
මහාචාර්ය බන්දුසේන ගුණසේකර ළමා හා යොවුන් සාහිතකරණයෙහි විශිෂ්ට කුසලතා දැක්වූ ලේඛකයෙකි. ඔහු දරුවන් හා යෞවනයන් වෙනුවෙන් විශිෂ්ට කෘති රැසක් නිර්මාණය කළේ ය. නිර්මාණකරණයේ එතුමන්ගේ අත්දැකීම් ඇසුරින් නිර්මාණකරුවන් වෙත යොවුන් හා ළමා සාහිත්‍යයේ ගුණාත්මක බව වර්ධනය කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔහු අදහස් දක්වයි. යොවුන් සාහිතය අතහැර දමා සිටින ලේඛකයා පුබුදවා යෞවනයා වෙනුවෙන් සිංහල යොවුන් සාහිත්‍යය පෝෂණය කිරීම මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන්ගේ අභිලාසය යි.
යොවුන් හා ළමා සාහිත්‍යය පිළිබඳ ලේඛක ආකල්ප පිරිහී තිබේ. එබැවින් මේ වන විට ළමා හා යොවුන් සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයක් දැකිය නොහැකිය. ළමා හා යොවුන් සාහිතයේ මූල ධර්ම හා පරමාර්ථ කෙරෙහි දැනුම ඇතිව අවධානයෙන් වගකීමෙන්, නිර්මාණ කුසලතාවෙන් යුතුව යොවුන් සාහිත්‍ය නිර්මාණයේ යෙදෙමින් ළමා හා යොවුන් සාහිත නිර්මාණ සාර්ථක ව ගැඹුරු අවබෝධයකින් යුතුව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුට නැත.
යොවුන් හා ළමා සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන සාහිත්‍යකරුවන් සතු වගකීම වන්නේ අනාගත පුරවැසියන් මිනිස්කමින් පිරුණු මිනිසුන් බවට පත්කිරීමයි. වර්තමානයේ වල්මත් ව අයාලේ යන යෞවනයා අර්ථවත් ඉලක්කයක් කරා යොමු කරවීම කළ යුතු වේ. එසේ නොකර යම් කතාවක් කවි පන්ති කිහිපයක් ලියා ළමයා හා යොවුන් සාහිත්‍ය පෝෂණය කළ හැකි යැයි සිතීම මුළාවකි.
යොවුන් සාහිත්‍යය විශේෂයෙන් සැලසුම් කළ යුතුය. යොවුන් සාහිත නිර්මාණ වියත් ප්‍රතිභාවෙන් යුතු ලේඛකයන් ගැටවර වයසේ දරුවන් ගේ ක්‍රියාකාරකම්, ඇවැතුම් පැවැතුම්, රුචි අරුචිකම්, මනෝභාවයන් හා මනෝචාරයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව කළ යුතු සියුම් කාර්යයක් වේ.
අතීතයෙන් උරුම වී ඇති අපගේ පුරුෂාර්ථ හා සාරධර්ම සමුහයක් ඇති බව හා ඒවා දරුවන්ට දයාද කිරීමට ඇති හොඳ ම වාහකයා යොවුන් සාහිත්‍යය බවත් අමතක නොකළ යුතු වේ. වැඩිහිටි ප්‍රතිභා සම්පන්න වියත් ලේඛකයා එය නොසලකා හැරීම අනාගතය අාගාධයට දැමීමකි. ළමා හා යොවුන් සාහිතකරණයේ යෙදෙන්නන් අධ්‍යාපන පරමාර්ථ පිළිබඳ අධ්‍යයනය කොට තමන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණය කවර වයස් මට්ටමකට සුදුසු ද යන්න තීරණය කර ඒ වයස් මට්ටමේ දරුවන්ගේ භාෂා දැනුම විෂයය දැනුම මත පදනම්ව නිර්මාණ කිරීමට වගබලාගත යුතු වේ. දරුවන්ගේ කායික මානසික වර්ධනය ඒ ඒ වයස් සීමාවන් අනුව සිදුවේ. ඔවුන්ගේ බුද්ධිය, ප්‍රඥාව, පෝෂණය, ආකල්ප ආදිය ඊට අනුකූලව වෙනස් වේ. ඔවුන්ගේ සහජ ආශා සාමූහික ළැදිකම් මානසික හා කායික අවශ්‍යතා වයස අනුව වෙනස් වෙයි. නිර්මාණකරුවා අතින් ලියැවෙන සාහිත නිර්මාණය ද ඒ සංකීර්ණ තත්ත්වයට ගැළපෙන උත්කෘෂ්ට එකක් වීම ම එය කෙරෙහි දරුවන්ගේ අවධානය යොමු වීමට හේතු වෙයි. දරුවන්ගේ අවධානය දිනාගත් පොත පත් විමසා බැලීමෙන් එය සනාථ කරගත හැකිය.
