දෙවන කුමාරි | සිළුමිණ

දෙවන කුමාරි

ඔයාගෙ මැසේජ් එක දැක්කට පස්සෙ නින්ද ගියේම නෑ

ෆියෝනා සිය ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවුඩය කියවා බැලුවාය. එය එවා ඇත්තේ ස්වේතාය.

“චූටි නංගි. අභීත දවස් දෙක තුනකට දුරක යන්න හදනවා. අදම ගෙදර එන්න පිටත් වෙන්න.”

ස්වේතා කෙටි පණිවුඩයෙහි සටහන් කර තිබිණ.

ෆියෝනා නැගිට විදුලි පහන දැල්වූවාය. ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි විය. මෙය ද සිහිනයක්දැයි ඇයට සිතිණ. ලොකු අයියා ගජබා, විවාහයෙන් පසුව ස්වේතාගේ මහ ගෙදර පදිංචි වී සිටියි. සහෝදර සහෝදරියන් නොමැති ස්වේතාගේ මව ද, ඔවුන් හා මහගෙදර පදිංචි වී සිටියාය. වයස හැට ගණනක් වූ ස්වේතාගේ මව බොහෝ කාරුණිකය. එකල ඔවුන්ගේ නිවසට ගිය විටෙක ඇය තමා වත්තට කැඳවාගෙන යන අකාරයත්, පේර, ජම්බු, අඹ ආදියත් කඩා දෙන බව ෆියෝනාට සිහියට නැගිණ.

මීට වසර හත අටකට පෙර හදිසියේම ඇය හෘදයාබාධයකින් මිය ගියාය. ඉන්පසු ලොකු අයියාත්, ස්වේතාත් තනිව මහ ගෙදර ජීවත් වූ අතර, ඔවුන්ට දරුවන් නොවූයෙන් ස්වේතා ඒ පිළිබඳව නිතර කනගාටු වූවාය. එහෙත් තමා නිවසින් පිට වී පැමිණීමෙන් අනතුරුව බොහෝ දෑ සිදු වන්නට ඇත. අභීත නිවසින් යන බව පවසා කෙටි පණිවුඩයක් එවීමට නම් ඔවුන් සිටිය යුත්තේ ඔවුන්ගේ නිවසෙහි නොව මහ ගෙදර එනම් මීගස්තැන්න වලව්වෙහි විය යුතුය.

කල්පනා කරමින් සිටි ෆියෝනා ස්වේතාගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය.

“ඇයි?”

ස්වේතා රහසින් මෙන් අසන හඬ ඇසිණ.

“ස්වේතා අක්කා. ඔයාගෙ...”

තමා පවසන්නට ගිය වදන් වලට ඇය සවන් දීමට සූදානමක් නොමැති සේය. එහෙත් ඇය දුරකතනය තබා නොතිබිණ.

“අයියා. මං යනවා. අක්කෙ මං යනවා.”

අභීතගේ කටහඬ දුරකතනය තුළින් ඇසිණ. මේ කෙතරම් කාලයකින්ද? ෆියෝනාගේ දෙනෙත් කඳුළින් පිරිණ.

අභීත... මල්ලී අභීතගේ කට හඬ ලොකු අයියාගේ කටහඬට වඩා වෙනස්ය. බෙහෙවින් ගැඹුරුය. “හරියට සිංහයෙක් කෑගහනවා වගේ.” යි එකල තමා කරන විහිළු තහළු ඇගේ සිතට නැගිණ.

“මං සිංහයෙක් තමයි. සිංහයො කවදාවත් තණකොළ කන්නෙ නෑ.”

“තණකොළ නොකෑවට බොරු සිංහයා ගොටු කොළ කෑවනේ.”

“මොකක්ද පුංචි මෝඩි කිව්වෙ?”

අභීත තමා පසුපසින් නිවස පුරා දිව යන අයුරු ෆියෝනාට සිහි විය. එවන් වූ දඟකාරකමිකින් සිටි මල්ලී මෙතරම් දරුණු වූයේ අකාරුණික වූයේ කෙසේදැයි ඇය සිතුවාය.

“පරෙස්සමෙන් යන්න මල්ලි. ගෙදර ගැන හිතන්න ඕන නෑ. හැමදේම බලා ගන්න අපි ඉන්නවනෙ.”

