
ක්‍රීඩාව කියන්නේ මගේ ජීවිතේ... එතෙනදි ජය පරාජය කියන දේ මට කිසිසේත්ම වැදගත් නැහැ...” යැයි පවසන ජයන්ත ජයලාල් යනු ක්‍රීඩාව වෙනුවෙන්ම උපන්-හපන් චරිතයක් වග ඒත්තු ගියේ ඔහුත් සමඟ කළ කතාබහේදීය.
කෙනකු මෙලොවට බිහිවෙද්දීම සහජයෙන්ම යමක් උරුම බව බොහෝ දෙනාගේ ජීවිතයේ ඇතුළාන්තය හාරා ඇවිස්සීමේදී මනාව පිළිබිඹු වේ. ඒ අනුව ජයලාල්ට ද ක්‍රීඩාව සහජයෙන්ම උරුම වූවක් බව පෙනී යයි. එසේම ජයලාල්ගේ විශේෂත්වය නම් ඔහු හාත්පසින්ම වෙනස් ක්‍රීඩා ඉසවු කීපයකටම හපනෙක් වීමයි.
“මම ගිය මස චීනයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී කවපෙත්ත විසි කිරීමෙන් රිදී පදක්කම දිනුවා. බොහෝම සතුටුයි මෙවරත් ලංකාවට පදක්කමක් රැගෙන ඒමට හැකිවීම ගැන” යැයි පවසන ජයලාල් සතුව මේ වන විට 2010 මැලේසියාවේදි හා 2016 සිංගප්පූරුවේදී පැවැති ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළවලදී හෙල්ල විසිකිරීමෙන් ලබාගත් රන් පදක්කම් දෙකද ඇතුළුව පදක්කම් සම්මාන සහතික රාශියක් තිබේ.
“වර්තමානයේ මම ක්‍රීඩා කරන්නෙ කවපෙත්ත සහ හෙල්ල විසි කිරීම ක්‍රීඩා ඉසවු දෙක.” එහෙත් ජයලාල් මීටර් 100, 400 ඉසවු සේම ක්‍රිකට්, පාපන්දු, ටෙනිස්, කැරම්, ස්නූකර් සහ කායවර්ධන ක්‍රීඩාවේද නිරත වෙමින් ක්‍රීඩාවෙන් බොහෝ දේ උකහා ගත් චරිතයකි. ඒ අතරින් ජයලාල් ක්‍රීඩාවෙන් ලබා තිබෙන ප්‍රධානම දායාදය හැටියට මා හට වැටහුණේ ඔහු සතු විනයයි.
දෙමටගොඩ ප්‍රදේශයේ උපන් 55 හැවිරිදි ජයලාල් වේළුවන මහ විදුහලෙන් හා දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහලෙන් අධ්‍යාපනය හදාරා වර්තමානයේ හිල්ටන් හෝටලයේ සේවයෙහි නිරත වේ.
“පාසල් යන කාලේම මං මීටර් 100, 400 මලල ක්‍රීඩා කරන අතරේම ක්‍රිකට්, පාපන්දු ක්‍රීඩා කළා. පාසලෙන් පස්සෙ බොරැල්ලේ යෝක් පාපන්දු කණ්ඩායමටත් ක්‍රීඩා කළා” එසේ ක්‍රීඩාව පිළිබඳව ‘උණෙන්’ පෙළුණු ජයලාල් 82 වර්ෂයේදී රැකියාව සඳහා සෞදිය බලා විදේශ ගතවීමෙන් අනතුරුවද ක්‍රීඩාව අත නොහැරියේය.
“මම සෞදිවලදී ලෙදර් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන අතරේ තවත් ක්‍රීඩාවක් ඉගෙන ගත්තා. මොකක්ද දන්නවද? ටෙනිස් ක්‍රීඩාව.”
එහෙත් ඔහුට වැඩි කලක් ටෙනිස් ක්‍රීඩා කිරිමට හැකියාවක් නොලැබුණේ ආර්ථික අපහසුතා නිසායි. අනතුරුව 93 වර්ෂයේ ලංකාවට පැමිණ හිල්ටන් හෝටලයේ රැකියාවට එකතු වීමෙන් පසුව ජයලාල් සෙවූයේ රැකියාවට බාධකයක් නොවන ක්‍රීඩාවකි. ඒ අනුව ඔහු කායවර්ධන ක්‍රීඩාවට යොමු වී ඇත.
