්දු’ ටෙලි නාට්‍ය නිසා මගේ ජනප්‍රියභාවය වැඩි විය. විශේෂයෙන් ‘රතුරෝස’ ඉතාමත් ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයකි. අවුරුදු ගණනාවක් ගත වුවද, ‘අරවින්ද සහ ඉන්දු’ හි “බණ්ඩේ අලියට කිතුල් කැපුවද බොල” යන දෙබස අදත් නැරඹූ අයට හොඳ හැටි මතක බව මට දැන ගැනීමට ලැබී තිබේ.

එමෙන්ම සුදත් සේනාරත්න අධ්‍යක්ෂණය කළ ‘සිව්මංසල’ නාට්‍යයේ විශ්‍රාමික විදුහල්පති චරිතය මිනිසුන්ගේ සිත් තදින් ඇද බැඳගත් චරිතයකි.

රූපවාහිනී මාධ්‍යය සමාජයේ යහපත සඳහා උපයෝගී කරගත හැකි ප්‍රබල මාධ්‍යයක් ලෙස මම වටහා ගතිමි. ආකල්ප සංවර්ධනය සහ මිනිසුන්ගේ සාරධර්ම පැත්ත දියුණු කිරීමට ටෙලිනාට්‍යය උපයෝගි කර ගත යුතුය, යන මතයේ තරයේ පිහිටා සිටි මා ටෙලිනාට්‍ය නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණය යන දෙඅංශයට ම පිවිසුණෙමි. එහෙත් රංගනය බැහැර කළේ නැත.

ප්‍රථමයෙන් ම කේ.බී. හේරත් රචනා කරන ලද ‘ටිකිරි නිළමේ’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය නිරූපණය කළෙමි. එය අති සාර්ථක නිර්මාණයක් වීම නිසාම පුරා අවුරුදු දහයක් තිස්සේ ප්‍රසාංගික ටෙලි නාට්‍ය එකොළහක් නිෂ්පාදනය කළෙමි. එයින් අටක් ම අධ්‍යක්ෂණය කරන ලද්දේ ම’ විසිනි. ‘නාමල්ගොල්ල’, ‘සව්සිරිඋයන’, ‘සුවඳ පද්ම’, ‘බෝපත් සාක්කිය’, ‘ගිරිකුල අන්දරය’, ‘මොණරවිල’, ‘දියවඩන මළුව’, ‘සත්මහල්’ සහ ‘නිසලවිල්තෙර’ එම ටෙලි නාට­්‍යයයි.

මෙම ටෙලි නාට්‍ය අතරින් ම’විසින් අධ්‍යක්ෂණය කළ ‘දියවඩන මළුව’ අති සාර්ථක සම්මාන දිනූ නාට්‍යයක් විය. වැවක් මුල් කරගෙන කරන ලද මෙම ටෙලිනාට්‍ය නැරඹූ වැව් බැදි රාජ්‍යයේ ගොවි ජනතාව මා හට අදත් දක්වන්නේ පුදුම ගෞරවයකි. මෙම නාට්‍ය දුටු එවකට වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාට මගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය විය. එතුමාගේ එවකට මාධ්‍ය ලේකම් වූ නිමල් වීරතුංග මහතා මා සොයාගෙන පැමිණ එවේලේ ම මාව චමල් රාජපක්ෂ මැතිතුමා ළඟට කැඳවාගෙන ගියේ ය. එදින ඇතිවූ කෙටි පිළිසඳරේ ප්‍රතිළුලය වූයේ එතුමාගේ සංකල්පයක් වූ නිල් දියවර කෙත්යාය ව්‍යාපෘතියේ සංස්කෘතික කටයුතු උපදේශකවරයා වශයෙන් කොන්ත්‍රාත් පදනම මත තනතුරක් ලැබීමයි. ඉතා කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් කිරීමට පරිසරය සකස් විය.

මගේ ක්‍රියා කලාපය ඇතැම් ඉංජිනේරුවන්ට රුස්සන්නේ නැති විය. මා රංගන ශිල්පියෙක් නිසා මිනිසුන් අතර ජනප්‍රිය වීම නිතැතින් සිදුවන්නකි. ගතවූයේ වසර දෙකකට ආසන්න කාලයකි. අලුතින් ආ ලේකම්වරයා මට වරින් වර වෙනස්කම් කළේය. චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක පදවිය ලබා අමාත්‍යාංශයෙන් පිටව ගියේය.

