
සිළුමිණ ශාස්ත්‍රීය මණ්ඩපය, ‘සත්මඬල’ ඔස්සේ පැරණි දහම් මග විවරණය කෙරෙන ‘පරිකථා’ ඔබ වෙත රැගෙන එන්නෙමු. ඒ පරිකථා සද්ධර්මරත්නාවලී පරිකථාය. ‘පරිකථාව’ යන්නෙහි අරුත හාත්පසින් කරනු ලබන විවරණයයි. සිංහල ව්‍යාඛ්‍යානාවලියෙහි වැදගත්ම අංගය ‘පරිකථා’ වෙයි. පරිකථාවකින් මූලික කොට දැක්වෙන්නේ මූලග්‍රන්ථයක තෝරාගත් පදයකට හෝ කථා පුවතකට විස්තරාර්ථ දැක්වීමයි. විටෙක එය අපේ ඉතාම විශිෂ්ට වූ විචාර ක්‍රමයකි. පරිකථා කරුවා මුල් කථාව සිත් සේ විචාරයට ලක් කරයි. මහාචාර්ය ආනන්ද කුලසූරියට අනුව පරිකථාව යම් රචනාවක දුරවබෝධ පාඨවලට විස්තරාර්ථ දැක්වීමකි. ඒ අනුව පරිකථාව වැඩිදුර විස්තර කිරීමකි.
සද්ධර්මරත්නාවලීකාර ධර්මසේන යතිවරයාණෝ මෙම මහා ධර්ම ප්‍රබන්ධය අරඹන්නට සූවිසි විවරණ කථා පුවත් කෘතිය ආරම්භයෙහිම යෙදූහ. එහි ඉතාම රමණීය වර්ණනා අන්තර්ගත බැවින් ද බොහෝ දෙනා සද්ධර්මරත්නාවලියෙහි කතා පුවත් මිස ආරම්භක සූවිසි විවරණ වර්ණනාව පිළිබඳ අවධානය යොමු නොවන හෙයින් මෙහිදී ඒ පිළිබඳ අප පාඨකයා දැනුවත් කරලීමේ වැදගත්කම අපි දකිමු. සූවිසි විවරණය ඇරඹෙන්නේ මෙසේ ය.
“අප තිලෝගුරු බුදුහු මෙයින් සාරසැකි කප් සුවහස් මතුයෙහි දඹදිව අමරවතී නම් නුවර කුමාරවැ ඉපිද බොහෝ වූ ධන ධාන්‍ය සම්පත්තීන් සමබද්ධව උගත මනා ශිල්ප ඉගෙන මාපිය දෙදෙනාගේ අයාමෙන්...
යනාදී ලෙසින් අරඹා අනතුරුව දක්වන්නේ අහෝ අපගේ දෙමවුපියන් මෙතෙක් වස්තු උපයා ... බැඳි මීයෙන් කිසිවකුත් නොගෙන යන මීමැස්සන් මෙන් මියැ පරලොව යන්නාහු වස්සක් පමණ නොගෙන ගිය හ, යනුවෙනි. ඉතා අලංකාර උපමාවකින් කතුවරයා දක්වන්නේ සුමේධ තාපසයන් ගිහි දිවියේ සම්පත් කෙරෙහි ඇති කරගත් කලකිරීම පිළිබඳවයි. විශේෂයෙන් ‘මීමැස්සාගේ උපමාව’ කෙතරම් ප්‍රබල දැයි කල්පනා කිරීම වටී. මී වද බදින මී මැස්සන් ලොව සියලු සාරය එහි ඒකරාශි කොට ඒවායින් අංශුවක් හෝ තමන්ගේ පැවැත්මට යොදා නොගන්නා සේ අඥානයෝ ජීවිත කාලය පුරා ධනය එක්රැස් කර තබා එයින් මස්සක් හෝ නොරැගෙන ම මරණයට පත්වෙති.
