
මකුළුවකු ආයාසයෙන් බිත්තිය දිගේ ඉහළට නඟිනු පෙනේ. ඌ, ඌට උසුලා ගත නොහැකි බරක්, සුදු පැහැති බෝලයක් වැනි යමක් පාද වලින් තද කරගෙන ආයාසයෙන් බිත්තිය දිගේ නඟියි. පැටවුන් සිය දහස් ගණනක් ඒ කුඩා සිවියෙන් වට වූ පැස ඇතුළත සිටිනවා විය හැකිය. මඳ දුරක් බිත්තිය දිගේ ම නැඟ ආ ඌ හති අරින්නට මෙන් නැවතුණේ ය. මොහොතකින් නැවත වරක් බිත්තිය දිගේ නඟින්නට පටන් ගත්තේ ය.
බිත්තියේ වූ නැම්මකට තම අඬුවක් තැබූ මකුළුවා බිත්තර පැසත් සමඟ ම එකවර බිමට ඇද වැටුණේ ය. වැලේ ගෙඩි වැලට බරක් නෑ කියන්නා සේම ඌ, ඌට මහාර්ඝ සම්පතක් වූ බිත්තර පැසත් රැගෙන යළිත් බිත්තිය දිගේ නඟින්නට විණි. පෙර වර තරම් මකුළුවාගේ ජවයක් නොපෙනුණු අතර වෙහෙසකාරී බවකින් ඌ පීඩාවට පත් වී ඇති සෙයක් පෙනිණි. අඩි කිහිපයක් අතරතුර කිහිපවාරයක් ම විවේක ගත් ඌ ඉදිරියට ගියේ අධිෂ්ඨානයේ ශක්තියෙන් ම පමණක් විය යුතුය.
මම දිගින් දිගට ම බලාගෙන සිටියෙමි. සත්ත්ව ලොව විවිධ හැසිරීම් අතර තම දරුවන් ගැන උන් දක්වන සෙනෙහස විටෙක පුදුමාකාර ය. පැටවුන් එකින් එකා කටින් එල්ලා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යන පූස් අම්මලා, බලු අම්මලා, දිවි, වලස්, කොටි, සිංහ අම්මලා මෙන්ම මාංස භක්ෂක සතුන්ගෙන් තම පැටවුන් බේරා ගන්නට දැඩි වෙහෙසින් විවිධ අසීරු ස්ථානයන්හි කූඩු තනන කුරුලු අම්මලා ද, වෙන කූඩුවක දමා හෝ තම දරුවන් රැක ගැනීමට තතනන කොහා අම්මලා ද මේ සත්ත්ව ලොවෙහි වෙති. පැටියකු ඉපදුණු විගස රැළෙහි සියලු අලි අම්මලාට (කෙණෙර) කිරි එරෙන්නේ ද ඒ සෙනෙහසේ තවත් ස්වරූපයක් පෙන්නුම් කරමිනි. මකුළු අම්මා ද ඒ ලොවෙහි ම කොටසක් ව සිය දහස් ගණනක් වූ දරු කැල රැක ගන්නට ජීවිතය ගැන නොසිතා ආයාස දරන්නී ය.
ටිකෙන් ටික ඉදිරියට ඇදුණු මකුළුවා දීර්ඝ වේලාවක් එකතැන විවේක ගත්තේ ය. අනතුරුව ඉදිරි අඬු දෙක ඉදිරියට දික්කර යෑමට සූදානම් වූවා පමණී; බිමට ඇද වැටුණි. බිත්තර පැස තවත් තැනකට වැටුණේ ය. මම ළංවී බලා සිටියෙමි. මකුළුවා සෑම තැන ම දුවමින් බිත්තර පැස සොයන්නට විණි. ළංවී එදෙස බැලූ මම දුටු දසුනින් විස්මපත් වූයෙමි. කුඩා කුහුඹු පැටවුන් වැනි මකුළු පැටවුන් සිය දහස් ගණනක් ඒ බිත්තර පැසෙන් එළියට එමින් සිටියහ. එය යකඩ දොරටු දමා සිරකළ හේවායන් එක්වර ම දොරටු බිඳ දමා නිදහස සොයා පෙරට දුව එන දසුන වැන්නකි. එකිනෙකා මතින්, එකිනෙකා අබිබවමින් උහු වේගයෙන් නිදහස සොයා යමින් සිටියහ. මකුළු අම්මා දරුවන් සේනාව දෙස බලා නිහඬ ව ම සිටියා ය. එතරම් අපූර්ව දසුනක් මුල සිට ම නිරීක්ෂණය කිරීමේ භාග්‍යය ලද මම මකුළු පැටවුන් පෙරහැර දෙස බලා සිටියේ විමතියෙනි. මකුළුවන් මේ යන්නේ ජීවිතය සොයා ය. උන්ගේ වේගය දෙස බැලූ විට මේ ලෝකය දෙස බැලීමේ පුදුමාකාර උනන්දුවක් හා ආශාවක් තිබෙන බව පෙනේ. එහෙත් ජීවත් වීමේදී මෙහි ඇති අන්තරාදායක බව උන් ජීවිතයෙන් ම දැන ගනු ඇති අතර ම බිත්තර පැස කෙතරම් ආරක්ෂාකාරී ද කියා ද සිතෙනු නියත ය.