“ඇත්තටම ඊට පෙර කායවර්ධන ක්‍රීඩාව ගැන මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. දෙමටගොඩ ප්‍රජා මණ්ඩලෙන් තමයි මං ඒ ක්‍රීඩාව පටන්ගත්තෙ. කොහොමහරි ටික ටික ඉදිරියට ආවා. පස්සෙ මට ඔටර්ස් ඇක්වටික් ක්‍රීඩා සමාජයෙන් අනුග්‍රහයකුත් ලැබුණා” කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් විදෙස් රටවල් හතරකටද ගොස් තිබෙන ජයලාල් එහිදී ශ්‍රී ලංකාවට අත්කර දී තිබෙන කීර්තිනාමයද ප්‍රශංසනීයය. ඒ අතර ප්‍රධාන වන්නේ 1999 මාලදිවයිනේ පැවැති දකුණු ආසියා මිඩ්ල්වේටර් කායවර්ධන තරගයේදී ලෝකඩ පදක්කම දිනාගැනීමයි. එසේම 2002 වර්ෂයේදී මෙරටදී ‘මිස්ටර් හී මෑන්’ විවෘත කායවර්ධන ශූරතාව දිනාගැනීමටද ජයලාල් සමත් විය. එහෙත් 2004 වර්ෂයේදී කායවර්ධන ක්‍රීඩාවට ‘තිත’ තැබීමට සිදු වූයේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
කුමන බාධක පැමිණියත් ක්‍රීඩාවට ‘තිත’ තැබීමට නොසිතූ ජයලාල් අනතුරුව තෝරාගත්තේ වර්තමානයේදී ක්‍රීඩා කරන මලල ක්‍රීඩා ඉසවුය. ජයලාල් මේ වන විට තුම්පිම්ම සහ හෙල්ල විසිකිරීමේ ඉසව් දෙකේ අවුරුදු 50න් ඉහළ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි. ඒ අතරේම කැරම් සහ ස්නුකර් ක්‍රීඩාවලටද යොමු වී ඇත. ඒ අනුව මේ වසරේදී ඔටර්ස් ක්ලබ්හි හැන්ඩිකැප් ස්නුකර් ශූරයා ද වූ ජයලාල් ඉන් නොනැවතී මේ වසරේම ඉන්ටර් හොටෙල් කැරම් ශූරයා ද වූයේ තමා ක්‍රීඩාවටම උපන් හපනෙක් බව පසක් කරමිනි.
මේ වන විට ඉන්දියාව, මාලදිවයින, හොංකොං, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව හා චීනය යන රටවලට ක්‍රීඩාව වෙනුවෙන්ම ගොස් තිබෙන ජයලාල්,
“මම කීප වතාවක්ම ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබුවා. නමුත් යන්න ලැබුණේ නෑ මුදල් නැතිකම නිසා. ඇත්තටම මට මේ පාර චීනේට ගිහිල්ලා පදක්කමක් ගන්න හැකිවුණේත් අපේ ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය දුන් සහයෝගය නිසා.”
2018 ස්පාඤ්ඤයේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී පදක්කමක් ලැබීමට දැන් සිටම තිර අදිටනින් පසුවන ජයලාල්ගෙන් මා විමසූ පැනයට,
“ක්‍රීඩාව වෙනුවෙන් බිරිය ඇතුළු සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා. මගේ පුතා කවිඳු 2012 වර්ෂයේ තුන්පිම්මෙන් කොළඹ දිස්ත්‍රික් ශූරයා. ඒ වගේම කවිඳු බස්නාහිර පළාත් වොලිබෝල් කණ්ඩායමෙත් සාමාජිකයෙක්. දුව යුධීෂා නෙට්බෝල්, වොලිබෝල්, මලල ක්‍රීඩා හැමදේටම හරිම දක්ෂයි. දරුවන් දෙදෙනාත් මං වගේම ක්‍රීඩාවට හපන්කම් පෑම ගැන මට හරිම සතුටුයි. එසේම ක්‍රීඩාවෙන් මෙතරම් ගමනක් ඒමට උදව් කළ සියලු දෙනා ද ඔහු සිහිපත් කළේ ගෞරවයෙනි.”
අවුරුදු 55ක් වූවත් ඔහුගෙන් පිළිබිඹු වන දේහධාරි පෙනුමේ රහස ක්‍රීඩාව බවට කිසිදු සැකක් නැත. අවසන ජයලාල් පැවැසූවේ මෙවන් කතාවකි.
“මනුස්සයෙක් වුණාම වයස් බේදයකින් තොරව මොන යම් හෝ ක්‍රීඩාවක අනිවාර්යයෙන්ම නිරත විය යුතුමයි. ක්‍රීඩාව කියන්නෙ ජයග්‍රහණයක් සඳහාම කරන දෙයක් නෙවෙයි. මනුස්සයාගේ පැවැත්ම සඳහායි ක්‍රීඩාව වැදගත් වන්නෙ. විශේෂයෙන්ම බෝ නොවන ලෙඩ රෝගවලට හොඳම බෙහෙත ක්‍රීඩාව” එසේම ඉවසීම සහ පරාජය තුළින් ජීවිතයට ලැබෙන පන්නරයද කිසිම කර්තව්‍යයකින් නොලැබෙන දෙයක් බව ජයන්ත ජයලාල් පවසා සිටියේය.