බටහිර අහසට මිනිස්සු බනිනවා නම් මම කැමැතියි | සිළුමිණ

බටහිර අහසට මිනිස්සු බනිනවා නම් මම කැමැතියි

ඔහු ගැන අටුවා ටිකා අවශ්‍ය නොවේ. ලංකාවේ සිටින සාර්ථකම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ටෙලි නාට්‍ය කලාවේ ඉතිහාසයට සිය නම මේ වන විට එක්කොට හමාරය. චාමර ජනරාජ් පීරිස් තාරුණ්‍යය,නිර්මාණාත්මක හැකියාව,තාක්ෂණය අතර අද පෙර ගමන්කරුවෙකි. මේ වන විට ඔහු තම නවතම නිර්මාණ කටයුත්ත ‘ත්‍රිමාණ‘ ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණ සිටියි. ඔහු සමඟ යෙදෙන මේ කතාබහ ඒ වෙනුවෙනි.

විවේකයෙන් මිදිලා ඔබ යළිත් අලුත් වැඩ රැසක් පටන් අරන්?

මේ දවස්වල නැවතත් මම තරමක් කාර්යබහුලයි. ඩයලොග් ආයතනයෙන් අලුත්ම ඇප් එකක් හඳුන්වා දුන්නා 'විනෝදේ' කියලා. එහි මගේ නවතම ටෙලි නාට්‍යය 'ත්‍රිමාණ' විකාශය වෙනවා.

මොකක්ද මේ 'විනෝදේ'-'ත්‍රිමාණ'කියන්නේ?‍

'විනෝදෙ' කියන්නේ ලංකාවට අලුතෙන්ම හඳුන්වාදෙන ඇප් එකක්.ලෝකෙ වෙනස්වෙලා තිබෙනවා පුදුම විදිහට. 'විනෝදේ' ලංකාවට අලුත් හඳුන්වාදීමක් වුණත් වෙන රටවල තිබෙනවා 'නෙට් ෆ්ලික්', 'අයි ෆ්ලික්ස්'වගේ ඇප්. මේ නිසා ටෙලි විෂන් කියන එක අංක දෙකට ඇවිත් තිබෙන්නේ. ටීවී එකට උඩින් ඉන්නේ අන්තර් ජාලය. මේ නිසාම අපිට හිතන්න පුළුවන් ඉදිරි වසර 2, 3 තුළ මිනිස්සු කිසිම දෙයක් ටීවී එකෙන් නොබලන තැනට පත්වේවි කියලා. ලංකාවේත් තත්තවය මේකයි. ලංකාව ජාත්‍යන්තර මට්ටමට ළඟාවී තිබෙනවා.

මේ වෙනකොට ත්‍රිමාණට ලැබෙන ප්‍රතිචාර?‍‍

මගේ ටෙලිනාට්‍යයත් පළවෙනි 5 අතරට ඇවිත් තිබෙනවා. කිසිම ප්‍රසිද්ධියක් නොදී තමයි ඒ. නුදුරේදීම එය පළවෙනි තැනට පත්වේවි කියලා හිතනවා.

'ත්‍රිමාණ' නාට­්‍යයේ තේමාව?

මෙය ඇඩ්වටයිසින් ඒජන්සියක් වටා ගෙතෙන කතාවක්. ඔවුන්ගේ පළවෙනි අරමුණ තමයි තමන්ට ලැබුණු ප්‍රඩක්ට් එකක් ලංකාවේ අනිත් අයට වඩා හොඳට මාකට් කරන්නේ කොහොමද කියන එක. මේ ආකාරයට මේ මාකටින් එකට අලුතෙන් එන අධ්‍යක්ෂවරයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිමත් එක්ක ඇඩිවර්ටයිසින් ඒජන්සියේ ඇතිවෙන වෙනස්කම් සහ එහි සිටින ගැහැනු ළමයින්ට ඇතිවන ප්‍රශ්න වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ආදරය එක්ක යන කතාවක් තමයි 'ත්‍රිමාණ කියන්නේ.

