
මේකත් ඒ වගෙ
“විමල් මහත්තයා සාහිත්‍ය කාරයෙක් විදියට කරන්නෙ කවි ලියන එකනෙ. ඉතින් ඇයි ඔය නාට්‍ය, නැටුම් වගෙ දේවල් විනිශ්චය කරන්ඩත් භාර ගත්තෙ? ඒවා තමන්ට අයිති නැති, තමන් ඒ තරම් නොදන්න දේවල් නේද? දයාපාල ඇසුවේ නැටුම් සහ නාට්‍ය විනිශ්චයක් සම්බන්ධයෙන් පැන නැඟුණු අර්බුදයකින් පසුව ය.
“ඇයි දයාපාල තමුසෙ දැකලා නැද්ද ඔය හුඟක් දේශපාලනඥයෝ තමන්ගෙ බල ප්‍රදේශයෙන් පිට ආසනවලට හිස පොවලා දේශපාලන වැඩ කරන්ඩ ගිහින් පොට වරද්දා ගන්නවා. මට වුණෙත් ඒකම තමයි.” විමල් කීවේ පශ්චත්තාප වෙමිනි.
ඒක ලොකු සේවයක්
“මම හිතන්නෙ දයාපාලගෙන් මේ රටේ නාට්‍ය කලාවට වැඩිම සේවයක් වුණේ මේ පහුගිය අවුරුද්දක වගෙ කාලයෙදි තමයි” නාඔටුන්න, සෙනෙවි හට කීවේ ළමා නාට්‍ය උලෙළේ නාට්‍යයක විවේක කාලයේදී ය.
“ඇයි බං උඹට ඔල්මාදෙ ද? මිනිහා පුතාව බලන්ඩ පිටරටකට ගිහින් පසුගිය අවුරුද්දෙම ලංකාවේ හිටියෙ නැහැනෙ. ඉතින් ඔය මුළු කාලෙම මිනිහා නාට්‍ය කලාවට සම්බන්ධ මුකුත් තළෙන් නැහැනෙ” සෙනෙවි කීවේය.
“හරි ඉතින්. එහෙම මුකුත් නොකර හිටිය එකම නාට්‍ය කලාවට කරපු කොයි තරම් ලොකු සේවයක් ද?” නාඔටුන්න කීවේ සෝපහාසි ස්වරයකිනි.
ඒක මිසක්
“කසාද ගෑනු දෙන්නෙකුයි, තව අනියම් භාර්යාවෝ දෙන්නෙකුයි එක්ක පවුල් කාපු මනුස්සයෙක් කෝච්චියට බෙල්ල තියල මැරිලලු” සති අන්ත පුවත්පතක් කියවමින් සිටි බිරිය තම සැමියා දෙස බලා කීවා ය.
“අපරාදෙ! පව් නේද?” සැමියා කීවේ තමා කරමින් සිටි කාරිය නවතමිනි.
“තමුසෙ ඊට හපන්නෙ. ඇයි මනුස්සයෝ ඔය වාගෙ අසමජ්ජාතියකුට අනේ අපොයි කියන්ඩ පුළුවන්ද?” බිරිය කීවේ කෝපයෙන් තම සැමියා දෙස රවා බලමිනි.
“කොහෙද ඉතින් තමුසෙ වලිගෙ පාගා ගත්තනෙ.
ඔය මිනිය අයින් කරලා කෝච්චිය එතැනින් එහාට යන්ඩ පැයක් හමාරක් පරක්කු වෙන්ඩ ඇතිනේ. කෝච්චියෙ ගිය මිනිස්සු ගෙවල්වලට යන්ඩ පරක්කු වුණු එක අපරාදෙ කියලයි මම කිව්වේ” සැමියා කීවේ ය.
ඒක අහන්නත් දෙයක් ද?
“නුවර පැත්තෙ මනමාලියෙක් ගිනස් වාර්තාවක් තියන්ඩ දිගට දිගේ ඔසරි පොටක් තියෙන මංගල සාරියක් ඇඳලා. ඒක අල්ලගෙන ගිය ඉස්කෝලෙ ළමයි වැටුණේ ලොකු අමාරුවක නේද?” නාඔටුන්න සෙනෙවි ගෙන් ඇසුවේ අවන්හලකට වැදී මීවිතක රස බලමින් සිටියදී ය.
“ඒක අහන්ඩත් දෙයක් ද බං. දැන් ඔය අපේ පවුලට කසාද බැන්ද දවසෙ ඉඳලා එයාගෙ ඔසරි පොට අල්ලාගෙන, හරියට කොටි වලිගෙ අල්ලගත්තා වගෙ මං වැටිලා ඉන්නෙ සුළුපටු අමාරුවක ද?” සෙනෙවි සිනාසෙමින් කීවේ නැවතත් තම වීදුරුව පුරවා ගනිමිනි.
උණ ගැනුණේ එතෙකාට
“අනේ බලන්ඩකො දොස්තර මහත්තයෝ, අපේ මහත්තයට සහලවලා උණ ගැනිලනෙ.” රෝගී සැමියා සමඟ වෛද්‍යවරයකු වෙත ගිය බිරිය කීවේ කම්පාවෙනි.
“කවද ද ඔය උණ ගතිය මුලින් ම ඇතිවුණේ?” ලෙඩා පරීක්ෂා කිරීම අරඹමින් වෛද්‍යවරයා විමසී ය.
“අපේ මහත්තයා මෙදා පාරේ ප්‍රාදේශීය සභා ඡන්දෙට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්ඩනෙ ඉන්නෙ. ඡන්දෙ අනිවාර්යයෙන් ම ලබන ජනවාරි වෙන කොට තියෙනවයි කියල ආණ්ඩුව පොරොන්දු වුණා කියල ටීවී එකේ ප්රවෘත්ති වලට කියනවා අහගෙන ඉඳපු වෙලේ තමයි මුලින් ම මෙයාට උණ ගැනුණේ” බිරිය කීවා ය.