දරුවන්ගේ දක්ෂතා, පුරුදු, ආකල්ප නව යොවුන් හා යොවුන් වයස් මට්ටමේ දී දියුණුවන ආකාරය ඔවුන් ගේ බුද්ධිය, ප්‍රඥාව, පෞරුෂය, තර්ක ශක්තිය, සමාජ ආකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමෙන් හඳුනාගත හැකිය. දරුවන්ගේ කුතූහලය සංසිඳවා දැනුම වර්ධනය කරන නිර්මාණ දරුවා සාහිත්‍ය කෙරෙහි බැඳ තබයි.
ළමා සහ යොවුන් සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කුමාරතුංග මුනිදාසයන්ගේ කියවන නුවණ හා ශික්ෂා මාර්ගය ආදී කෘති සිහියට නැඟේ. ඔහු විසින් ලියන ලද රචනා නිර්මාණාත්මක වූ අතර ක්රමානුකූල විය. හීන්සැරය හා මඟුල් කෑමට සම කළ හැකි කෘති ලිවීමට ලේඛකයන් වෑයම් කළ යුතු වේ. යෞවනයා යනු කවරෙක් ද ? ඔහුගේ රුචි අරුචිකම් කෙබඳු ද ඔහු ගේ සහජ ළැදියාවන් ක්‍රියාකාරීත්වය හැසිරීම් පිළිබඳ අවබෝධයෙන් තොරව ළමා හෝ යොවුන් සාහිත නිර්මාණ කරණයට පිවිසීම කිසි ලෙසකින් යෝග්‍ය නොවේ. වයසත් සමඟ ලබන දැනුම පදනම් කොටගෙන සමාජය දෙස සැක මුසුව බලන දරුවාගේ පෞරුෂ හා ආකල්ප සංවර්ධනය කෙරෙහි ඔහු වෙනුවෙන් ලියන ලේඛකයා උනන්දුවිය යුතු වේ. දරුවාගේ අත්දැකීම් හැඟීම් චිත්තධාරා ක්‍රියාකාරකම් හා අතුරු ගතිගුණ හඳුනාගත් ලේඛකයාට වඩාත් සාර්ථක යොවුන් සාහිත්‍ය නිර්මාණකරුවකු විය හැකිය. ළමයින් සඳහා නිර්මාණ කරණයේ යෙදෙද්දී අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ හැදෑරීම නිර්මාණකරුවකුට වැදගත් වේ. ළමයින් ගේ හැසීරිම් රටා අධ්‍යයනයේ යෙදෙද්දී ඔවුන් විවිධ අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය අනොන්‍ය සබඳතා පිළිබඳ ආකල්ප වටහා ගැනීම වැදගත් ය.
ළමයින් වෙත එකිනෙකට අනන්‍ය වූ හැසිරීම් විධි ආකල්ප ඇවැතුම් පැවැතුම් දක්නට ලැබේ. ලේඛකයාට අවශ්‍ය වනුයේ ඒ ඇවැතුම් පැවැතුම් රටාවල පොදු ලක්ෂණය හඳුනා ගැනිමයි. ළමයාගේ ලෝකයට වඩා යෞවනයාගේ ලෝකය තාර්කික ය. ඔවූහු සුරංගනා ලෝකයට හා කල්පනා ලෝකයට වඩා රහස්පරීක්ෂක වීර චරිත ආදර කතා කෙරෙහි ඇල්ම දක්වති. තරුණ චරිත ඇතුළත් කතා කෙරෙහි ඔහු බැඳේ. යොවුන් දරුවා රංචුවට ළැදි ය.
සාමූහිකත්වයෙන් සිටීම නායකත්වය දැරීම පිළිබඳ රුචිය ද තරග ජයගැනීමේ කැමැත්ත ද, ඔහු කෙරෙහි ලියලයි. යෞවනයා අන්‍යයන් ඉදිරියේ ප්රගතිශීලී සමාජවාදී වීරයකු ලෙස කටයුතු කිරීමේ අභිලාසය ප්‍රකට කරයි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ළැදිකම හා ප්‍රසිද්ධිය සොයා යෑම ගැටවරයාගේ රුචියයි. පරිත්‍යාගය ද ඔහු සතු ය. එබැවින් ලේඛකයන් හා සාහිත්‍යධරයන් යෞවනයා සඳහා නිර්මාණ කිරීමේ දී මේ කරුණු විශිෂ්ටත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුය. එසේ කරද්දී දරුවන්ගේ මානසික පවිත්‍රතාවට චරිත ශුද්ධියට මං සැලසීම සාහිත්‍යධරයාගේ වගකීමයි. යෞවනයා ගේ මානසික මට්ටම බිඳ නොදැමීමට හා උදාසීන නොකිරීමට සාහිත්‍යකරුවා අවධානය යොමු කළ යුතු වේ.
මනෝවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ පුද්ගල ජීවිතයේ වැදගත්ම අවදිය නව යොවුන් විය බවයි. ළමා හා යොවුන් විය අතර දෝලනය වන යෞවනයාට ලියැවෙන සාහිත්‍යය එවන් සංක්‍රාන්තික සාහිත්‍යයක් විය යුතුය. එවන් සාහිත්‍යයක ලක්ෂණ ලෙස යථාර්ථයෙන් සුබවාදී අන්තයකට යොමුවීමට ඇති හැකියාව පෙන්වා දීම, කැලඹිළි සහගත අසහනකාරි තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පරිණතබව අත්දැකීම් සාහිත්‍ය මගින් ලබා දීම කළ යුතුය. යෞවනයා ළමයකු ලෙස සැලැකීමට වැඩි හිටියා කැමැත්ත දැක්වූවද ඔහු එය රුස්සන්නේ නැත. එබැවින් මේ පරම්පරා ගැටුම සමනය වන ආකාරයේ සාහිත්‍යයක් ඔවුන් සඳහා අවශ්‍ය වේ.
නිරතුරුව වැඩිහිටියාගේ විශ්වාසය හා ආධාර පතන යෞවනයාගේ සිතිවිලි නිර්මාණකරුවා හඳුනාගත යුතුවේ. එසේ කිරීමෙන් යෞවනයා වෙත උපකාර කීරීමේ, විශ්වාසය තහවුරු කීරීමේ කැමැත්ත හා සූදානම වැඩිහිටියා තුළ ඇති බව සාහිත්‍ය නිර්මාණ තුළින් තහවුරු කළ යුතු වේ. යෞවනයා තුළ ඇති කැපී පෙනීමේ ආශාව තෘප්තිමත් කෙරෙන නිර්මාණ ඔවුන් වෙනුවෙන් කළ යුතු වේ. එවිට යෞවනයාගේ මානසික තෘප්තිය ගොඩනැඟී කායික වශයෙන් වෙනස්වෙමින් ඔහුට සමාජ වැදගත්කම ගොඩනඟා ගත හැකි ආකාරයට වැඩිහිටි බව අපේක්ෂාවෙන් සිටින යෞවනයා දිරිගන්වන ආකාරයට සාහිත්‍ය නිර්මාණ බිහි කළ යුතුය. යෞවනය බුද්ධිමත් වේ. ඔහු පරිණත භාවය ලබාගැනීමට අපේක්ෂත ය. හරවත් තේමාවන්ගෙන් යුතු නිර්මාණ චිත්ත ප්රබෝධය ඇතිවනසේ යෞවනයා අතට පත් කිරීම ඔවුන් වෙනුවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන්නන්ගේ වගකීමයි. තම පෞරුෂත්වය සාරධර්මවලින් ඔපනංවා ගැනීමට මඟ පෙන්වන සාහිත්‍ය කෘති යෞවනයාට තිළිණ කළ යුතුය.
ළමා ලොවින් වෙන් වී වැඩිහිටි ලොවින් ප්‍රතික්ෂේප වන යෞවනයා වරින්වර එම ලෝක දෙක තුළ ම තනතුරු දරයි. ඔවුන්ට සාහිත්‍ය නිර්මාණ කිරීමේ දී මේ බව වටහා ගනිමින් යෞවනයා අතරමං නොවන සේ චින්තනය වඩවන නෘත්‍ය, ගීත, කවි, කතා, නාට්‍ය යෞවනයා අත තැබිය යුතුය. අපගේ තරුණ පරපුර ප්රබුද්ධව තබා ගැනීමට ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමට හැකි නිර්මාණ යෞවනයා වෙනුවෙන් තිළිණ කිරීම සාහිත්‍යධරයන්ගේ වගකීමයි. ජාතියේ පෞරුෂය බිඳවැටෙන අවධියක බොළඳ ඕලාරික රසයට නැමෙන දරුවන් ඉන් මුදවා ගෙන චරිතවත් බුද්ධිමත් පුරවැසියන් තනා ගැනීමේ වගකීම හා අභිප්‍රාය යොවුන් සාහිත්‍ය නිර්මාණකරුවා සතු විය යුතුය.