
කුඩා ළමයින්ගේ විනෝදාස්වාදය හා කුසලතා වර්ධනය කිරීම සඳහා කුඩා කල පටන්ම ඔවුන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත කරවනවා. ඒ අතරින් කුඩා ප්ලාස්ටික් කොටස් එකට එකතු කර නිර්මාණ කිරීම, එනම් අපි ඉංග්‍රීසි බසින් හොඳින් හඳුනන Building Blocks (බිල්ඩින් බ්ලොක්ස්) සමඟ ක්‍රීඩා කිරීම අපේරටේ ළමයින් අතර පවා ජනප්‍රියයි. මෙම ක්‍රීඩා උපකරණ සෑදීමේ ප්‍රමුඛයා වන්නේ ඩෙන්මාර්කයේ ලෙගෝ ආයතනයයි.
වසර ගණනාවක සිට ලෙගෝ නිෂ්පාදනය හා අලෙවිය මොවුන් සිදුකරනු ලැබූවත් මොවුන්ගේම කියා විශාල ප්‍රමාණයේ ප්‍රදර්ශනාගරයක් විවෘත කරනු ලැබුවේ මීට සති දෙකකට පෙරදීය. ලෙගෝ ආයතනයේ මූලස්ථානය පිහිටා තිබෙන ඩෙන්මාර්කයේ කුඩා නගරයක් වන බිලන්ඩ් නගරයේ ඉදිකරනු ලැබූ ‘ලෙගෝ නිවහන’ ගැන තමයි අද මෙම පිටුවෙන් තොරතුරු ගෙන එන්නේ.
වර්ග අඩි 130,000 ක් පුරා පැතිරුණු මෙම ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට විශාල ලෙගෝ කොටස් 21 කින් සෑදූ ගොඩනැගිල්ලක් ලෙසින් පෙනෙන්නට තිබෙන්නේ යාබද පිහිටි ගුවන් තොටුපොළට පැමිණෙන මගීන්ට ගුවන් යානයේ සිට මෙම ගොඩනැගිල්ල දිස්වන නිසයි. මෙම ගොඩනැගිල්ලේ තිබෙන විශේෂත්වය වන්නේ ගොඩනැගිල්ල තුළ තිබෙන සෑම දෙයක්ම ලෙගෝ කොටස් වලින් නිර්මාණය කර තිබීමයි. මේ සඳහා ලෙගෝ කොටස් මිලියන 25 ක් යොදාගෙන ඇති අතර එයින් වැඩිපුරම ලෙගෝ කොටස් වැයවී තිබෙන්නේ ගසක් නිර්මාණය කිරීමටයි.
අඩි 50 ක උසින් යුතු නිර්මාණශීලීත්වයේ ගස යනුවෙන් හඳුන්වනු ලබන මෙම නිර්මාණය ඉදිකර තිබෙන්නේ අතීතයේදී ලෙගෝ කොටස් ලී වලින් නිමවා තිබීම සිහි කිරීමටයි. ලෙගෝ කොටස් මිලියන 6.3කින් නිර්මාණය කර තිබෙන මෙම ගස ලෙගෝ නිවහනේ මැදට වන්නට පිහිටා තිබෙනවා.
මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා තවත් නිර්මාණයක් වන්නේ යෝධ ඩයිනෝසරයන් තිදෙනායි. දැඩි පරිශ්‍රමයක් දරා අලංකාරව නිර්මාණය කර තිබෙන මෙම අඩි 10 ක් උසැති ඩයිනෝසරයන් තිදෙනාම ඈතින් බැලූ විට ලෙගෝ කොටස් වලින් නිර්මාණය කළා යැයි නොසිතෙන තරම්.
මෙම ගොඩනැගිල්ලේ නිල් පැහැති ප්‍රදේශය ලෙගෝ රේසින් කාර් නිර්මාණය කිරීමට ඒවා අනිකුත් අය නිර්මාණය කරන් ලද කාර් සමග තරග වැදීම, දුම්රිය මාර්ග හා දුම්රිය නිපදවා ඒවා ගමන් කරවීම හා රොබෝවරුන් නිර්මාණය කිරීමට කුඩා දරුවන්ට අවස්ථාව ලබා දෙයි. කොළ පැහැති ප්‍රදේශයේදී කුඩා මිනිසුන් සාදා එම මිනිසුන් යොදාගෙන කුඩා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
කහ පැහැති ප්‍රදේශය ලෙගෝ වනාන්තරයක්, මල් වත්තක් හා මුහුද යට නිර්මාණ සිදු කිරීමට හැකියාව තිබෙන අතර මේවාට අමතරව මෙම ගොඩනැගිල්ලේ වහළයට අයත් කොටස් හි කුඩා දරුවන්ට විනෝද විය හැකි කුඩා සෙල්ලම් උද්‍යාන තනා තිබෙන්නේ නොමිලයේ වුවත් පැමිණ ක්‍රීඩා කළ හැකි ලෙසයි.
මෙම ගොඩනැගිල්ලේ තවත් සුවිශේෂී ආකර්ෂණයක් වන්නේ ලෙගෝ අවන්හලයි. සම්පූර්ණ ස්වයංක්‍රීය අවන්හලක් වන මෙහි ආහාර ඇණවුම් කිරීමට නම් ලෙගෝ කොටස් වලින් අපට අවශ්‍ය ආහාරයේ කේතය සාදා මේසය මත සිටිනා කුඩා රොබෝවරයාට ලබාදිය යුතුයි.
I pad ටැබ්ලටයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම කුඩා රොබෝවරුන් ආහාරය හඳුනාගෙන එය නිර්මාණය කිරීමට කුස්සිය වෙත පණිවිඩය ලබාදේ. පිසූ ආහාර රොබෝවරුන් මඟින්ම බෙදාදීම සිදු කරනු ලබන අතර. බීම වර්ග පිළිගැන්වීමට නම් මනුෂ්‍යන් කිහිපදෙනකු උදව්කරුවන් ලෙසින් අවන්හලේ සේවය කරනු ලබයි. ලෙගෝ සමාගමේ ප්‍රධානියා පවසන්නේ ලෙගෝ කොටස් යනු සෙල්ලම් භාණ්ඩයකට එහා ගොස් තිබෙන ළමයින්ගේ චින්තන හැකියාව හා නිර්මාණශීලීත්වය වර්ධනය කරනා මෙවලමක් බවයි.