පියා ගැයූ 'ඕලු මලේ හි සුදෝ සුදෝ'ගීතය අදත් ජන­ප්‍රි­යයි | සිළුමිණ

පියා ගැයූ 'ඕලු මලේ හි සුදෝ සුදෝ'ගීතය අදත් ජන­ප්‍රි­යයි

 අරුණ ශාන්ති සමුගෙන වසර 25යි

පිය ගුණ උපහාර උළෙල දෙසැම්බර් 23දා

දෙවියනි ඔබ කොහිද,සුදු අයියා,පෙරළෙන ඉරනම,ආදි 1950, 60, 70, 80 දශකවලදී තිරගත කෙරුණු චිත්‍රපට ඔබට මතකනම් එම චිත්‍රපටවල ප්‍රධාන භූමිකාව නිරූපණය කළ අරුණ ශාන්ත රංගන ශිල්පියා මතක ඇති. චිත්‍රපට රංගනය, ගායනය, අධ්‍යක්ෂණය, තිර කතා රචනය ආදි හැකියාවන් රැසකගෙන් පිරිපුන් මේ කලාකරුවා ‍අපෙන් සමුගෙන පසුගිය සැප්තැම්බර් 21ට වසර 25ක් ගත වුණා. එදා සිංහල සිනමාව වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් අරුණ ශාන්ති සිංහල සිනමාවේ නිළි රැජන රුක්මණී දේවියගෙ සමකාලීන රංගන ශිල්පියෙක්. මේ ආදරණීය කලා කරුවාගේ ගුණ සිහිකරමින් පිය ගුණ උපහාර උළෙලක් පැවැත්වීමට ඔහුගේ පුත් ගායන ශිල්පී සුමිත් ශාන්ත් පෙරේරා සූදානම් වන බව අපට ආරංචි වුණා. ඒ ගැන සුමිත් අප සමග මෙසේ පැවසූවා.

ඔබේ පියා අරුණ ශාන්ති අපේ රටේ සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙක්..ඔහු ගැන මතකය අවදි කළොත්..

මගේ පියා අරුණ ශාන්ති වෙන්න කලින් ඔහුගේ මුල් නම පලිහවඩන ආරච්චිගේ සිරිල් පෙරේරා. 1927 පෙබරවාරි 12 වැලිවිට, කඩුවෙල ප්‍රදේශයේදි තාත්තා ඉපදිලා තියෙන්නෙ. 1948 පෙරළෙන ඉරණම චිත්‍රපටය රූ ගත කරන්න ඉන්දියාවට ගිහින් තිබෙන්නේ එඩී ජයමාන්න සහ රුක්මණී දේවිය සමග. එහිදී එඩී ජයමාන්න තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගෙ නාමාවලියට අරුණ ශාන්ති කියන නම දමා තිබෙන්නෙ. මුල් කාලයේ ඒ නම ප්‍රේක්ෂකයන්ට නුහුරු වුණත් පසු කාලයේදි අරුණ ශාන්ති කියන නම ජනතාව අතර බොහෝ ප්‍රසිද්ධ වුණා. රුක්මණී දේවියත් සමගයි තාත්තා වැඩිපුරම රඟපෑවෙ. සන්ධ්‍යා කුමාරි, ජීවරානි, රීටා රත්නායක, අයේෂා වීරකෝන්, කැලැරිස් ද සිලවා වැනි රංගන ශිල්පිනියන් සිනමාවේ තාත්තාගේ පෙම්වතියන්.

රුක්මණී දේවිය සමග අරුණ ශාන්ති ගැයූ ගීත ගොඩක් ජනප්‍රිය වුණා...

