
ශරීර ප්‍රමාණයෙන් කුඩා වූවත් චීන ජාතිකයන් යනු ලොව ඕනෑම ක්‍රියාවක් කිරීමට සමත් ජාතියක්. නුදුරු අනාගතයේදීම ලෝක බලවතා වීමේ හැකියාව තිබෙන චීනය අපේ රට සමඟත් හිතවත් රාජ්‍යයක්. චීනය පිළිබඳව මීට පෙරත් අප අවස්ථා කිහිපයකදීම මෙම පිටුවෙන් ඉඩ කඩ වෙන්කළේ විටින් විට ලෝකයේ විශාලතම දෑ වගේම ලොව ප්‍රථම නිර්මාණයන් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමටයි. ඒ හා සමාන වූ පුවතක් වෙත තමයි මෙවරත් අපේ අවධානය යොමුවන්නේ.
ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ හිමිකාරිත්වය දරන්නේ චීනයයි. මීටර් 500 ක විෂ්කම්භයක් සහිත රවුම් හැඩැති මෙම දුරේක්ෂය නිරිතදිග චීනයේ Guizhou ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා. FAST යන නාමයෙන් එනම් Five-houndred-meter Aperture Spherical Telescope යන අරුත තිබෙන මෙම දුරේක්ෂය ලොව තිබෙන මෙම වර්ගයේ විශාලතම දුරේක්ෂයයි.
මීටර 500 ක් විෂ්කම්භයක් සහිත මෙම විශාල දුරේක්ෂයේ සැකිල්ල සෑදීම ආරම්භ කර තිබෙන්නේ 2003 වසරේදීයි. මෙම විශාල පරාවර්තක තැටිය මඟින් විශ්වයේ රහස් එක් රැස් කර ඒවා තැටියේ සිට මීටර් 160 ක් ඉහළින් පිහිටි කිලෝග්‍රෑම් 30000 ක බරින් යුතු ග්‍රාහක උපකරණය වෙත පරාවර්තනය කරනු ලබයි. පැත්තක දිග මීටර් 11ක් වන ත්‍රිකෝණ හැඩැති පුවරු 4500 ක් ආධාරයෙන් මෙම තැටිය නිමවී තිබෙන අතර අනෙකුත් දුරේක්ෂ වලට හසු නොවනා ඉතාමත් දුර්වල රේඩියෝ තරංග පවා මෙමඟින් ග්‍රහණය කර ගැනීමට හැකියි.
මෙම දුරේක්ෂය නිර්මාණය කිරීමට සුදුසු ස්වභාවික ස්ථානයක් සොයා ගැනීමට විද්‍යාඥයන් හට වසර 17ක තරම් විශාල කාලයක් ගත වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ භූ විෂමතාවය දුරේක්ෂය සඳහා ගැළපෙන අතර පස දුරේක්ෂයේ බරට හොඳින් ඔරොත්තු දෙන ලෙස ශක්තිමත්.
එම හේතුව නිසාත් නගර හා ගම් වලට බොහෝ ඈතින් පිහිටා තිබීමෙන් සාමාන්‍ය ජනයාගෙන් සිදුවන විද්යුත් චුම්බක බාධාවන් අවම නිසා මෙම ස්ථානය දුරේක්ෂය සෑදීමට සුදුසුම ස්ථානය බව තීරණය කර තිබෙනවා.
එය එසේ වූවත් පසුගිය වසරේ සැප්තැම්බර් මසදී මෙම දුරේක්ෂය එහි ක්‍රියාකාරීත්ව ආරම්භ කරන විට තිබූ තත්වය හා වර්තමාන තත්වය බොහෝ සෙයින් වෙනස් වෙලා. එයට හේතුව වන්නේ මෙම දුරේක්ෂය වෙත ලැබී තිබෙන අසීමිත වූ සංචාරක ආකර්ෂණයයි. මෙය බොහෝමයක් විද්‍යාඥයන්ගේ කතාබහට ලක්වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 180 ක වියදමෙන් සෑදූ දුරේක්ෂය අපතේ යාවි යැයි බියෙන්. මෙම වසරේ මුල් මාසවලදී පමණක් මෙම අධි සංවේදී දුරේක්ෂය නැරඹීමට සංචාරයකයන් මිලියන 4 ක් පැමිණ තිබෙන අතර සංචාරක නිලධාරින් පවසන ආකාරයට මෙම වසර තුළ ඔවුන් බලාපොරොත්තුවන මුළු සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියන 10 ක්. මෙම ප්‍රමාණය ලොව සුපතල චීන මහා ප්‍රාකාරය නැරඹීමට එන සංචාරකයන් ප්‍රමාණයට සමාන බැව් පැවසුවොත් ඔබ පුදුම වන්නට පවා ඉඩ තිබෙනවා.
ජනගහනයක් නොමැති ප්‍රදේශයක දුරේක්ෂය නිර්මාණය කරනු ලැබූවත් වර්තමානය වන විට එය අවට හෝටල් 46 ක් හා ආපනශාලා 100 කට අධිකව ඉදිකර තිබෙන අතර තේමා උද්‍යානයක් පවා ඉදිකර තිබෙනවා.
දුරේක්ෂයේ සිට කිලෝමීටර් 3 ක සීමාවක ජංගම දුරකතන, රේඩියෝ හා කැමරා භාවිතය තහනම් වූවත් බොහෝ සංචාරකයන් හොර රහසේ මෙම උපකරණ රැගෙන එන බව පැවසෙනවා. මෙම දුරේක්ෂය නඩත්තු කිරීමට දිනකට වැයවෙන මුදල ඇමෙරිකානු ඩොලර් 60,000ක් එනම් රුපියල් ලක්ෂ 92ක් පමණ වනවා.
මේ තරම් අති විශාල මුදලක් වියදම් කළත් ඔවුන් මෙහි ක්‍රියාකාරීත්වය සංචාරකයන් නිසා අනතුරේ දමන්නේ වසරකට සංචාරකයන් මඟින් මෙම ප්‍රදේශයට ලැබෙන අති විශාල ඇමෙරිකානු ඩොලර් මිලියන 690 ක තරම් මුදල නිසා යැයි බොහෝ විද්‍යාඥයන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ චීනය තවත් ලෝක පුදුම නිර්මාණයක් සාදා එහි ක්‍රියාකාරීත්වය අමතක කොට පටු අරමුණු වලට තැන දී තිබෙන බවයි. ලොව මෙතෙක් සොයා නොගත් ඈත විශ්වයේ තතු දැනගැනීමට ඇඟිලි ගනිමින් සිටි බොහෝමයක් දෙනා මේ නිසා කණස්සල්ලට ලක් වී තිබෙනවා.