චාමරගේ What a nice couple අව­සන් වෙයි | සිළුමිණ

චාමරගේ What a nice couple අව­සන් වෙයි

චාමර ගුරුගේ නම් නව පරපුරේ නාට්‍ය වේදියාගේ සම්මානනීය නාට්‍ය නිර්මාණයක් ලෙස 'What a nice couple' හැඳින්විය හැකිය. 2014 වසරේ දෙසැම්බර් 04 වැනිදා මුල්වරට වේදිකා ගතවුණු මෙම නාට්‍යය හොඳම නාට්‍යය ලෙස යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන ගණනාවක්ම දිනාගෙන තිබේ.

මෙම නාට්‍ය යේ අවසන් වේදිකාගත කිරීම 14 වැනි සෙනසුරාදා පස්වරු 4.00 ට සහ 7.00ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී පැවැත්වුණි. නිලංක දහනායක සහ ශාමිලා කල්හාරි රංගනයෙන් දායක වන චාමර ගුරුගේ රචනය කරමින් අධ්‍යක්ෂණය කළ 'What a nice couple' නාට්‍යය චාමරගේ තුන්වැනි නාට්‍ය නිර්මාණය වෙයි.මීට පෙර 2001 වසරේදී ප්‍රේමය නම් නාට්‍ය නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට පැමිණි ඔහු 2009 වසරේදී පෙම් යුවළක් සහ පෙම් යුවළක් නාට්‍ය නිර්මාණය කර තිබේ. ප්‍රේමය වස්තුවිෂය කරගනිමින් නාට්‍ය නිර්මාණය කරන චාමර 'What a nice couple' නාට්‍යයේ අන්තර්ගතය ගැන මෙසේ අදහස් දැක්වූවා.

‘‘සමාජයේදී අපි බොහෝවිට දකිනවා ලස්සන තරුණ ජෝඩු. ඒ වගේම වර්තමානයේ Face book එකේ මේ තරුණ ජෝඩු ඡායාරූප පලකරනවා.ඒවා බොහොම සුන්දරයි. අපි ඒවාට කමෙන්ට් කරනවා.ගොඩක් දෙනෙක් කියන්නේ What a nice couple කියලයි. එහෙම එළියේ ජීවත්වන තරුණ ජෝඩු වල නිදන කාමරය විනිවිද දැකීමක් තමයි මගේ මෙම නාට්‍ය යෙන් මම පෙන්වන්නේ.

එය තව විදියකින් මෙහෙම හඳුන්වන්නට පුළුවන්.එක්තරා විදියකට අපි ජීවත්වන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ ධනේෂ්වර වෙළෙඳ ක්‍රමයකට.මේ ක්‍රමයට ජීවත්වෙන්න නම් අපි කපටිකම්, තක්කඩි කම් කරන්න ඕන. අපි ව්‍යාජත්වයක් ගොඩනගාගෙන තමයි සමාජය එක්ක ගනුදෙනු කරන්නේ.ඒ කියන්නේ අපි ව්‍යාජත්වයක් මේන්ටේන් කරනවා. සමාජයේ බොරුකියන රවට්ටන මිනිස්සු මේ ව්‍යාජ සම්බන්ධතා නඩත්තු කරනවා. නමුත් මේ අය පවුල ඇතුළට ගියාම, තමන් ඇත්තටම ආදරය කරන අය අතරට ගියාම මේ සැබෑ ආදරයට එළියෙන් බලපෑම් එල්ල වනවා.ඒ කියන්නේ ඇතුළත ආදරය අපයෝජනයට ලක්වෙනවා.පිටත සමාජයේ තක්කඩි භාවිතාවක් තිබෙන අපිට සැබෑ ආදරය කිරීමේදී අර්බුධයක් තිබෙනවා.

එළියේ බොරුකියමින් ඉන්න මට බිරිය ඉදිරියේදීත් බොරුවක් කියවුණාම ඒක අහුවෙනවා.එයා මාව සැක කරනවා.මම සමාව ඉල්ලනවා.ඇය අඬනවා. ඒකත් මේ ආදරයේම කොටසක්. What a nice couple නාට්‍ය යෙන් මම කියන්නට උත්සාහ කළ දේ සාර්ථක වුණා කියා මම විශ්වාස කරන්නේ මට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර වලින්. 

Comments