
අසම්මත ආදරය
කිරි සිනාවක කොමල
දවටලා සෙනෙහෙබර අරුම
ගලා ගියේ කුටුම්බය ගී මඟක
දැනී නොදැනී වෙන්ව ගිය නුඹ
පතන විට අසම්මත පෙමක සුව..
ආදරය සොයාගෙන නුඹ ගිය මානය
නොපෙනෙන්න වැසූවත් අඟුලු ලා දොර
විවර කළ කවුළුවෙන් ගලා එන පවන
රැගෙන එයි නුඹ මතකයේ සුවඳ..
අසම්මත මඟ හැරදමා හෙට
එන්ට පුළුවන් නම් කිරි පබළු වැල වෙත...
දොර පියන් හැර ඉඩක් දෙන්නම්
සිප ගන්න ඇය ආදරය වෙනුවෙන්
සබාවක් මැද
ශිරන්ති ජයවීර
හිමිදිරිය කියූ කවි
මුළු රැය මඟුල් ගෙදරක් කළ හඳ හාමී
ගොළු වත රකිද්දී රැස් දහරේ නාමී
අලුයම පැමිණ ඇත සමුගන්නට ආමී
කළුවර මට කියයි මම සෙනෙහස පාමී
රිදී දණ්ඩි පැටවුන් පිරි දොළ පාරේ
හැදී කපුටු ඇහි පෑ දෙගොඩට බේරේ
බිඳී ඉහිර යන කොට පෙණ පිඬු දෝරේ
රැඳී හිඳි ඉවුරේ මීවන තීරේ
දොර වැහැවාට නුඹ ඊයේ හැන්දෑවේ
තරහක් නොගන්නයි මඳහස පෙන්වූවේ
ඉර පායද්දි නොහිතිණි යන්නම් කීවේ
හුරතලෙ බලන්නයි අලුයම මම ආවේ
කවදත් දෙවැට ඉහ පිපි මල් පොකුරු දිගේ
සුවඳයි හමා එන්නේ හදවතට මගේ
නවතිමි එතන සැනසෙමි මොහොතකට වගේ
සුවදායක නිවන මෙහිදැයි විටෙක හැඟේ
මට ඉනු නොහැක දිවයුරු කඳු හිස පූදී
වැටහෙයි මගෙ සිහිල් සළු යනු ඇත සේදී
හෙට එමි යළිත් කළුවර දිය කර පෑදී
පිට වෙමි ඉතින් හමු වෙමි එන අරුණේදී
ජයසිරි රුවන් පතිරණ
ගුරුතුමනි
රටක මුල් පුටුව හිමි වේ රජුට
සිප් හල මුල් පුටුව හිමි වේ ගුරුට
නැණ ගුණ වඩා රජු බිහිකෙරුවෙන් රටට
ගුරුතුම ඔබයි උරුමයි රජ කිරුළ හෙට
විනිවිද දැකිය හැකි සිසුනගෙ හද පතුල
ඔබ කැටපතකි දුර දක්නාවෙක ඇතුළ
බලලා ඒ නෙතින් සිසුනගෙ මන ඇතුළ
දෙන ඔවදන් නිදන් වේ උන් මනස තුළ
ඔබගේ පිහිට පතලා පාසලට එන
දඹරන් වේය දරුවන් ලොව දිෙලන
ඒ දඹ රනින් වටිනා අභරණ තනන
රන් කරු ඔබයි ගුරුතුම මුළු ලොව දිලෙන
සුදත් විජේසුන්දර
ඇමෙරිකා එක්සත් ජනපදය
යැදුම
හොවා ගතිමි මා කොපුල ඈ වත මත
තවමත් උණුසුම්ව සිටියාය ඈ
ඉදින් මම යැද්දෙමි..
ඔබගෙන් අර්ධයක් පමණවත්
යහපත් වන්නට කාරුණික වන්නට
මඟ සැලසුව මැනවී
ඔබ කළ අයුරින්ම
පිරිපුන් ලෙසින් ස්වාර්ථකාමී නොවී
ආදරය කරන්නට ඉඩ දෙනු මැනවි,
වැරදීම් ඉවසුමෙන් දරා ගනිමින්
සිනහසෙන්නට සැලසුව මැනවි
ඔබේ මුළු දිවිමඟ පුරා
දිරියෙන් තුටින් කළ පරිද්දෙන්..