පියා රුක්මණී දේවියත් සමග 1948 ගායනා කළ ඕලු මලේ හි සුදෝ සුදෝ, හද ආදර ප්‍රේම මන්දිරේ, පාපේ මේ ජීවිතේ විකාර ලෝකේ අඳුරේ මේ ගීත ගායනා කරමින් රුක්මණී දේවිය සමග ප්‍රධාන චරිතය රඟපෑවා.දුක සැප නිති පෙරළේ, ටික වේන්න නාලා කොණ්ඩෙ කඩාගෙන, ආදි ගීත අදත් රසිකයන් අතර ජනප්‍රියයි. වසර ගණනාවක් කලාව වෙනුවෙන් ඔහුකළ සේවයට මේ වනතුරු කිසිම රජයකින්වත් සැලකීමක් සිදු වී නෑ. ප්‍රේමදාස ජනපතිතුමාගේ රජය පැවැති කාලයේ එතුමා අතින් ජනාධිපති සම්මානය පවා ලබා තිබෙනවා. එයට අමතරව සරසවි සම්මානත් හිමිවුණා.

ඔබ පියාගේ අඩි පාරේ යනවා..ඔබගේ අනෙක් සහෝදර, සහෝදරියන් කලාවට සම්බන්ධ නැද්ද..

අපේ පවුලේ එක සහෝදරියයි, සහෝදරයන් හයයි. මම විතරයි කලාවට සම්බන්ධ. 1997දි හතරවෙනි අයියා නිරංජන් ශාන්ත් ලතා වල්පල මහත්මියත් සමග ගීතයක් ගායනා කළා. ඔහු අද ජීවතුන් අතර නෑ. මමත් විවාහකයි. දරුවන් තිදෙනෙක් ඉන්නවා. පුතුන් දෙදෙනෙකු සහ දියණියක්. ලොකු පුතා රැකියාවක් කරනවා. දෙවැනි පුතාත්, දියණියත් ඉගෙන ගන්නවා. ඔවුන් සීයාගේ ගීත රසවිඳින්න කැමැති වුවත් ගායනයට එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ.1983දී තාත්තා ගැයු ගීත 14ක් පටිගතකර තිබෙනවා.

ඔබේ පියා මිය යන තුරුම රංගනයේ නිරත වුණා.ඒ ගැන මතකය අවදි කළොත්...

මගේ තාත්තාට රංගනය කියන්නේ ජීවිතය. වරක් මව ඔහුට රඟපාන්න එපා කියා තිබෙනවා.රඟපාන්න යන්න අවසර නොදුන්නොත් සියදිවි හානිකර ගන්නවා කීවලු. ඒ තරමට ඔහු රංගනයට කැමැතියි. මව ඉතාම රූමත්. ඇයගේ කැමැත්තට ඇය උපන් ප්‍රදේශය වන කළුතර පදිංචිය සඳහා තෝරාගෙන දිනපතා රංගන කටයුතු සඳහා කළුතර සිට කොළඹට ඇවිත් තිබෙනවා.වෙස්ගත් තරුණිය, වීරා , ප්‍රේමයේ නාමය ආදී චිත්‍රපටවල රඟපෑවේ මිය යන්න ටික දිනකට පෙරයි.පිළිකාරෝගය වැළඳී මිය යනවිට තාත්තාගේ වයස 66යි.දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය සියල්ල කළේ තාත්තා. ඔහු හොඳ තිර කථා රචකයෙක් මෛත්‍රි, සර්කස් මාලනී, බැද්දෙ ලිය පිටපත් තුන අදටත් මා සතුව තිබෙනවා. ඒවා කවුරුන් හෝ මිලක් දී ගෙන රූගත කර චිත්‍රපට නිපදවනවානම් සතුටුයි. සුභ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේත් තහනම් නියෝගය වේදිකා නාට්‍යයේත් රඟපෑවා.

අරුණ ශාන්ති පිය ගුණ උපහාර ප්‍රසංගය මෙවරත් පවත්වනවාද...

අරුණ ශාන්ති පිය ගුණ උපහාර ප්‍රසංගය මේ වසරේ දෙසැම්බර් 23 කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි සවස 4.30ට පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එය‍ට ආරාධිත ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගිකර ගැනීමේ බලා පොරොත්තුවක් තිබෙනවා.වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් 077-1778566 දුරකථන අංකයෙන් හෝ 219/a, ගැමුණු මාවත, දූව පන්සල පාර, කළුතර ලිපිනයෙන් ලබාගත හැකියි. 

 

Comments