ම‍ගේ ආරක්ෂාවට කෙනකු නොවී ය. දිනක් මේ ලේකම්වරයා “සතිස්චන්ද්‍ර මහත්මයා! ඔයා ගොවියෝ දැනුවත් කරන්න එපා. එතකොට අපට කරදරයි.” යනුවෙන් කීවේය. මෙවැනි නිලධාරින් සිටින රටක් දියුණු කළ හැකි ද? ඒ ලේකම්වරයා මගේ වැඩවලට සහාය දුන්නේ නැත. මගේ සේවය දීර්ඝ කළේත් නැත. ඒ වන විට මා ‘ජලය සහ මිනිසා’ යනුවෙන් අති දැවැන්ත ප්‍රදර්ශනයක් සූදානම් කර තිබුණි. අමාත්‍යාංශයෙන් එය ඉටු කිරීමට මට අවකාශ නොවීය. එහෙත් කෙසේ හෝ ‍මෙම ප්‍රදර්ශනය මා කරනවා යන ධනාත්මක සිතුවිල්ල මගේ සිතේ රෝපණ්‍ය කර ගතිමි.

ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතීත්වයෙන් සංවිධානය වූ ‘ඔස්කා’ ගීත නිර්මාණක කේන්ද්‍රයේ ආරම්භයේ සිටම මම අධ්‍යක්ෂවරයෙක්මි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සනත් ජයසූරිය ක්‍රිකට් නායකයා ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට පත්වූයේ කිෂු ගෝමස් මහතා ය. ‘ඔස්කා’ සංවිධානයේ ලේකම්තුමිය මට ගෝමස් මහතා හඳුන්වා දුන් අවස්ථාවේදී එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

“මිස්ටර් එදිරිසිංහ කලක් තිස්සේ මගේ හිතේ තියෙන දැවැන්ත චරිතයක්. ඔබතුමාට මතක නැතිව ඇති, මට කවදාවත් ඔබ තුමාව අමතක වෙන්නේ නැහැ.” යනු කියා අතීත කථාව කීවේ ය. පල්ලේකැලේ ගම් උදාවේදී මහවැලි වේදිකාව, ඔහුගේ වැඩ සටහනකට ඉඩදීමයි ඒ. ගෝමස් මහතා එම වැඩසටහන මෙහෙයවන අතරතුරේදී පොද වැස්සක් හටගෙන, මා එතුමාට කුඩේ අල්ලාගෙන සිටිය බවයි ඒ අතීතය.

අවුරුදු ගණනාවකට ඉහතදී මා කළ උපකාරයක් ගැන පැවසූ මේ කෘතවේදී මිනිසා මගේ ‘ජලය සහ මිනිසා’ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වනු ඇතැයි යන සිතුවිල්ල පහළ විය. දිනක් කිෂු ගෝමස් මහතා හමුවී ව්‍යාපෘතිය ගැන කීවෙමි. එතුමා අධ්‍යක්ෂ සමඟ ද සාකච්ඡා කර වසර දෙකක් තුළ ලංකාවේ ප්‍රධාන නගර විසිපහක ‘ජලය සහ මිනිසා’ ප්‍රදර්ශනය පැවැත්වීමට අනුග්‍රහය දුන්නේය. මෙම ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීමට සංවිධානයක් අවශ්‍ය විය. මිහිඳු සංස්කෘතික පදනම 2010 දී රජයේ ලියාපදිංචි කළ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් බිහිවිය. කැල්ටෙක්ස් වෙළෙඳ නාමය ඇති චෙවරෝන් ලුබ්රිකන්ට්ස් සමාගම විසින්, කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, තිස්සමහාරාමය, වීරකැටිය, ඇඹිලිපිටිය, වව්නියාව, යාපනය, කැබිතිගොල්ලෑව ආදී නගරවල ප්‍රධාන ශාලාවල ද ප්‍රදර්ශනය පැවැත්විය. මෙම ප්‍රදර්ශන පුවරු භාෂා දෙකෙන් ම විය. “ජලය සහ මිනිසා” මුළු ප්‍රදර්ශනය වර්ණ හතරකින් මෙන් ම භාෂා තුනෙන් ම රචිතව පොත් 2000 ක් දිවයිනේ පාසල්වලට නොමිලේ දීමට මට හැකි විය. මිනිසුන් කළ යුත්තේ කොරියාව නොව සේවයයි. සේවය යනු කුලී ගෙවීමකි. ඒ, අපට ජීවත්වීමට මේ පෘථිවිය ඉඩ දී ඇත. එය අපගේ තාවකාලික නවාතැනයි. දැනටමත් මා රටට ණය නැත.

ලබන සතියට

Comments