දෙවන කුමාරි | සිළුමිණ

දෙවන කුමාරි

මේ මොන විකාරයක්ද? කවුද මේ අවේලාවෙ

විදෙස් රටක පවත්වනු ලබන ආහාර ප්‍රදර්ශනයක රූප රාමු කිහිපයක් රූපවාහිනියේ විකාශය වන අයුරු ෆියෝනා බලා සිටියාය. මීට ස්වල්ප වේලාවකට පෙර තමා දුටු දර්ශනයෙහි සිටියේ අසාර් බවට කිසිදු සැකයක් නොමැත. කිසියම් ආහාර නිෂ්පාදනයක් පිළිබඳව ඔහු විදෙස් අමුත්තන් කිහිප දෙනෙකුට විස්තර කරමින් සිටි රූප රාමුවේ ඔහුගේ පියා ද තවත් අතිශයින් රූමත් කාන්තාවක් ද සිටි බව ෆියෝනාට සිහියට නැගුණේ පසුවය. තත්පර කිහිපයක් පමණක් වූ රූප රාමුව විනාඩි ගණනාවක් තම මනසෙහි දිග හැරෙන අයුරු ෆියෝනාට දැනිණ.

“එහෙමනම් අසාර් යන්න ඇත්තෙ ෆුඩ් එක්සිබිෂන් එකකට. ඒත් ඇයි එයා මට ඒ බවක් කිව්වෙ නැත්තෙ?“

තව දුරටත් රූපවාහිනිය නැරඹීමේ සිතක් නොවූයෙන් ෆියෝනා එය නිවා දැමුවාය. පහත මාලයේ විදුලි පහන් සියල්ල නිවා දමා ඇය සඳලුතලයට පෑමිණියේ කිසියම් නොසන්සුන් ස්වභාවයක් සිතට දැනෙමින් තිබූ බැවිනි. අරවින්ද්ගේ නිවසෙහි ඉදිරිපස විදුලි පහන් සියල්ල නිවා දමා තිබුණද, ඒවනවිටත් මුළුතැන්ගෙය තුළ පමණක් විදුලි පහනක් දැල්වෙමින් තිබිණ. ස්වල්ප වේලාවකින් එය ද නිවී ගියේය. ඉදිරිපස පහන් කණුවෙහි ආලෝකයෙන් ඔහු ඔහුගේ නිවසෙහි සඳැල්ලට පිවිසෙන අයුරු ෆියෝනා බලා සිටියාය. තමා හිඳගෙන සිටින ස්ථානයෙහි පවතින අඳුර නිසා ඔහුට තමා නොපෙනෙන බව ඇය සහතික ලෙසම දැන සිටියාය. අරවින්ද් අතෙහි ඔහුගේ වයලීනය රැඳී තිබිණ. බොහෝ රාත්‍රීන්හිදී නින්දට පිවිසෙන විටත් නින්දකින් පසු ඇහැරෙන විටත් අරවින්ද්ගේ වයලීනයෙහි හඬ ඇසෙන බව ෆියෝනාට සිහියට නැගිණ. අද ද ඔහුගේ වාදනය ඇසෙන්නේ නම් අසාර් නොමැති තනිකම පාළුව නොදැනෙනු ඇතැයි ඇය සිතුවාය.

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට

දහසක් දොම්නස් සිහින පවුරු මැද

තනිවුණු ඔබෙ සුසුමන් - සෙමෙන් විත්

මගෙ සවනත පාරයි

දෑස් වසා ගත් ෆියෝනා අරවින්ද්ගේ වයලීනයෙන් ඇසෙන මියුරු වාදනයට සවන් දෙමින් කාලය ගත කළාය. හෝරාවක් පමණ ගත වුව ද, ඔහුගේ සංගීතය නවතින බවක් නොදැනුනද, ෆියෝනාගේ දෙනෙත් නිදිබරින් අඩවන් වන්නට වූයෙන් ඇය නැගිට නිදන කාමරයට ගියාය. ෆියෝනා යහන මත වැතිර ගත්තේ සැහැල්ලු සිතින් යුතුවය.

තනිවම රැයක් පහන් කරන්නට බියෙන් සිටි තමා දැන් එම අත්දැකීමට මුහුණ දෙන සන්සුන් භාවය පිළිබඳව ඇය තුළ ඇති වූයේ සතුටකි.

