විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

සිනමා ලොවේ කුණාටුව

විද්‍යා ප්‍රබන්ධ කතා බොහොමයක් සත්‍ය වන අනාවැකිය. ‘ජියෝස්ටෝම්’ සිනමා පටය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ‍සලස්වන්නේ අනාගත පරපුරට අත්දැකීමට සිදුවන්නක් විය හැකිය.

‘ජියෝස්ටෝම්’ ඔක්තෝබර් 20 වැනිදා සිට තිරගත වීම ඇරැඹුණේ පෘථිවි තලයම ස්වාභාවික විපත්වලින් දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින කාලවකවානුවකය. කතාව ඇරැඹෙන්නේ ද 2019 වසරේ මිහිතලය සොබා විපත් ගණනාවකින්ම හොඳටම බැට කෑමෙන් පසුව ය. ජාතීන් දහ අටක් එක් වී ‘ඩච් බෝයි’ නමින් චන්ද්‍රිකා ජාලයක්, පෘථිවිය වටා අරඹයි. එය භූ ඉංජිනේරු විද්‍යා තාක්ෂණයෙන් ආරක්ෂාව ලබන හා එම තාක්ෂණයෙන් ස්වභාවික විපත් පලවා හරින අයුරින් නිපදවන ලද්දකි. වසර දෙකක් යනතුරු මිහිතල වාසීන්ට කිසිදු ගැටලුවක් මතු නොවීය. එහෙත් කිසියම් වරදක් සිදුවීමට පටන්ගෙන ඇති බව දැනෙන්නට පටන් ගත්තේ ය. ගැටලුව විසඳීමට ඉදිරිපත්ව‍ූයේ මතභේදකාරී ගති පැවතුම් ඇති සොයුරන් දෙදෙනෙකි. පෘථිවිය රැක ගැනීමට නිර්මාණය කළ චන්ද්‍රිකා පෘථිවියට පහර දීමට පටන් ගෙන ඇත. භූ කුණාටුව පෘථිවි තලයම ගිල ගන්න ආසන්නය. එයින් පෘථිවිය රැක ගැනීමට හැකිවේද?

විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම සිනමාපටය ඩීන් ඩෙව්ලින් විසින් අධ්‍යක්ෂණය කළ යුතු බව වෝනර් බ්‍රදර් සමාගම විසින් තීරණය කළේ 2014 ජූලි මාසයේ ය. පනස් ‍පස් හැවිරිදි ඩීන් ඩෙව්ලින් ඇමෙරිකානු නළුවෙකි. තිර රචකයකි. නිෂ්පාදකයකි. ඔහු වඩාත් ප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසයි. ජියෝස්ටෝම් ඩීන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. 1993 දී විද්‍යා ප්‍රබන්ධ, මායාකාර හා භයංකාර සිනමා අංශයෙන් ඇකඩමි සම්මාන උළෙලේ ඔහු හොඳම රචකයා සඳහා නිර්දේශ විය. ඒ ‘ඉන්‍ඩිපෙන්ඩන්ස් ඩේ’ සිනමා රචනය සඳහා ය.

ජියෝස්ටෝම් නිෂ්පාදනයෙන් මෙන් ම තිර රචනයෙන් ද ඔහු දායක වී තිබේ. ඩීන් ඩෙව්ලින් මෙන් ම ජෙරාඩ් බට්ලර්ගේ නම ද වෝනර් බ්‍රදර්ස් විසින් මුලින් ම තීරණය කළ නම් අතරේ විය. ජෙරාඩ් බට්ලර් ප්‍රධාන චරිතය රඟන්නේ චන්ද්‍රිකා ජාලයේ නිර්මාතෘ බවට පත්වෙමිනි. හනාගේ පියා ද වන ඔහු හිටපු චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ කමාන්ඩර්වරයා ද වෙයි.

ජෙරාඩ් ජේම්ස් බට්ලර් නළුවෙකි. නිෂ්පාදකවරයකි. ගායක­‍ෙයකි. හතළිස් හත් හැවිරිදි ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙකි.

ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වූ ටුමෝරෝ නෙවර් ඩයිස් (1997), ටේල් ඔ‍ෆ් ද මමී (1998), ඩ්‍රැකියුලා 2000 (2000) වැනි සිනමා පටවලින් ජනප්‍රිය වූ ඔහු 300 (2007) සිනමා පටයේ රංගනයට සම්මාන ගණනකට නිර්දේශ වූ අතර එම්.ටී.වී. සිනමා සම්මාන උළෙලේ හොඳම සටන්කරුට හිමි සම්මානය දිනා ගත්තේ ය. 2016 වසරේ ජර්මානු ගෝල්ඩනේ කමෙරා සම්මාන උළෙලේ හොඳම අන්තර්ජාතික නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔහු ය. ජිම් ස්ටාර්ගෙස් මීට පෙර ‘ක්ලවුඩ් ඇට්ලස්’ සිනමා පටයේ රඟපා අත්දැකීම් ඇති නළුවෙකි. ජියෝස්ටෝම් සිනමා පටයේ මැක්ස් ලෝසන් ලෙස රඟන්නේ තිස් හය හැවිරිදි ඔහු ය.

