
මුදල පසුපස හඹා නොගොස් මිනිසුන් පසුපස හඹා යමින් ගායන ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යෑමට වෙර දරන නැගී එන යොවුන් ගායකයකු ලෙස ධනංජය චන්දිමාල් රූපසිංහ තරුණයා හැඳින්විය හැක. හොඳ ගණයේ සාරගර්භ ගීතවලින් ගායන ක්ෂේත්‍රය බැබළවීමට සිහින දකින වත්තල ප්‍රදේශයේ වෙසෙන ධනංජය, තවමත් 22 වැනි වියෙහි පසුවන ළාබාල තරුණයෙකි. එහෙත් සිය දක්ෂතාවන් සේම පියාගෙන් ලැබුණ ආභාසයද පෙරටු කොටගෙන ගායන ක්ෂේත්‍රයේ නවකයකු ලෙස හොඳ නමක් හදා ගැනීමට වෙර දරන ධනංජය රසඳුන සමඟ කළ කතාබහයි මේ.
නවකයකු ලෙස ගායන ක්ෂේත්‍රයට පිවිසීමට වෙර දරන ධනංජයගේ වර්තමාන වැඩ කටයුතු කොහොමද?
මගේම සින්දුවක් කළා ‘මා නුඹ නමින්’ කියා. ඒකේ විෂුවල් සීඩී එක නුදුරේදීම නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම නව සංගීත බෑන්ඩ් එකකුත් එළිදැක්වීමට සූදානමක් තියෙනවා ‘ඔන් බැක්’ නමින්. එහි ප්‍රධාන නියාමක ගායකයා ලෙස කටයුතු කරන්නේ මමයි.
ඊට අමතරව ඔබ වෘත්තියක් වශයෙන් නියැළෙන්නෙ...
මෙහෙමයි මම ක්ෂේත්‍රයට නවකයකු වුවත් මගේ වෘත්තිය ගායනය. මට බොහෝ එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වීමට ආරාධනා ලැබෙනවා. ඒක තමයි මගේ වෘත්තිය.
මේ වන විට ඔබ ගායකයකු ලෙස එළිදක්වා තිබෙන ඔබේම නිර්මාණ ඇති නේද?
සෙව්වන්දි වික්‍රමසිංහ පද රචිකාව අතින් නිර්මාණය වූ දුලිප් මිරැන්ඩෝගේ සංගීතයෙන් ඔපවත් වුණු ‘ආදරේ මතකයේ තියා’ නමැති ගීතයට මගේ හඬ දෙනවා. තව ‘මාව දන්නෑ’ නමින් ගීතයක් මා ගායනා කරනවා සත්සර කසුන්ගේ පද රචනයෙන් සහ අමිත් ගුරුගේ සංගීතයෙන් ඔපවත් වුණු.
කොහොමද ඔබ ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ...
මං පාසල් ගියේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලට. පාසලේදීත් මම සංගීතය විෂයක් ලෙස ඉගෙන ගත්තා. ඒ මැණිකේ ගුරුතුමියගෙන්. ඇය තමයි මට මුලින්ම සංගීතයේ අත්පොත් කියා දුන්නෙ. මගේ පියාත් සංගීත කණ්ඩායමකට එක්ව සිටියා. මං හිතන්නෙ තාත්තගේ ආභාසය තමයි මටත් මේ ලැබිලා තියෙන්නෙ කියා. ඔහු අද ජීවතුන් අතර නැහැ. ඒක මට විශාල දුකක් මගේ දක්ෂතා බලන්න තාත්තා ජීවතුන් අතර නැතිවීම ගැන. පසුව පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් අනතුරුව පොඩි සංගීත කණ්ඩායමකට එක්වී ගායනයෙන් දායක වුණා. ඒ වගේම මං අද යම් ගමනක් ඇවිත් තියෙනවානම් එහි සියලු ගෞරවය හිමිවිය යුත්තෙ දුලිප් මිරැන්ඩෝ අයියට. ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කරවන්න මුල් වෙන්නෙ. එයා තමයි කිව්වේ මල්ලි අපි සින්දුවක් කරමු කියලා. ඒ අදහස අනුව තමයි ‘ආදරේ මතකයෙන්’ කියන ගීතය හරහා මේ ක්ෂේත්‍රයට පය තබන්නෙ. ඊට පස්සෙ එක් එක් අයගේ සින්දු කියමින් ප්‍රසංග වේදිකාවේ ඉදිරියට ආවා. විශේෂයෙන් මං ගොඩක් කැමැතියි රූකාන්ත ගුණතිලක සහ ක්ලැරන්ස් විජේවර්ධන කියන ගායන ක්ෂේත්‍රයේ පතාක යෝධයන් දෙදෙනෙක් වූ එම අසහාය ගායක දෙපළගේ ගීත වැඩිපුර ගායනා කිරීමට.
කවුද මේ ගමන එද්දී අත්වැලක් වූයේ...
මගේ පාසලෙන් ලැබුණ පන්නරයත් සමඟින් ගෙදර වටපිටාවත් හොඳින් සැකැසුණා මට ක්ෂේත්‍රයට ඒමට. ඊට පස්සෙ දුලිප් අයියා තමයි ලොකුම අත්වැල දුන්නෙ.
ඉදිරි අනාගත බලාපොරොත්තු...
මගේ හැකියාව පෙන්වමින් සාරගර්භ, හරවත් හොඳ ගණයේ නිර්මාණ කරමින් ගායන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යෑමයි බලාපොරොත්තුව. ඒ වගේම සල්ලි පස්සෙ දුවන්නෙ නැතිව මිනිස්සු පස්සෙ දුවන්නයි මගෙ එකම අරමුණ. ඒ කියන්නෙ අර්ථවත් ගීත රස විඳීමට ප්‍රිය හොඳ රසික පිරිසක් මා වටා රොක් කරගැනීමයි මගේ ඒකායන අනාගත ප්‍රාර්ථනය.