සමීප රූප | සිළුමිණ

සමීප රූප

ඉන්ද්‍රචාපගේ සමීපරූපය මෙවර වැසී යන්නේ ශ්‍රී ලංකා සිනමා වංශ කතාවේ මෙතෙක් හොඳ නමක් ලියාගෙන ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගෙ මුහුණින්. ඔහු උදය කාන්ත වර්ණසූරිය. 1997 දී විතර චිත්‍රපට හදන්න පටන් ගන්නෙ මහමෙර උසට බලාපොරොත්තු තියාගෙන.

ඒවා ටික ටික ඉෂ්ට සිද්ධ වෙච්ච බව ඉන්ද්‍රචාප දකිනවා, 2017 විතර වෙනකල් හදපු චිත්‍රපට ලැයිස්තුවෙ සමීපරූපෙ දකින කොට. විසිගණනක් චිත්‍රපට අතරෙ ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර අනිවාර්යයෙන් ම තියෙන චිත්‍රපට කීපය මේ.

ගිනි අවි ගිනි කෙළි, බහුභාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, යකඩ පිහාටු, හිරිපොද වැස්ස, රන්දිය දහර, ආසයි මං පියාඹන්න. අලුත් ම චිත්‍රපටය තමයි වස්සානයේ සඳ. පහුගිය සතියෙ සැන්දෑළුක තරංගනී සිනමා ශාලාවෙදි උදය කාන්තගෙ අලුත් ම චිත්‍රපට දෙක තවම තිරගත නොවුණු මධුර චාරිකා සමඟ වස්සානයේ සඳ සමීපරූප අතරට එකතු වුණා.

කාටුන් චිත්‍ර ශිල්පියෙක් චිත්‍රපට අධයක්ෂවරයෙක් වෙච්ච පළමු වතාවද කියලා ඉන්ද්‍රචාප දන්නෙ නෑ. ඒත්, උදයකාන්තගෙ වස්සානයෙ සඳ චිත්‍රපටයෙ වුණත් පරණ චිත්‍රශිල්පියාගෙ රූප රාමු නිර්මාණය අපූරුවට සමීප රූපයට අහුවුණා.

කිසිම සැකයක් නෑ උදයකාන්ත ඉතා හොඳ කතා රචකයා රූපරාමු නිර්මාණය කරන්නා, අලුත් නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙමින් සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් කැන්දාගෙන ඒමට පුළුවන් වර්ගයේ චිත්‍රපට හදන්නා. මැද මාවතේ චිත්‍රපට හදපු එච්.ඩී. ප්‍රේමරත්නගෙ හෙවණැල්ල ද උදය කාන්තගෙ සමීප රූපය අතරින් පේන්නෙ කියන තරමට උදය කාන්තගෙ, ජනප්‍රිය සිනමා කලාව කැපී පෙනෙනවා.

චිත්‍රපට කලාව කර්මාන්තයක් එක්ක බැඳුණු එකක් බව අපට අමතක කරන්න බැරි කාරණයක්. ප්‍රබුද්ධ, කලාත්මක, විදග්ධ වගේ වචනවලින් හඳුන්වන්න පුළුවන් චිත්‍රපට විතරක් නම් මේ රටේ සිනමාව කියන්නෙ, සිනමා ශාලා වැහිලා යාවි, දැනටත් වඩා අධි වේගයෙන්. ඒත් වස්සානේ සඳ වර්ග‍යේ කතාන්දර සිනමාව අපිට තරමක් හෝ ඕන කියලයි ඉන්ද්‍රචාප හිතන්නෙ.

උදයකාන්තට මේ සිනමාවෙ සීමාවන් අහුවෙලා. අනුවේදනීය කතා, තරුණ තරුණියන්ගෙ ප්‍රේම සම්බන්ධතා, ඉහළ මධ්‍යම පන්තියෙ ජීවිතය, ලංකාවෙන් බැහැර සුන්දර දර්ශන, ජනප්‍රිය ඒ වගේ ම බොළඳ නොවන ගීත, සංගීතය, නළුවරණය තුන්වැනි පංතියෙ විහිළුතහළු, අසභ්‍ය දෙබස් ජවනිකා රිංගවලා ප්‍රේක්ෂකයන්ගෙ පසුම්බියට විදින වර්ගයේ ලක්ෂණ නැති චිත්‍රපට හැදීමේ දක්ෂයා උදයකාන්ත වර්ණසූරිය බව වස්සානයේ සඳ සමීපරූපයෙන් ආපහු ඔප්පු වෙනවා. ඉන්ද්‍රචාප කලින් ම සඳහන් කළ චිත්‍රපට අතරෙ, කලාත්ම ගුණය, සිනමාත්මක ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබුණු චිත්‍රපට කීපයක් ම තියෙන වග තමයි ආපහු මතක් කරන්න වෙන්නෙ.