සිනමා පටයේ මැක්ස්ගේ පෙම්වතිය වන ඇබී කොනිෂ් ඔස්ට්‍රේලියානු ජාතික රංගන ශිල්පිනියකි. සම්මානනීය රංගන ශිල්පිනියක වන ඇය මෙහි නිරූපණය කරන්නේ ඇමෙරිකානු රහස් සේවයේ නියෝජිත සාරා විල්සන්ගේ භූමිකාවයි. එඩ් හැරිස් (ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලෙනාඩ් ඩෙකම්), ඇන්ඩ් ගාර්සියා (ඇමෙරිකානු ජනාධිපති ඇන්ඩෲ පැල්මා), රොබට් ෂීන් (ඩන්කන්) ද සිනමා පටයට දායක වූ සම්මානනීය තරු ය.

සිනමා පටයේ මූලික ඡායාරූපකරණය 2014 ඔක්තෝබර් 20 වැනිදා (සිනමා පටය රූගත කිරීමට තෙවසරකට පෙර) ඇමෙරිකාවේ ලු සියානාවල නිව් ඕලන්ස්හිදී ඇරැඹිණි. නාසා දර්ශන නාසා ආධාර ඇතිව 2014 නොවැම්බරයේදීත් 2015 ජනවාරියේදීත් නිව් ඕලියන්ස්හිම සිදුවිය.

ජියෝස්ටෝම් තිරගත වීමට තීන්දුකර තිබුණේ 2016 මාර්තු 25 වැනි දින ය. සිනමාපටයට සමාගාමීව ඒ නමින් ම ක්‍රීඩාවක් ද ඇපල් සමාගම විසින් නිර්මාණය කෙරිණි.

ජියෝස්ටෝමී, ‘ට්විස්ටර්’ (1996) මෙන් ටොනාඩෝ සිනමා පටයක් නොවේ. ‘සැන් ඇන්ඩ්‍රියාස් (2015) බඳු භූමිකම්පාවක් ගැන කියැවෙන සිනමා නිර්මාණයක් ද නොවන්නේ ය. ඒවාගේ ම උදම් රළේ ප්‍රචණ්ඩත්වය කියාපාන ‘2012’ (2009) ට ද එය සම නොවේ. අභ්‍යවකාශ ව්‍යසනයක් වූ ‘ආමගෙඩ්න්’ (1998) ට ද එය සමාන නැත. එය සියලු ව්‍යසනයන් එකට එක් කළ සිනමා පටයක් බව බොහෝ දෙනා පවසති. ලෝකයේ අවසානයට ළඟාවී ඇතැයි යන භීතිකාවෙන් පෙළෙන ලෝක වාසීන් මෙබඳු සිනමා පටවලට දක්වන්නේ මහත් කැමැත්තකි. ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ (1996) අන්තර්ජාතිකව ඩොලර් මිලියන 817.4 ක ආදායමක් ලැබූ අතර එහි දෙවැන්න වූ ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ (2016) මඟින් ලැබුණු ආදායම ඩොලර් මිලියන 390 ක් විය. ‘ද ඩේ ආෆ්ටර් ටුමෝරෝ’ (2004) ඩොලර් මිලියන 544.3 ක ආදායම් වාර්තාවකට හිමිකම් කී ය. එම සිනමා පට ත්‍රිත්වයේ ම අධ්‍යක්ෂ වූයේ ජර්මානු අධ්‍යක්ෂ රෝලන්ඩ් එමර්රි විය. ‘ජියෝස්ටෝම්’ ඔහුගේ නිර්මාණයක් නොවුණ ද එය ‍රෝලන්ඩ්ගේ සමකාලීනයකු වූ ඩෙව්ලින්ගේ නිර්මාණයකි.

බොත්තමක් තද කළ සැණින් වැස්ස, හිරු එළිය, හිමපතනය පාලනය කළ හැකි අපූරු ලෝකයකට ප්‍රේක්ෂකයා විශේෂ චන්ද්‍රිකාවක් මඟින් කැඳවාගෙන යන ජියෝස්ටෝම් ට කෙබඳු ප්‍රතිචාරයක් ලැබේවිද? සැබෑවටම එය බොක්ස් ඔෆිස් ලෝකයේ භූ කුණාටුවක් බවට පත්වේවිද? අපි බලා සිටිමු. 

 

Comments