හදිසියේම අයියා ගේ හඬ ජංගම දුරකතනය තුළින් ඇසුණේ ඈත ලොවකින් ඇසෙන්නාක් මෙනි.

“ඩ්‍රයිව් කරන්නෙ පරෙස්සමෙන් මල්ලි. මේ දවස් ටිකේම නිදි මරපු නිසා හේමාල්ට කියන්න වාහනේ ගෙනියන්න කියලා.”

නැවතත් ලොකු අයියාගේ හඬ ඇසිණ. ඒ හා සමගම ස්වේතාගේ දුරකතනය විසන්ධි විය. කුතුහලයෙන් යුතුව කාමරයෙන් පිටතට පැමිණි ෆියෝනා පියගැට පෙළ බසින්නට වූයේද සිතිවිල්ලෙනි. නිවසෙහි කිසියම් දෙයක් සිදු වී තිබේ. නොඑසේනම් ලොකු අයියා හෝ ස්වේතා නිවසට පැමිණ නතර වන්නට කිසිදු හේතුවක් නොමැත. අම්මා අසනීපයෙන් වන්නට ඇත්ද? නුවරින් පිට නොයන අභීත දින දෙක තුනකට නිවසට නොපැමිණෙන්නේ ඔහු කොතැනක යන්නට ඇත්ද?

කේතලයට වතුර පුරවා ගෑස් ළිප දැල්වූ ෆියෝනා මුළුතැන්ගෙය තුළ වූ පුටුවක් මත හිඳ ගත්තාය. බොහෝ කලකට පෙර මීගස්තැන්න වලව්ව බොහෝ සොඳුරු ස්ථානයක් බවට පත් වී තිබූ අයුරු ඇයට සිහි විය. නොයෙකුත් විශේෂිත අවස්ථාවන් වල දී මීගස්තැන්න වලව්ව පුරා සිනා හඬ දෝර ගලා ගිය අවස්ථා තිබිණ. කුල මාන්නයෙන් හිස උදුම්මා ගත් අයකු වුව ද, එවන් අවස්ථා වල ලොකු අක්කා වලව්වේ සිනා මවන්නිය වූවාය. තමා වැඩිවිය පත් වූ පසුව, පවුලේ ඥාතීන් පමණක් සහභාගි වූ චාම් උත්සවයට පෙර දින මුළු නිවෙසම එකම සිනා සාගරයක් වූ ආකාරය ෆියෝනාට තවමත් මතකය. ලෙකු අක්කා, ලොකු අයියාගේ කෝට් එකක් හැඳ මනාලයකු වූයේ ද, අම්මාගේ ඔසරියක් හැඳි අභීත මනාලිය වූයේ ද එදිනයි. කාමරය තුළම සිර වී සිටි තමා පියවතීට ද රහසින් කාමරයෙන් පිටතට පැමිණියේ තව දුරටත් මැද සාලයෙන් ඇසෙන සිනා හඬ අසා සිටිය නොහැකි නිසාය.

“මේන් මෙයා කාමරෙන් එළියට ඇවිත්.”

කෝට් එකකින් හා සරමකින් සැරසී සිටි ලොකු අක්කා කෑගැසුවාය. ඇය හා අභීත දුටු සැනින් සිනාව නවත්වා ගත නොහැකිව සිටියදී අම්මා පැමිණ තම අතින් අල්ලාගෙන කාමරයට කැඳවාගෙන ගියාය.

“මොකක්ද චූටි කුමාරි ඒ කරපු වැඩේ?”

තමා ඇඳ මත හිඳුවා අම්මා ඇසූ කාරුණික ස්වභාවය දැනුදු සිහියට නැගෙයි.

“අරගොල්ලො හිනාවෙනවා. ඇයි කියලා බලන්නයි ගියේ අම්මා.”

“දන්නෙ නැද්ද ලොකූගෙ කෝලම්? ඊට හපන් අභීත. එළි වෙනකම් නිදි මරන එකේ විනෝදෙකුත් තියෙන්න එපායැ?”

“අනේ අම්මා. මටත් යන්න ඕන.”