දැඩි සෙයින් වැර වඩමි අම්මේ
ඔබ සම වීමට
පිදිය හැකි උතුම්ම බුහුමන
එයම බැවිනි,
ඔබ වැනි අසිරිමත් අයකුට
අයිලින් සිරිවර්ධන විසින් ලියන ලද “prayer” කාව්‍ය යේ පරිවර්තනයකි දේ.වි ගාල්ලගේ
ප්‍රාර්ථනා
සඳ රැස් විසිරුණු අහස් ගැබේ
පුංචිම තරුවක් වී
වරෙක දිලෙන්නට
යළි සැඟවෙන්නට
මට හැකි නම්...
හමනා සීතල මඳ පවනේ
කඩුපුල් සුවඳක් වී
තැවෙන සිතක සිහිලසින් රැඳෙන්නට
මට හැකි නම්..
උදාවන්න පෙර අරුණලු කැන්
මුතු පිනි බිඳුවක් වී
ඔබ මුදු පා යට පලසක් වන්නට
මට හැකි නම්
මැණික් චන්ද්‍රමාලි වික්‍රමසේකර
දිග පළල
මඳ නල කොතරම්
සොඳුරුදැයි දැනුණේ
චණ්ඩ මාරුතය
හමා ගිය පසුවය
තුසිත රණසිංහ
ඇය
ජීවිත මල් ගොමුවේ පිපි
මගෙ ජීවිතය සුවඳ කළ
එකම එක සුදු මල
මනහර මහින්ද බෙලිගල
අසම්මත හිමිගේ සමුගැන්ම
මිදී මැද පිළිවෙතින්
යෙදී දුෂ්කර චාරිකාවක
ඇදී ගොස් ජීවිතේ පතුලට
සිඳී යයි සමිඳුගේ ජීවය..
ඈවරයි දෑවරයි කියමින්
පන්සලේ කවි කියන විට මම්
නුඹේ කවි මල් පිපුණි මඟ දිග
ගමේ ගස් ගල් දනී ඒ වග...
පවන අරන් එන මඟ සිරිපද සුවඳ
නිවන සොයන් වැඩි යතිවර නුඹ නොවෙද
ගුවන විසල් රැව් නැඟුණිය කළ පබඳ
සවන අගුල් වැටුණා මෙනි හිමි කොහිද
සහෝදර තෙපුල් තම කවි පොතෙහි ලියා
මහෝගයක් සේ ගම්දොර රැඳුණු නියා
බොහෝ සුවඳ පතුරා සිහිවටන තියා
අහෝ සොඳුරු වනපස මල පරව ගියා
විජයරත්න හපුආරච්චි
කඳුළු සටහන
ඔබ එවු
අවසාන හසුනේ
දරුණුම වචන ටික
බොඳ කළා
මා ඇසෙන් වට
කඳුළක්
අමිහිරි
සිහිවටනයක්
කුමට ද
හිතුණත් ආපසු එවන්නට
ආයෙමත් හිතුණා
නොඑව ඉන්නට
ගිලිහුණු කඳුළ වුව
ඔබට නොව
අගින්නේ
මට නිසා
එන්. ඩබ්ලිව්. පී ලාල්
ආයාචනය
කැඩපතින් දුටු මුහුණ
හිතාගන්නට බැහැ ඒ මගේමද
දෑස රතු වෙලා ඉදිමිලා
තඩි ගැහුණු කම්මුල
වේදනාවෙන් ඉකිබිඳී හදවත..
මං මුළා වු සුපෙම් සිතුවිලි
එක් තැන් කරන්නට නොහැකිව
වැලපෙමින් සිටිය දී
ඔහු සිටී වියරුවෙන් කෑ ගසා
මා දමා සිරකොට
සිනාසේ දෙලොවටම ඇසෙන්නට..
පතා ආ කුල ගෙදර
දෙව් බඹුන් චුතව ගොස්
යන්න හිතුවට ඉබා ගාතේ
ඇතිවෙයිද සැනසුමක් මට..
සඳට මුමුනමින් සිටි ඈ
තරුවලට කියන්නේ
'පාර පෙන්වන්න මට
මව වෙත දිව යන්නට'
කමලා ධර්මලතා ජයසූරිය
කඳුළු කතාවක්
සිඟිති පුතෙක් කරපින්නා
බසයෙන් බසයට ගොඩවී
ගිලුණු නෙතින් පවසනවා
කඳුළු කතාවක්..