මධුර චාරිකා, උදයකාන්තගෙ මෙතෙක් හදපු චිත්‍රපට ලැයිස්තුවෙ සමීපරූපවලට ළං නොවෙන වර්ගයේ නිර්මාණයක්. වාණිජ්‍ය හා කලාව අතර පවත්වගෙන ආපු සමබරතාවයෙන් සම්පූර්ණයෙන් ම මිදිලා, කලාත්මක නැත්නම් සිනමානුරූපී අත්දැකීමක් කියන්නට ද ඔහුට ඕන වුණේ මධුර චාරිකා මගින්? ඉන්ද්‍රචාපට දැනුණෙ, එහි දී උදයකාන්ත අසාර්ථක අධ්‍යක්ෂවරයෙක් වුණු බවයි.

මධුර චාරිකාවෙ කතාව, තිර රචනය, චරිත, විශ්වසනීයත්වයෙන් ඈතයි. ව්‍යාජයි. චිත්‍රපටයෙ ප්‍රධාන නළුවා හේමසිරි ලියනගේ, පැරැණි චිත්‍රපට නළුවකුගේ අතීත වර්ජනවලට යන‍කොට අස්වාභාවික ගතියක් පේනවා. 68 වැනි සිනමා සංවත්සර උලෙළ රූප රාමු හා උලෙළ දුර්වල රූපාවලියක්. කිසිම දවසක කොළඹට නොආපු කුඩාදරුවකු සමඟ වැඩිහිටි පියෙක් කොළඹ ගමනකට එවන තැන පටන්ම කතාව විශ්වසනීයත්වයෙන් ඈතට යනවා.

අමාරුවෙන්, ආයාසයෙන් ගොඩ නගන්න උත්සාහ කරන කතාව ලිහිලා විසිරිලා යනවා. මියගිය නළුවාගෙ අවමඟුලට රාජ්‍ය අනුග්‍රහය යන බැනරය, බලෙන් ඔබ්බවපු එකක්. ඒ වගේ නළුවකුගෙ ජීවිතය පිළිබඳ නරඹන්නන්ගෙ අනුකම්පාවක් කනගාටුවක් ඇතිකරවන්න උදයකාන්තගෙ තිර රචනය සමත් වෙන්නෙ නෑ.

වස්සානේ සඳ සමීපරූපයෙ ඇ‍ඳෙන්නෙ උදයකාන්තගෙ තවත් ජයග්‍රාහී නිර්මාණයක් විදියට. බොළඳ, ඒ වගේ ම අභව්‍ය සිද්ධීන් ගහණ වුණත්, කතා රසය, ගීත, සංගීතය රඟපෑම් තුළින් ඉන්ද්‍රචාපට පෙනුණෙ උදයකාන්තෙග දක්ෂ අධ්‍යක්ෂණය. පියුමි හංසමාලා නිළියගෙ රඟපෑම් ශක්‍යතා උදයකාන්තා අපූරුවට මතු කර ගන්නවා.

අනුජ් රණසිංහ නළුවගෙ රඟපෑම, එකවරම යටයන්නෙ ඇන්ජලෝ සන්ජීව් (ගුවන් නියමුවා) ගෙ කෙටි රංගනයෙන්. ඉන්ද්‍රචාපට නම්, හැබෑ නළුවා ඔහු. ඇන්ජලෝ. ඔහුට චරිතයට ගැළපෙන තාරුණ්‍යය, කතාබහ, අභිනය අපූරුවට පිහිටල තිබුණා.

‘පියුමි හංසමාලා’ ගෙ පළපුරුදු රංගනයට ඉන්ද්‍රචාප කැමැති වුණත් ඉන්ද්‍රචාපගෙ හිත හොරගත්ත නිළිය සිඩ්නි නගරයෙ පෙම්වතිය ඕෂධී හිමාෂා. ඕෂදී සිංහල සිනමාවට දක්ෂ තරුණ නිළියන් හොයන අධ්‍යක්ෂවරුන්ට නිවැරැදි ආයෝජනයක් බවයි ඉන්ද්‍රචාපට හිතුනෙ. උදයකාන්තගෙ වස්සානයේ ස‍ඳෙස් මධුර චාරිකාව වැසී ගියාද කියල ඉන්ද්‍රචාප කල්පනා කරනවා. 

Comments