ජීවිතය යන්නෙහි අරුත කුමක්ද? අප වටා තිබෙන සියලු සුන්දර අසුන්දර වියමන් සියල්ල අයත්වන්නේ ජීවිතයට ය. ජීවිතයට දිළිදු බව පොහොසත් බව යන දෙක ම අයිති ය; සියලු ආගම් අයිති ය; ඊර්ෂ්‍යා පර්වශ කුහකකම්, පරිත්‍යාග, හිමි වීම්, අහිමි වීම් සියල්ල අයිති ය. මේ සියල්ල හා තවත් සියලුම දේ ජීවිතයට අයිති ය. නමුත් අප ජීවිතය යැයි සිතන්නේ බෙහෙවින් පටු ක්ෂුද්‍ර දෙයකට පමණී. ජීවිතය ලද දා පටන් අපි විවිධ දෑ සඳහා සූදානම් වන්නෙමු; බලාපොරොත්තු තබා ගන්නෙමු. විභාග සමත් ව හොඳ රැකියා ලබාගෙන, විවාහ වී දරුමල්ලන් ලබාගෙන තව තවත් ජීවිතය බැඳීම්වලින් ම පොහොසත් කර ගන්නට අපි සැවොම වෑයම් කරන්නෙමු. අපගේ අධ්‍යාපනය විසින් අප තවදුරටත් බැඳීම් මත යැපෙන්නන් බවට පත් කරනවා විනා වෙනස් දැක්මක් සහිත වූවකු කරන්නට මාර්ගය පාදන්නේ නැත. පුළුල් ජීවන අරුත්, සන්නිවේදනාර්ථ වටහා ගැන්මේ අවකාශය අධ්‍යාපනය විසින් අපට උරුම කරදෙන්නේ නැතැයි කීවොත් ඔබ එකඟ වනවා නිසැකයි.
ඔබ විවිධ උපාධි දිනාගන්නට ඇත. ඔබේ නමට පහළින් උපාධි නාමාවලියක් ම තිබෙන්නට හැකිය. ඒ නිසා ම ඔබට රැකියාවක් සපයා ගන්නට අපහසු නොවන්නට ද ඇත. එහෙත් ඔබේ ජීවිතය සම්පූර්ණ ද? ඔබ සිටින්නේ පූර්ණ සතුටින් ද? නිසැක වශයෙන් ම ඔබට මේ ජීවිතයේ අරුත කුමක්දැයි සිතුණු වාර අනන්ත ඇති. මේ සකසුරුවම් ජීවිතය නැතිවී යා හැකි යැයි ඔබ බිය වුවහොත් ඔබට කෙදිනකවත් අර සැහැල්ලු, සුන්දර ජීවිතය නම් ළඟා කර ගත නොහැකිය. බියෙන්, සැකෙන් තොරව නිදහස් ව, නිවහල් ව, සූත්‍ර රහිත ව සිතීමට නොහැකි වනු ඇත.
බිය සැක නැති ලෝකයක් ගැන ඔබට කෙදිනකවත් සිතී ඇත් ද? ලොව පුරා විවිධ ස්ථානවල නිමක් නැති යුද බිය පවතින බැවින් මෙවැනි ලොවක් නිර්මාණය වීමේ අවැසිතාව වැඩි වී ඇත. බලය හඹා යන, බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දේශපාලනඥයන් මේ ලොව මෙහෙයවයි. බලය අත්පත් කර ගැනීමට එකිනෙකා හා සටන් කරන අයගෙන් මේ ලොව පිරී පවතී. මේ ආත්මයේදී නොහැකි නම් ඊළඟ භවයේදී හෝ බලය හෝ මුදල් පතන අය සිටිති. ඒවා පතා විවිධ යාග හෝම කරදෙන දෙවියන්ගේ ගෝළ බාලයන් මේ ලොව වැහි වැහැලා ය. කරාබු දැමූ, හැන්ඩියට ඩෙනිම හා ටී ෂර්ටය ඇඳි තරුණයන්ගේ කරේ යන්තර ය; තරුණියන්ගේ ඉණේ යන්තර ය. ඒවා ප්‍රශ්න කරන්නවුන් ද කොණ්ඩය වවා ඩෙනිම් ඇඳ ගත්තවුන් ය. මේ ලොව පුරාම ඇත්තේ බොරු මවා පෑම් ය. මේ ලොව පරස්පර විරෝධී විශ්වාසයන්ගෙන් ද, කුල හා පන්ති ෙභ්දයන්ගෙන් ද, වෙන් ව යෑමට වෙර දරන ජාතීන්ගෙන් ද සෑම ආකාරයේ ම මුග්ධකම් හා ක්‍රෑරකම් වලින් ද භින්න වූ ලොවකි. ඔබට මට අධ්‍යාපනය ලබා දෙන්නේ ඒ ලොව හා ගැළපෙන්නට ය. ඒ ලොවට පිවිසීමට අපට සෑම අතින් ම ආශීර්වාද ලැබේ.
ඉදින් මේ ලොව කෙදිනක වෙනස් කරන්න ද? ඔබට මට හැකිනම් මේ තරගයෙන් යම් පමණකට හෝ ඉවත්වන්නට... එදිනට කෙතරම් සැනසීමක් ලැබේදැයි වරක් හෝ අත්හදා බලන්නට මම, ඔබට ඇරියුම් කරමි.
මකුළු පැටවුන් ගිය මානය සොයා ගැනීමට නොහැකි ය. මේ ලොව අනන්ත අපරිමාණ පීඩාවන්ගෙන් වහන් වන්නට සුදුසු තැන් සොයා යන්නට ඇත.