සිදාදියේ අවන් හලක
ඉදුල් පිඟන් දෙස බලමින්
පෑළ දොරින් එබී බලන
කෙසඟ පොඩි පුතෙක්..
බස් නැවතුම සෙවණ සදා
ඇති එක සුදු ගවුම ඇඳන්
පහන් කණුවෙ මඳ එළියෙන්
අකුරු කරයි පුංචි දුවක්
රත්නපාල වික්‍රමසිංහ
සමුගනිමි සෙනෙහසින්
සමුගනිමි මම ඔබෙන්
පිවිසෙන්න මගෙ ලොවට
ගිලන් වී ඇත මෙමා..
ඔබේ විදිමත් කමින්
ඉගිළ යමි ඈතටම
ඉගිළ යමි කඩිනමින්
ලිහිණීයකු විලාසෙන්
ඔබේ තුරුලට එන්න..
දයාබර මිහිලිය
ලැබ ගන්න ඔබෙ පහස
සැනසෙන්න ඔබෙ උකුෙළ
අපරිමිත සෙනෙහසින්
ඒ. කේ. ඩබ්ලිව් පෙරේරා
සුවඳ මල
පොඩි දුවේ
දෑස විදහා
අර බලාපන්
පොලීතින් කන්ද..
මදුරු කීටයන්
පීන පීනා නටන
පල් වූ වතුර කඩිති
කුණු පිරුණු ලන්ද...
කළු පාට වාහන දුම්
බෝල එකපිට එක
රඟමින් වසා ගෙන
දුක්බර නිල් අහස..
නාසය වසාගෙන
අඩි ඉක්මන් කර වරෙන්
පාළු කඩ විදීවල
මත් බඹර රළ
ප්ලාස්ටික් මල් යාය මැද
හංගාගත් මගෙ සුවඳ මල
සමනල පැටියෙකුට
නෙළා දෙමි විගහට
රුවන්මලී දීපිකා
කළගුණ සැලකුම
කෙත් වතු වවා මේ ලක සරුසාර කළ
ගත සිත දෙකම සවිමත් කොට දිගා කළ
මතු පරපුරට නැණ ගුණ දම් මුදා හළ
අපි හිස නමමු එම වැඩිහිටි දෙපා මුල
පියසේන පතිරාජ
නුඹ
විකසිත වන්නට පෙරම
මිලින කරන්නට
බලා සිටින ලොවක
සැබවින්ම නුඹේ ඉදිරි පියවර
බියකරුය..
මේ විෂම ලොව තුළ
හැකිවේ ද නුඹට නිදහසේ
ඇවිද යන්නට
නිදහසේ..
වෙහෙස විය යුතුව ඇත
අප අද දවසේ
නුඹට..,
නිදහසේ ඇවිද යන්නට
නිදහසේ සිනාසෙන්නට
මඟක් සඳන්නට
අනුෂ්කා දිල්රුක්ෂි
නෙත සිත
රාත්‍රිය සුන්දරය
මනරම්ය චමත්කාරය
පෙනේ නෙතට
රාත්‍රිය අඳුරුය
මූසලය දිගය
දැනේ නිදි නොඑනා
ඇසට නොව සිතට
ජයන්තා රුක්මණි සිරිවර්ධන
(‘සමනල මරණය’ කාව්‍ය සංග්රහයෙනි)
?
