
ලේඛක ලේඛිකාවන්ගේ මුහුණු, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, අමාත්‍යාංශයෙහි නිලධාරිනියන්, නිලධාරීන්ගේ මුහුණු ඉන්ද්‍රචාපගේ සමීපරූප වසාගෙන ඇඳේ. දහසය (16) වැනි සඳුදා පෙරවරුවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය පිරීතිරී සිටි ලේඛක ලේඛිකා, මුහුණු අතර, වයෝවෘද්ධ. ප්‍රවීණ සාහිත්‍යකරුවන්ගේ මුහුණු ද සාහිත්‍යකරණයට පිවිස සිටින නව පරපුරේ, තරුණ තරුණියන්ගේ මුහුණු ද ඉන්ද්‍රචාපට සිහිපත් වේ. ලේඛ්‍යාදර්ශ - ලේඛක උපදේශ සංග්‍රහයෙහි පිටකවරයෙහි සමීප රූපට කුරුලු පිහාටුවකින් කොළයක් මත යමක් ලියනා කාන්තාවකගේ අතක් හසුවේ. වළලුකර දක්වා දිගුව ඇති ඇගේ බෝරිච්චි හැට්ට අත ඉන්ද්‍රචාපට සිහි ගැන්වූයේ අපගේ මහා කිවිඳිය සේ සැලකෙන ගජමන් නෝනා දැයි කල්පනාවේ. ලේඛ්‍යාදර්ශ යනු ලේඛනයට පිවිසෙන නවකයනට මෙන් ම ලේඛනයෙහි දැනටමත් නිරතව සිටින ප්‍රවීණයන්ට ද තමා විසින් රචිත දෑ ප්‍රකාශනයට පත්කර ගනිමින්, අවසන මුද්‍රිත කෘතියක් ලෙස එළිදැක්වීම දක්වා වන ක්‍රියාදාමය පිළිබඳ මූලික දැනුමක් ලබාගත හැකි අගනා අත් පොතක් ලෙස හැඳින්විය හැකිය.
ලේඛකයෙකු හෝ ලේඛිකාවක විසින් තමන් උපතින් ලද වාසනා ගුණයෙන්, ප්‍රතිභාවෙන් පරිකල්පනයෙන් නිර්මාණය කරනු ලබන්නා වූ කුමන හෝ නිර්මාණ අත්පිටපතක් මුද්‍රණද්වාරයෙන් එළිදකිනු දැක්ම ඔහුගේ හෝ ඇගේ සිහිනයක් බව ඉන්ද්‍රචාප හොඳින් දනී.
එහෙත්, ලියා නිම වූ තැන් සිට, පාඨකයන් අතට පත්වන අවසාන කෘතිය තෙක් ලේඛකයා විසින් සපුරාලිය යුතු අත්‍යවශ්‍ය, මූලික අවශ්‍යතා රැසක් ඇති මුත්, ඒ පිළිබඳ නිසි විද්‍යාත්මක දැනුමක් ඇත්තේ කීයෙන් කී දෙනාට ද? ලේඛ්‍යාදර්ශ යනු හුදෙක් ම අංකුර ලේඛක අත්පොතක් යැයි අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය පැවසුව ද ඉන්ද්‍රචාප ගේ සමීප රූපයට හසුවූ, මේ කෘතියේ අන්තර්ගතය ඉටු කරන්නේ අංකුර ලේඛක අත්පොතකින් එහා ගිය බොහෝ ප්‍රවීණ, වැඩිහිටි සාහිත්‍යකරුවන්ට ද අත්පොතක් සේ සැලකිය හැකි අවශ්‍යතා පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම ය. තමන් විසින් රචනා කරනු ලබන නිර්මාණය මුද්‍රිත ප්‍රකාශනයක් බවට පත්කර ගැනීමේ සිහිනය සැබෑකර ගැනීමේදී හඳුනාගත යුතු පිරිස් කවුරුන්ද යන්න පිළිබඳ මේ කෘතියෙන් සැපයෙන තොරතුර ආධුනික ප්‍රවීණ භේදයෙන් තොරව ලේඛකයනට වැදගත් ය. මුද්‍රණකරුවා, ප්‍රකාශකයා, පොතක් පළකිරීමේදී ඍජුව කටයුතු කිරීමට අවශ්‍ය වන රජයේ ආයතන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මතු නොව ආධුනික ලේඛකයකුට තම නිර්මාණයක් සඳහා ආධාර ලබාගත හැකි රාජ්‍යායතන සේ සැලකෙන, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ආදී ආයතන විසින් ඉටුකරනු ලබන සේවාව පිළිබඳව ද වැදගත් තොරතුරු රැසක් ම ලේඛ්‍යාදර්ශ කෘතිය මඟින් සොයා ගැනීමට හැකි බවයි, ඉන්ද්‍රචාප ගේ හැඟීම. මුද්‍රිත කෘතියක් සේ පළවීමෙන් අනතුරුව රාජ්‍ය මට්ටමින් හෝ පෞද්ගලික ආයතන, සංගම් මඟින් එබඳු කෘතියක් ඇගයීම, සම්මාන පිරිනැමීම ආදී අංශ පිළිබඳව ද ලේඛ්‍යාදර්ශය තොරතුරු සැපයීම අගනේ ය.
ලේඛ්‍යාදර්ශ උපදේශ සංග්‍රහය ජනගත කිරීමේ උලෙළෙහි මුල් අසුන හොබවමින්, සිංහල භාෂාව හා ඊට වර්තමානයේ හිමි ස්ථානය පිළිබඳ ඉතා අගනා, කාලීන අදහස් රැසක් ඉදිරිපත් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයෙහි මහාචාර්ය සඳගෝමී කෝපරහේවාගේ මුහුණ ඉන්ද්‍රචාප දකී. ඔහු නැඟූ කාලෝචිත ප්‍රශ්නය වූයේ, සිංහල භාෂාව පිළිබඳ පර්යේෂණායතනයක් අද වනතෙක් දකින්නට නොමැත්තේ කිම්ද කියායි. මෙරටෙහි වුව ජනජීවිතයට අදාළ බොහෝ ක්ෂේත්‍ර සඳහා වෛද්‍ය කෘෂිකර්ම, ආර්ථික විද්‍යාත්මක, තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පර්යේෂණායතන ඇති මුත් භාෂා පර්යේෂණායතනයක් නොවීම අදහා ගැනීමට අපහසු බවයි මහැදුරුතුමන්ගේ නිරීක්ෂණය වූයේ ය. විශේෂයෙන් ම රාජ්‍ය සේවයට සම්බන්ධ සන්නිවේදනයේ දී සිංහල භාෂාව භාවිතා කරනු ලබන අවිධිමත් ස්වභාවය පිළිබඳව මෙන් ම, පෙරදා සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිවැරැදි භාෂා භාවිතය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද සිහිපත් කරමින් කෝපරහේවා මහැදුරුතුමා විසින් පළ කළ අදහස් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන අවධානය යොමු විය යුතුම බව ඉන්ද්‍රචාප අවධාරණය කර සිටියි.