සුමේධ තවුසන් කල්පනා කරන්නේ මේ වස්තුව දාන විෂයෙහි පරිත්‍යාග කිරීම් වශයෙන් ලබන්නා වූ කුසලය ම වැදගත් වන බවයි. සුමේධ තාපසතුමන් තමන්ට දෙමාපියන් වෙතින් ලද වස්තුව දාන විෂයයෙහි යෙදූ අයුරු සද්ධර්මරත්නාවලී කතුවරයා දක්වන්නේ රසබර උපමාවලියකිනි.
“භෙරිනාද නමැති සුවඳින් රැස් වූ යාචක ජන නමැති බමරුන් දාන නමැති රොනින් සතපවා එසේ දීත් වස්තුව නොතිබෙන කලට ඉතිරිය අතපුරා සිත පුරා හැර යනුව’ යි විධාන කොට” යනුවෙනි. මෙසේ සියල්ල දන්දී තවුස්දම් සපුරමින් කල් ගෙවන සුමේධ තාපස තෙමේ දීපංකර බුදුහිමියන් හමුවේ නියත විවරණය ලද ආකාරය කතුවරයාගේ අලංකාර වර්ණනාවට ලක් වෙයි. දීපංකර බුදුහිමියන් වටනා මග පිළිසකර කරන පිරිසක් දුටු සුමේධ තවුසා එතැනට පැමිණ සිතුවේ මෙසේ ය.
“මං ඉදි කිරීමට සහාය වීමටත් වඩා කුසල් නමැති බිජුවට වපුරන්ට තුනුරුවන් නමැති කෙත විනා අනෙක් කෙතක් නැති බැවින් කරන්නට සිතන කුසලයට කෙත් වූ මංපෙත් ඉල්ලාගෙන” යනුවෙන් කුසල් මං පෙතට ඉවහල් වන මං පෙත් සැකසීම ඉල්ලා එහි කටයුතු ඇරැඹීය. එහෙත් බුදුන් වඩනා මග අවසන් කර ගත නොහැකි වූ විට කලල මඩෙහි අතුළ දොඹ මල් ඇතිරිල්ලක් සේ මුහුණින් වැඳ වැඩ සිටියහ. ඔහුගේ මතු බුදු වන පිං මහිමය දුටු දීපංකර බුදු හිමියෝ තවුසාගේ එම අරමුණ සාක්ෂාත් කරලීම පිණිස ඔහුගේ ශරීරය මතින් මඩ නොගෑවී එතෙර වූ සේක. එසේ එතෙර වූ දීපංකර බුදු හිමියෝ මෙසේ නියත විවරණ දී වදාළහ.
“මොහු බුදුවන ජාතියෙහි උපදනා නුවර කිඹුල්වත් නම් නුවර ය. මුන්ගේ මෑණියෝ මහාමායා බිසෝ ය. පියාණෝ සුදොවුන් මහාරජාණෝ ය. මූ තුමු ගෞතම නම් හ. සැරියුත්ය මුගලන්ය යන තෙර සඟළෙක් අග සවු වෙති. ආනන්ද නම් තෙර කෙනෙක් අග්‍ර උපස්ථායක වෙති. ඛේමාවෝය උත්පලවණ්ණාවෝය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍රශ්‍රාවිකා වෙති. බෝධි වන්නේ ඇසතු ගසෙක” යනාදීන් විවරණ ලද අයුරු ධර්මසේන හිමියෝ ලියා තිබෙති.