“හෙට නාවලා නැකතට එළියට ගන්නකම් ටිකක් ඉවසන්න වෙනවා චූටි කුමාරි. වුවමනාව ආසාව තිබ්බට කිසිම දේකට වෙලාවට කලින් ඉස්සර වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා හොඳට මතක තියා ගන්න.”

එදින අම්මා කළ අවවාදයන් සිනා මුවින් ඉවසා සිටියද, එය අදට කෙතරම් ගැළපේදැයි ෆියෝනා සිතුවාය. තම ඉක්මන්කම නිසා දැන් සිදු වී ඇත්තේ පසුතැවෙන්නටය. අසාර් තමා කෙරෙහි ආදරයෙන් පසුවන්නේ නම් ඕනෑම දුකක් සන්තාපයක් ඉවසා සිටිය හැකිය. ඔහු වෙනස් වෙමින් සිටියි. නොඑසේනම් තමාට කිසිදු දැනුම් දීමකින් තොරවම ඔහු විදෙස් ගත විය යුතු නැත.

කේතලයේ නළා හඬ නොකඩවා ඇසෙයි. ෆියෝනා නැගිට ළිප නිවා දැමුවාය. තේ කෝප්පයක් සාදා ගත් ඇය එය ද රැගෙන උඩු මහලට නැගුණේ ස්වේතාට කතා කළ යුතුදැයි සිතමිනි. ඇය සඳැල්ලෙහි හිඳ ගත්තාය. මේ වනවිට යන්තමින් අරුණාලෝකය මිහි මත පතිත වෙමින් තිබේ. බොහෝ නිවෙස් වල විදුලි පහන් දල්වා තිබේ. අලුත් උදෑසනක් පිළි ගැනීමට සියලු දෙනාම සූදානම් වන්නේ කඩිනමිනි. අරවින්ද්ගේ නිවසෙහි ද පහන් දල්වා තිබේ. ඔහු සිය සංගීත පන්තිය පවත්වන පහත මාලයේ කිසියම් කටයුත්තක නිරතව සිටිනවා විය යුතුය.

ෆියෝනාගේ ජංගම දුරකතනය නද දුන්නේය. තේ කෝප්පය පසෙක තැබූ ඇය දුරකතනය අතට ගත්තාය.

නැවතත් ස්වේතාගෙන් ඇමතුමක් ලැබෙමින් තිබේ.

“ස්වේතා අක්කා.”

ඇමතුම හා සම්බන්ධ වෙමින් ඇය සෙමෙන් පැවසුවාය.

“චූටි නංගි නිදාගෙනද දන්නෙ නෑ හිටියෙ.”

“අනේ නෑ අක්කා. උදේ ඔයාගෙ මැසේජ් එක දැක්කට පස්සෙම නින්ද ගියේ නෑ.”

ස්වේතා දිගු සුසුමක් හෙලන හඬ ඇසිණ. සැබවින්ම මීගස්තැන්න වලව්වෙහි කිසියම් සිදුවීමක් සිදු වී තිබේ. එහෙත් එය කුමක්දැයි අනුමාන වශයෙන් හෝ සිතා ගත නොහැකිය.

“කෝ අභීත?”

“අභීත ටිකක් දුර ගමනක් ගියා චූටි නංගි.”

“දුර ගමනක්? මං ඉන්න කාලෙ නම් එයා ගිය එකම දුර ගමන කොළඹ යන එක විතරයි.”

“ඒ ඉස්සර චූටි නංගි. මේ අවුරුදු දෙක තුනට සෑහෙන දේවල් වෙනස් වෙලා.”

“සෑහෙන දේවල් කිව්වෙ?”

ස්වේතා නිහඬ වූවාය. ෆියෝනාගේ සිත කුතුහලයෙන් බර විය.

“අභීත බැන්දද?”

“නෑ.”

ස්වේතා කෙටියෙන් පිළිතුරු දුන්නාය.

“එහෙනම්?”

“හැමදේම කියන්නම්. දැන්ම ම... මේ දැන්ම ම... චූටි නංගි පමා නොවී කැබ් එකක් අරගෙන ගෙදර එන්න.”

ස්වේතා දුරකතනය විසන්ධි කළාය. 

 

Comments