එතකොට 'බටහිර අහස'?‍‍

එයත් මගේ අලුත්ම ටෙලි නිර්මාණයක්. 'හිරු 'නාලිකාවේ විකාශය වෙනවා.මේ වන විට බටහිර අහස ටෙලි නාට්‍යයේ කොටස් 15ක් පමණ නිර්මාණය වී අවසන්. ආදරය,විවාහය,අතර දෝලනය වෙන කතාවක්. එක තරුණියක් හා තරුණයන් දෙදෙනෙක් වටා යන කතාවක්. මේ කතාවට මිනිස්සු මට බණිනව නම් මම කැමැතියි.

ඔබ එහෙම කියන්නේ ඇයි?

මම කැමැතියි ප්‍රේක්ෂකයා මට බණිනවා නම්. මොකද මම මට තිබෙන නිර්මාණ පිපාසය නිසා බැණුම් විතරක් නෙමෙයි ලක්ෂ ගණනක් වියදම් කර නිර්මාණය කළ ටෙලිනාට්‍ය පවා තහනම් කරගත් අධ්‍යක්ෂවරයෙක්.

ඔබ නිර්මාණය කළ 'බ්ලූ'නාට්‍යයට මොකද වුණේ?

එයට හරියන වෙලාවක් හා එයට සරිලන නාලිකාවක් මට හමුවුණේ නැහැ. මට හම්බවුණු නාලිකාවල ට එය ගැලපෙන්නේ නැහැ වගේම ඒ අය කියන ගණන්වලට ඒ නාට්‍යය හදන්න බැහැ. ඒ හින්දා තව දුරටත් මම ඒක තියාගෙන ඉන්නවා. මම අපහසුතාවයකින් පෙළෙන්නේ නැහැ අනේ මට ඒක කරන්න ලැබුණෙ නැහැ කියලා.

ඔබ චිත්‍රප‍ටයක් නිර්මාණය කරන්නත් සූදානම්?‍

ඔව්. මේ වසරේ අගදී එයත් පටන් ගන්න සැලැසුම් කර තිබෙනවා. ෆ්ලොට් දෙකක් තිබෙනවා. එයින් අඩු බජට් එකක් යන චිත්‍රපටය මුලින්ම කරන්න හිතාගෙන ඉන්නවා.

මේ නිර්මාණ කටයුතුවලට ඔබ අනුභූතීන් උකහා ගන්නේ කොහොමද?

මම දෙස් විදෙස් නිර්මාණ සමඟ කටයුතු කරනවා. ඒවා නිතරම අධ්‍යයනය කරනවා. මට හරි දුකයි මම ලංකාවේ ඉපදුණු එක ගැන. මොකද මට වඩා සෑහෙන අඩුමට්ටමේ නිර්මාණ හැකියාවන් තිබෙන මිනිස්සු අද වන විට දෙස් විදෙස් ප්‍රවීණ අධ්‍යක්ෂකවරු වෙලා ඉන්නවා. නමුත් සිනමාව අපේ රටේ කඩා වැටිච්ච කර්මාන්තයක් නිසා අපි ශ්‍රී ලාංකිකයො වීම නිසා කිසිම අවස්ථාවක් නැහැ ඒ වගේ දෙයකට යන්න. නමුත් මගේ අරමුණ හොලිවුඩ් ගිහින් හොලිවුඩ්වලට චිත්‍රපටයක් කරලා එහි අධ්‍යක්ෂවරයෙක් බවට පත්වීමයි. මොකද මම අනිත් හැමදේකින්ම සම්පූර්ණයි. ටෙලි නාට්‍ය සඳහා හොඳම අධ්‍යක්ෂවරයා ලෙස රාජ්‍ය සම්මානය මම ලැබුවා. සුමති,රයිගම් සම්මාන හිමිවුණා. ඇගයීම් තිබෙනවා. මිනිසුන්ගේ ප්‍රතිචාර තිබෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කරන්නට මට හැකි වුණා. දැන් මට මේ කලාවෙන් මිදිලා චිත්‍රපට කලාවට පිවිසෙන්න කාලය ඇවිත්.

ඔබේ පියා ජනදාස පීරිස්,ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඒ මඟ යන්න හිතුණෙ නැත්ද?