දීපංකර බුදුන්ගෙන් කල්ප අසංඛ්‍යයක් ගිය පසු කොණ්ඩඤ්ඤ බුදුහු ලොව පහළ වෙති. එකල බෝසත්හු විජිතාවි නම් සක්විති රජව විවරණ ලබති. අනතුරුව මංගල නම් බුදුන් වෙතින් සුරුචි නම් බ්‍රාහ්මණට ඉපිද විවරණ ලද අතර අනතුරුව සුමන නම් බුදුන් වෙතින් අතුල නම් දිව්‍ය නාගව ඉපිද විවරණ ලද බව කතුවරයාණෝ දක්වති. අනතුරුව බුදුවන්නේ රේවත නම් බුදු කෙනෙකි. එකල අප බෝසතාණන් වහන්සේ අතිදේව නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද නියත විවරණ ලද බවත්, පිළිවෙළින් සෝභිත බුදුන්ගෙන් සුජාත නම් බ්‍රාහ්මණව ද, අනෝමදස්සී බුදුන් කල යක් සෙනෙවියකුව ද, පදුම නම් බුදුන් හමුවෙහි සිංහයකුව ද, නාරද නම් බුදුන් හමුවේ තාපසයෙක්ව ද, පදුමුත්තර බුදුන් හමුවෙහි ජටිල නම් තාපසයකුව ද, සුමේධ බුදුන් හමුවේ උත්තර නම් ළදරුවෙකුට ද සුජාත නම් බුදුන් හමුවෙහි සක්විති රජෙකුව ද, පියදස්සී බුදුන් හමුවෙහි කාශ්‍යප නම් බ්‍රාහ්මණයකුව ද, අත්ථදස්සී බුදුන් හමුවෙහි සුසීම නම් බ්‍රාහ්මණව ද, දම්මදස්සී බුදුන් හමුවෙහි සක්දෙවිඳුව ද, සිද්ධාර්ථ බුදුන් හමුවෙහි මංගල නම් බ්‍රාහ්මණව ද, තිස්ස බුදුන් හමුවෙහි සුජාත නම් රජව ද, ඵුස්ස බුදුන් හමුවෙහි විජිතාවි නම් රජව ද, විපස්සී බුදුන් හමුවෙහි අතුල නම් දිව්‍ය නාග රාජව ද, සිඛී නම් බුදුන් හමුවෙහි අරින්දව නම් රජව ද, වෙස්සභු බුදුන් හමුවෙහි සුදර්ශන නම් රජව ද, කකුසඳ නම් බුදුන් හමුවෙහි ඛේම නම් රජව ද, කෝනාගමන බුදුන් හමුවෙහි පර්වත නම් රජව ද, කාශ්‍යප නම් බුදුන් හමුවෙහි ජෝතිපාල නම් බ්‍රාහ්මණව විවරණ ලද අයුරු ඉතා චමත්කාර වර්ණනා ඔස්සේ ධර්මසේන හිමියෝ ඉදිරිපත් කරති.
අවසන් වරට විවරණ ලද කාශ්‍යප බුදුහිමියන් පිළිබඳ කළ වර්ණනාව මෙසේ ය.
“සත්වයන්ගේ ඇස් තමා කරා නම්වන්නාක් මෙන් ද, ගස් කොළ අත් පොලඹවන්නාක් මෙන්ද, ගොසින් නුග බෝධිය මධ්‍ය කොටලා බෝධි ගෙයක් ව පිහිටා සිටීය. කැටිව ගියවුන්ගේ ගෑනු මිනිසුන් හැර සෙස්සවුන් සමඟ මහණ වූ දැය. නළු ගෑනුන් මාලිගාවෙන් බැසපියා හමු සමාරක් විතර පලා ගොසින් රදා හුන්හ.”
සෑම බුදු කෙනෙකුන් පිළිබඳවම මෙවැනි වර්ණනා මෙහි ඇතුළත් වෙයි. දෙව් ලොවින් චුතව දඹදිව කවර නගරයක කවර දෙමාපියන් හමුවේ ඉපිද අභිනිෂ්ක්‍රමණය කොට බුදු වූ ආකාරය පිළිබඳ කරන විවරණය බොහෝ දෙනාට බොහෝ දැනුම් සම්භාරයක් සලසා දෙයි. සූවිසි විවරණය අවසන් කරන්නේ ‘සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේගෙන් විවරණ ලදින් සමතිස් පැරුම් පුරා වෙසතුරු අත්බැව්හි සිට.....” යනුවෙනි. මේ අනුව සද්ධර්මරත්නාවලී කතා කරුවා එක්වරම කතා විවරණයට නොගොස් සූවිසි විවරණයට මග පාදා ගැනීම තුළින් ශ්‍රේෂ්ඨ කෘතියක් බවට මෙය පත් කර ගෙන තිබෙයි.