නිවස ඉදිරිපිට නිවසේ සිටින අරවින්ද්ගේ සංගීතය තම තනිකම හා බිය දුරු කිරීමට සමත් වූවා නොවේදැයි දෙනෙත් නිදිබරින් පිට වෙද්දී ඇගේ සිතට පිවිසුණු සිතිවිල්ල විය.

විදුලි සීනුවේ හඬ ඇසුණු ෆියෝනා පිබිදුණාය. මේ මැදියම් රැයයි. වේලාව බැලීමට සිතා කොට්ටය අසළ තිබූ ජංගම දුරකතනය අතට ගත්තද, එහි බැටරි බැස තිබුණෙන් ක්‍රියා විරහිතව තිබිණ.

“ගෙදර ආවට පස්සෙ මට තිබුණෙ චාජ් කර ගන්න. කීප සැරයක්ම චාජ් කරගන්න ඕන කියලා හිතුණා. ඒත් අමතක වුණා.”

ෆියෝනා තුළ ඇති වූයේ පසුතැවිල්ලකි. එක් වරක් පමණක් ඇසුණු විදුලි සීනුවේ හඬ නැවතත් නොඇසුණෙන් ඇය සෙමෙන් සෙමෙන් යහනෙන් බැස ගත්තාය.

“කවුද මේ වෙලාවෙ?”

පහන් කණුවේ ආලෝකය යන්තමින් නිදන කාමරය ආලෝකමත් කර තිබේ. ඇය හඬ නොනැගෙන සේ දොර හැරියාය. ජනේලයක් විවර කර අරවින්ද් නිවස දෙස බලන්නට සිතුණද, ඇයට බියක් දැනිණ. ෆියෝනා සෙමෙන් සෙමෙන් පියගැට පෙළ බසින්නට වූවාය. ඒ හා සමගම නැවත වරක් විදුලි සීනු හඬ ඇසිණ. එක් වරක් නොව දෙවරක් තුන් වරක්ම විදුලි සීනුවේ හඬ නැගුණේ හදවත කීරි ගස්වමිනි.

“මේ මොන විකාරයක්ද? කවුද මේ අවේලාවෙ?”

ෆියෝනා නතර වූවාය. නිවසේ ස්ථාවර දුරකතනයෙන් අරවින්ද් අමතා නිවසට කිසිවකු පැමිණ සිටින බව පවසන්නට සිතුණද, ඔහුගේ දුරකතන අංකය ද ඇත්තේ ක්‍රියා විරහිත වූ ජංගම දුරකතනයේ නොවේදැයි ඇයට සිතිණ.

නැවත වරක් විදුලි සීනුවේ හඬ නිවසේ නිහඬ බව බිඳිමින් ඇසිණ.

“ෆියෝනා...”

ඉන්පසු අසාර්ගේ කටහඬ ඇසිණ. ෆියෝනා තැති ගත්තාය. ඔහු එතෙර ගොස් සිටින බව ද, රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය වෙද්දී ඔහු දුටු බව ද ඇයට සිහියට නැගිණ.

“ෆියෝනා. අරිනවද නැද්ද දොර?”

ඔහු දොරට පයින් පහර දෙන්නට ඇත. මේ වනවිට අවට නිවෙස් වල නිදා සිටින සියලු දෙනාම ඔහුගේ හඬ නිසා අවදි වන්නට ඇතැයි ෆියෝනා සිතුවාය.

“ඉන්න. මං මේ එනවා.”

ෆියෝනා කෑගැසුවාය. ඇය වහා ඉදිරියට දිව ගොස් දොර හැර බැලුවද, අසාර් දොරකඩ දක්නට නොවීය. පහන් කණු වල ආලෝකයට පැරදී සිටින සුදුමැලි පැහැති අඩ සඳක් ඈත අහසේ සිට ඉඟි කරන අයුරු ඇය දුටුවාය.

“අසාර්...”

බියට පත් ෆියෝනා කෑගැසුවාය.

“අසාර්... අනේ හැංගිලා මාව බය කරන්නෙ නැතිව එන්නකෝ.”

ෆියෝනාට තම කටහඬම දෝංකාර දෙමින් ඇසිණ.

