
බුද්ධි ගෙන් කෘති තුනක්
බුද්ධදාස ගලප්පතිව කවුරුත් හඳුනන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු , ලේඛකයකු ,පමණක් නොව සොඳුරු ගී පදරචකයකු හා විචාරකයකු ලෙසයි. නිරන්තරවම සමාජයේ සෑම තැනකම සැරිසරන මේ සොඳුරු විද්වතා ඔහු රචනා කළ නවතම කෘති ත්‍රිත්වයක් පසුගිය දා තම පාඨකයා වෙත මුදාහැරියා. ඒ කවදත් ඔහු සමඟ ලෙන්ගතු කලාකරුවන් හා රසික රසිකාවියන් මධ්‍යයේදියි. 'මැදියමක කලුවර',කෙටිකතා සංග්‍රහයත් කවිමිහර-3 සහ එදවස සොඳුරුමය-4 යන කෘති මෙලෙස දොරට වැඩියා. එදවස සොඳුරුමය කෘතියට ඔහු පුවත්පත් සඳහා රචනා කළ විවිධත්වයෙන් යුතු හරවත් අර්ථවත් ලිපි සමුදායක් අන්තර්ගත වෙනවා.සමාජයට වැඩදායී යමක් ලබා ගත හැකි මෙවැනි තවතවත් කෘති ලියන්නට ඔහුට අපි සුබපතමු.
'වඩුගේ' රස ලොවට ගිනි තියයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ පනස් වැනි කඩඉම පසුගිය දා පසු කළා. ඒ සොඳුරු කඩඉම පසුකරමින් නවතම කෘතියකින් රසිකයා අතරට ඔහු පැමිණෙන්නට සුදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. කතාවේ හැටියට නම් ඔහු සිනමාවේ විතරක් නෙමෙයි කලා ලොවේත් ගිනි පුපුරු සොයායාමක් ලෙසින් මේ කෘතිය රචනා කර තිබෙන බවයි දැන ගන්නට ලැබුණේ. කොහොම වුණත් කලා ලොව ගිනි තියන කෘතියක්ද? මෙය. මේ ගැන අර්නස්ට් වඩුගේ ගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා.' ලංකා ඉතිහාසයේ පළමු වරට තමයි මේ වගේ කෘතියක් රචනා වෙන්නේ.මෙය නම් කොට තිබෙන්නේ 'රස ගිනි ගනී ' කියලයි. මේ වන විට සිංහල සිනමාවට වසර 70 ක්. එදා කඩවුණු පොරොන්දු වේ සිටම අද අලුතෙන්ම නිර්මාණය වෙන චිත්‍රපටය දක්වාමත් ඒ ඇරුණාම වේදිකාව, රූපවාහිනිය, ගුවන්විදුලිය මේ සියලුම කලා මාධ්‍යයන්ගේ සිටි කලාකරුවන් පිළිබඳ නොදන්නා දේ මේ කෘතියේ අන්තර් ගත වෙනවා. මේ ශිල්පීන් මා සමඟ පැවැසූ අතිශය රහස්‍ය කාරණා මේ කෘතියෙන් එළිදරව් වෙනවා. ඔවුන්ගේ සිනහව, දුක , කඳුළ වේදනාව මේ කෘතියේ පිටු අතර තිබෙනවා. හැමෝගෙම ගින්දර තුළ ඇති ගිනිපුපුරු එළි දැක්වීමක් කියල කියන්නත් පුළුවන්.විශේෂයෙන්ම වසර ගණනක් පුරා කලා ලොවේ සැරී සරූ මාධ්‍යවේදියකු ලෙස කලා කරුවන් මට අතිශය සමීප පිරිසක්. එනිසා රසිකයා දැනගත යුතු ඔවුන්ගේ බොහෝ දේවල් මෙම කෘතියෙන් හෙළි කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මෙය කලාලොවේ වගේම සමාජයේත් යම් ආන්දෝලනයක් ඇති කරන කෘතියක් වේවි. ඉතාම ඉක්මණින් මේ කෘතිය පාඨකයා අතට පත් කරන්නට මම සූදානම්.