ජීවිතය නෙක වර්ණ පෑ
කවියක්ම වීය අපගේ
සොඳුරු ළමා විය
අද කිමද මේ
අපහැදිලි අඳුරක්ව
පරිණත වී ඇති
ලොවට පෙනෙන
ලතා ගුරුසිංහ
බාධකය මඟ හැර
මුලු විශ්වයම ඝෝෂාවකි
මගෙ හුදෙකලාව අතර මැද
ඒ අතරට කුමට ඔබෙ රුව
මඟහැර යන්නට
බැහැ ඔබෙ දෙනෙත
විශ්වය තුළ තනි තිතක්ව
පාව යමි හැම විටම
ඒ හුෙදකලාව මට සැපය
ඒ අතරට මේ ඔබේ රුව ඇයි ද
විශ්වයේ අනන්තය
සොයන්නට දරමි වෙහෙස
ඒ අතරට ඔබෙ දෙනෙත
බාධකයක් වී මගේ ගමනට
සරදම් එපා හැම විටම
පියඹා යන්න වහා
රැගෙන ඔබේ මතකය
පාව යන්නෙමි එවිට
විශ්වය පුරා තනි තිතක්ව
සොයා ගන්න විශ්වයේ
අනන්තය තිබෙන තැන
එම්. කේ. හේරත්
පන්සල් සේල්
බෝපත්වල
සිලි සිලි හඬ පරදා
පිං පෙට්ටියෙ
සිලි සිලි හඬ මට ඇහුණා
තැන්නේ ඤාණානන්ද හිමි
සඳ සාවි
රාත්‍රියට නුඹ යන තැන
සඳ ආවාට
නුඹ පසුපස සඳ එන බව,
සිත සිතුවාට
සඳ කෙදිනකවත් පසුපස
නුඹ නොගියාට
රන් තැටියකි පුන්සඳ
එහි සිටි හාවාට
ඩිලුක්ෂන් පුෂ්පරාජ්
මතක සැමරුම්
පී. බී. අල්විස් පෙරේරා කවියා මහජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් දඹදෙණිය ආසනයට තරග වැදුණේය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ආර්. ඩී. සේනානායකයන්ය. මේ සිද්ධිය අලළා ප්‍රකට නිවේදකයකු ගීත රචකයකු මෙන්ම කවියකු වූ කරුණාරත්න අබේසේකර සූරීන් මේ කවි පෙළ පී.බී. අල්විස් පෙරේරා කවියා වෙත ලියා යවා ඇත්තේය. ඒ 1960 වසරේදීය. මෙි කවි පෙළ අපට හමුවුයේ පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ දියණිය චිත්‍රා අයි. පෙරේරා මහත්මිය සුරකින සිය පියාගේ ලිපි ලේඛන සහිත මතක සටහන් ඇතුළත් ලිපි ගොනුවකිනි.
පී බී
සැළලිහිණියකු වැනි කිවිඳුනි සහෝදර
මේ කවි ලීෙව ගති හින්දයි හිතාදර
උවමක් කියමි දුර හැර හිත අනාදර
සටනක් වගෙයි චූූලෝදර මහෝදර
පිළිගන්නට එපා හිතවත් අයගෙ බැනුම්
සොහොයුරු කිවිඳ ඔබ පිළිබඳ කුමන වැනුම්
රට දන්නවා ඔබගේ රඟ මනින මිනුම්
අත ළඟ පෙනේ ඔබගේ රන් කණුව දිනුම්
දාහක් වුණත් දෑතට ගෙන තනි තනිය
බිම පෙරළන්න හැකි ඔබ බන්දුලය
අඩ පණ කොට දමා නැග එන බළ ඇණිය
ඔබ ජය වී වපුරවන කෙත දඹදණෙිය
කවියට හිත යොදා සරුවට වැඩුණු ෙමාළේ
කළු ගල් කඩන කුළු ගෙඩියකි ඉහළ පෙළේ
ඔබ ඉදිරියට ගිය කළ ඇතුගලද සැලේ
සොහොයුර පෙන්වනු මැන කවියෙකුෙග බලේ
අපගේ කලා ලොව ගනඳුර මකාපන්
සිංහල සිරිත විරිතට පණ පොවාපන්
රෙද්දයි බැනියමයි පෙරමුණ තියාපන්
මැති සබයෙහිද හිටිවන කවි කියාපන්
දිනුවොත් හේම අංගංගල අපගෙ ඇතු
පැනයක් පැන නඟී විසඳන පිණිස මතු
පාරලිමේන්තුව තුළ ඔය බරට නතු
පුටුවක් අමුතුවෙන් මිනිහට හැදිය යුතු
මොනවා කවියෙකුට ඔය වැඩ බැරි මන්ද
මිනිසුන් දඹදෙණියෙ බීරිද නැහැ අන්ද
මහජන උදව්වෙන් ජයගනු පුළුවන්ද
කොළඹින් කී දහක් ඕන ද හොර ඡන්ද
කරුණාරත්න අබේසේකර
දයාබර කවි කිවිඳියනි, අපේ පැරණි කවියන් පිළිබඳ මෙවැනි සොඳුරු මතකයන් ඔබ සතුව ඇත්නම් ඒවා අපට එවන්න.
ඉසවි
කවි කල්පනා, සත්මඬල,
සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්, කොළඹ 10.