බියට පත් ඇය දොර වසා ගත්තාය. ආලින්දයේ පුටුවක් මත හිඳ ගත් අසාර් දෙනෙත් පියාගෙන සිටින ආකාරය ඇය හදිසියේම මෙන් දුටුවාය.

“අසාර්...”

ඇය හැකි වෙර යොදා කෑගැසුවාය.

ෆියෝනාට ඇහැරිණ. තමා සිහිනයක් දැක ඇති බව පසක් වුව ද, ගත දහදියෙන් තෙමී ඇත. ඇය නැගිට යහන මත හිඳ ගත්තාය.

“අසාර්ට කරදරයක්ද?”

ෆියෝනාට සිතිණ.

“වෙන්න බෑ. මං අද දවසෙ වැඩි වෙලාවක් හිතුවෙ අසාර් ගැන. ඒ නිසා මට හීනෙන් පේන්න ඇති.”

ෆියෝනා ජංගම දුරකතනය අතට ගත්තාය. වේලාව අළුයම තුන පසු වී විනාඩි හතළිස් පහක් ලෙස ඇය දුටුවාය. ඈත නිවසක කූඩු කරන ලද සුනඛයකුගේ කෑගැසීම් හඬ යන්තමින් ඇසෙයි. වාහන වල හඬ ද දැන් ඇසෙන්නට පටන් ගෙන තිබේ. ෆියෝනා යහනෙන් බැස ගත්තාය. කල්කටාවේදී රාඝව්ගේ සහය ඇතිව එක් රැස් කළ තොරතුරු සියල්ල ගලපා පොත ලිවීම දැන් ආරම්භ කළ යුතු යයි ඇයට සිතිණ. බිස්කට් කර්මාන්තය සම්බන්ධ පොත ලියද්දී තමා පිබිදුණේ පාන්දර තුනටය. එකල දැන් මෙන් පරිගණකයෙන් ලිවීම නොකළ තමා පෑනක් සහ කඩදාසි රැගෙන මැද සාලයේ වූ මේසයේ ලිවීම් කටයුතු කළ අන්දම ෆියෝනා සිහි කළේ මුවග නැගි දුක් සිනාවකින් යුතුවය.

කවර වේලාවක ලිවීම් කටයුතු වල නිරත වුව ද, අම්මා තේ කෝප්පයක් සාදාගෙන පැමිණෙයි. මේසය මත හඬ නොනැගෙන්නට තේ කෝප්පය තබන ඇය පුටුවක් ඇද හිඳ ගන්නා අයුරු ෆියෝනාට මැවී පෙනිණ.

“අම්මා ගිහින් නිදා ගන්න.”

අම්මා සාදන රසැති තේ කෝප්පයෙන් උගුරක් පානය කොට තමා ඉල්ලා සිටින අයුරුත්, එයට ඇය දෙන පිළිතුරත් හැමදාමත් මෙන්ම එකම ආකාරයට සිදු විය.

“චූටි කුමාරි තනියමනෙ.”

පුවත් පත් පිටුවක් හෝ නවකතා පොතක් දිග හැරගෙන එය කියවමින් සිටින අම්මා ඇතැම් විට මේසය මත හිස තබාගෙන නින්දට වැටෙයි.

“අම්මා ගිහින් නිදාගන්න. මොකට මෙයාට තනි රකිනවද?”

ඇතැම් දිනෙක සිය නිදන කාමරයෙන් පිටතට පැමිණෙන අභීත පවසන්නේ තරහෙනි.

“ලයිට් දාගෙන ඉන්නවා රෑ තිස්සෙ. අපිට නිදාගන්නවත් නෑ. කරන දෙයක් දවල්ට කරනවකො.”

“චූටි කුමාරි පොතක් ලියනවනෙ පුතා.”

අභීතට පිළිතුරු නොදෙන තමා නිහඬව තම කාර්යය කළ ද, අම්මා පිළිතුරු දෙයි.

“පොත් ලියලා කාටද හරි ගියේ අම්මා?”

අභීත අසයි.

තවමත් යහන මත වූ ජංගම දුරකතනයේ කෙටි පණිවුඩ හඟවන සංඥාව හදිසියේම ඇසුණෙන් ෆියෝනා කල්පනා ලොවෙන් මිදුනාය. ඇය කුතුහලයෙන් යුතුව ජංගම දුරකතනය අතට ගත්තාය.

 

 ලබන සතියට 

Comments