මට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ පියා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණු එක. ඒ හින්දා මම මොනවා කළත් අන්තිමට කට්ටියම කියනවා ඔය ඉතින් පීරිස් මහත්තයාගේ පුතානේ කියලා. ඒ ක්‍රෙඩිට් එක නිකම්ම තාත්තට යනවා. ඒ නිසා මම දැන් මටම ආවේණික ක්ෂේත්‍රයක් හොයාගෙන තිබෙනවා. එය අපේ පවුලේ, පරම්පරාවේ කිස­ිවෙක් නොකළ දෙයක්. කලා ලෝකයේ මම දැන් නමක් වගේම මගේම අනන්‍යතාවයක් හදාගෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. කවුරු හරි කෙනෙක් මා ගැන මෙහෙම කියනවා නම් 'චාමර පීරිස් ඌ හොඳ වැඩකාරයා. මොකක්ද මචන් උගේ බැක් ග්‍රවුන්ඩ් එක. එයාගේ තාත්තනේ ලංකාවේ හිටපු ප්‍රවීණ මාධ්‍යවේදී ජනදාස පීරිස්. ඒ වගේ පුතත් ගමනක් ඇවිල්ලා. ' කියලා ඒක තමයි මගේ සතුට.

වත්මන් ටෙලි නාට්‍ය කලාව ගැන ඔබේ අදහස?

ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ ටෙලිනාට්‍යවල පැවැත්ම පසුගිය අවුරුදු දහය ඇතුළත සීග්‍රයෙන්ම විනාශවෙලා ගිහින් තිබෙනවා. එයට හේතුව ලංකාවට ආපු බාහිර ටෙලිනාට්‍ය නිසා. 'ඔෂින්' වගේ ඒවා හින්දා නෙමේ. ඉන්දියානු ටෙලි නාට්‍ය නිසා. ඉන්දියාව කියන්නේ ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්න රටක්. ඉන්දියාවෙ විතරක් නෙමේ ඒ රටේ මිනිස්සු තව ලෝකෙ රටවල් ගණනාවක ඉන්නවා. මේ ඔක්කොම කතා කරන්නේ හින්දි. හැබැයි ඉන්දියාවෙ වැඩි හරියක් ජනතාව ලංකාවෙ මිනිස්සු වගේ නෙමෙයි. ඒ අයගේ අකුරු ලිවීමේ හැකියාව දැනුම අඩුයි. ඉන්දියාවේ ටෙලි නාට්‍යයක් හැදුවම ඒක ඉන්දියාවෙ ඉන්න කෝටි 200ත් බලලා වෙනත් රටවල අයත් බලනවා. ඒ නිසා ඒ නාට්‍ය එක්ක අපිට ගැටෙන්න බැහැ.අපේ නාට්‍ය බලන්නේ මේ පුංචි රටේ ඉන්න ලක්ෂ හතළිහක් වගේ පිරිසක්.

අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ තෘප්තිමත්ද?

ඔව්.අධ්‍යක්ෂවරයෙක් විදිහට මම තෘප්තිමත්. මම හිතනවා මම ඉන්නේ මගේ සීමාව තුළ.

පියෝ ටී.වී ඔස්සේ විකාශය වන Knowlege T.v හි ඔබේ වැඩසටහන් සඳහා ලැබෙන ප්‍රතිචාර ?‍‍

එය වෙනස්ම ආරක වැඩසටහන් තිබෙන නාළිකාවක්. විකල්ප අධ්‍යාපනය වෙනුවෙන් කැප වි සිටින නාළිකාවක්. බොහෝ දෙනෙක්ගෙන් මෙහි වැඩසටහන් සඳහා ප්‍රතිචාර ලැබෙනවා. එත් මේ වැඩසටහන් සඳහා බොහෝ විට විශාල මුදලක් වැයවෙනවා.

අද රූපවාහිනි මාධ්‍ය නාළිකා යම් අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. ඔබට නාළිකාවක් බාරගන්න අවස්ථාවක් ලැබුණොත් එය පිළිගන්නවද? ඔව්. ඒ සඳහා සැලැසුම් විසඳුම් සියල්ල මා ළඟ තිබෙනවා. වැටී ගිය නාලිකාවක් ගොඩ ගන්න මට මාස හයක් වුණත් ඇති.

 

Comments