පූජාට සම්මාන
සුරූපී ජනප්‍රිය නිළි පූජා උමාශංකර් මේ දවස්වල ඉන්නෙ හුඟක් සතුටින්. ඇගේ රංගන කුසලතාවය නිසාම පසුගිය දා පැවැති දෙරණ සම්මාන උළෙලේදී ඇය සම්මානයට පාත්‍ර වූවා. ඒ ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් හිමි කර ගනිමින්.විදේශයන් හිදී විවිධ සම්මාන හිමිකර ගත්ත ද පූජා ලංකාවේදී සම්මාන ලද පළමු අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. තිරගත වූ 'පත්තිනි' හා 'සරිගම' චිත්‍රපටයන් හි රඟපෑම වෙනුවෙන් මෙලෙස පූජා සම්මානයට පාත්‍ර වුණා. තමාට ලැබුණු සම්මානය ගැන පූජා පැවැසුවේ මෙලෙසයි.' මට ලැබුණු සම්මාන ගැන ලංකාවේ සියලු දෙනාටම මම හුඟක් ස්තූතිවන්ත වෙනවා. මගේ හදවතින් නැගෙන හෘදයාංගම ස්තූතිය මගේ රසිකයන්ට මේ මොහොතේ පිරිනමනවා. ලංකාවේ සම්මාන උළෙලකදී මා වෙත පළමුවරට මෙලෙස සම්මාන පිරිනෑමීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
අලුත් මුහුණුවලට ඇරියුම්
ඩොනල්ඩ් ජයන්ත කලා ක්ෂේත්‍රයේ අමතක කරන්න බැරි නමක්. කලාවට එක් වෙන්නට බලාගෙන ඉන්න බොහෝ දෙනකුට ඔහු අත්වැලක්. එලෙස ඔහුගේ මඟ පෙන්වීමෙන් ක්ෂේත්‍රයට එක් වූ බොහෝ නවක නළු නිළියන් අද කලා ක්ෂේත්‍රයේ බොහෝ දුරක් ගොස් තිබෙනවා. මේ දවස්වල ඩොනල්ඩ් ජයන්ත සහ එස්. සරෝව් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වන නවතම චිත්‍රපටයට නවක නළු නිළියන් සොයමින් සිටින බවක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන ඩොනල්ඩ් අපිත් එක්ක කිව්වේ මෙලෙසයි.' ආලංකුලම ෆිල්ම්ස් 7 වන දැවැන්ත සිනමා නිර්මාණය වෙනුවෙන් රංගන කුසලතාවයෙන් යුතු නවක නළු නිළියන්ට අවස්ථාව ලබා දෙන්නට අපි කටයුතු කර තිබෙනවා.වයස අවුරුදු 15 සිට අවුරුදු 50ට වැඩි නළු නිළියන් සඳහා සම්මුඛ පරීක්ෂණ අද පෙ.ව 10.00 සිට 3.00 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරීශ්‍රයේදී පවත්වනවා. රංගනයට කැමැත්තක් දක්වන රඟපාන්න පුළුවන් අයට මෙයට එක් වන්න පුළුවන්.'
වසර දහතුනකට පසු උපාධියක්
එස්.අයි සමරක්කොඩි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නමක් නෙමෙයි. මේ දවස්වල විකාශය වන ටෙලි නාටය රැසක ඔහුගේ රඟපෑම් අපට දැක ගන්නට පුළුවන්. ජාතික රූපවාහිනියේ විකාශය වන 'චුට්ටේ' ටෙලි නාට්‍යයේ මන්දබුද්ධිකයකුගේ චරිතයත්, 'කොන්කළ දෝණි' නාටයයේ පියසේන පියන්ගේ චරිතයත් නිසා ඔහු ට මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. කොහොම වුණත් මේ හැම ප්‍රතිචාරයක් මැද්දේ එස්. අයි. සමරක්කොඩි තමාගේ උපාධිය එනම් ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිය පසුගිය දවසක කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා. ඒ සෑහෙන උත්සාහයක ප්‍රතිළුලයක් විදිහටයි.
'මම උසස් පෙළ කරලා රංගනයට යොමු වුණා. නමුත් ඒ වකවානුවේ මට වාසනාවකට රඟපාන්න හම්බවුණේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ. ඔවුන් බොහෝ දෙනා රංගනය පිළිබඳ විශාල අත්දැකීම් ඇති රංගනය පිළිබඳ උපාධි ඇති අය. ඔවුන් ඇසුරු කරත් දී මට තේරුණා රංගනය ගැන උසස් අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා. ඔවුන්ද ඒ ගැන මා දැනුම්වත් කළා. කොහොම හරි උසස්පෙළ කරලා වසර කිහිපයක් ගියත් මම කැම්පස් යන අධිෂ්ඨානයෙන් යළිත් වරක් උසස්පෙළ විභාගය කළා. අවසානයේ මට කැම්පස් යන්න අවකාශ ලැබුණා. පළමු පාර උසස් පෙළ කරළා වසර 13කට පසුව මම රංගකලාව පිළිබඳ උපාධිය දිනා ගත්තා. මම කාට වුණත් කියන්නේ උත්සාහය අතහරින්න එපා. ජීවිතේට ඉලක්කයක් තියා ගන්න. ජයග්‍රහණය අත ළඟ කියලයි. මම අද ඒ නොපසුබට උත්සාහයේ අනගි ඵල බුක්ති විදිනවා.