ආද­රය කරද්දී මම හැම­දා­මත් පරා­ජය වුණා | Page 2 | සිළුමිණ

ආද­රය කරද්දී මම හැම­දා­මත් පරා­ජය වුණා

රුක්ෂානා දිසානායක

නිෂ්පාදකවරයෙක් සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා

රසඳුන තුන් වැනි පිටුව හැඩ කරන්න කලාවේ ඉන්න හැඩකාරියන් අපි එක්ක එකතු වෙන්නෙ හරිම ආදරයෙන්.ඒ අනුව අද ඔබ හමුවට එන්නේ අපිට ආදරේ කරන, ප්‍රේක්ෂකයන් ගේ ආදරේ උපරිම ලැබෙන පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන යොවුන් රංගන ශිල්පිනියක්. ඇය රුක්ෂානා දිසානායක.

රුක්ෂානා, ඉතින් සැප දුක් කොහොමද?

හොඳින් ඉන්නවා.

ටෙලි නාට්‍ය නිසාම කාර්යබහුලයි වගේ?

ඔව්. ටිකක් විතර. මේ දවස්වල හිරු ටීවී නාළිකාවේ 'මල් 7යි' ටෙලි නාට්‍යට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම සිරස ටීවී එකේ 'මෙඩිසිනා' ටෙලි නාට්‍යයත් දිගටම කරනවා. වේදිකාවේ වැඩයි අලුත් ටෙලි නිර්මාණවල වැඩත් එක්ක කාර්යබහුලයි.

රුක්ෂානාට නම් මල් 7 යි වගේ?

ඒ වගේ තමා. මල් 7 යි කියන්නේ මගේ රංගන ජිවිතේ ලැබුණු ලොකු අවස්ථාවක්. මගේ ආදරණීය ගුරුවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. රවින්ද්‍ර විජේරත්න ගුරුතුමන්ට හා තරංග දිසානායක ගුරුතුමන්ට. කියන්නම ඕන, මම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව. ඒ ගැන නිහතමානී සතුටක් මට තියෙනවා.

ක්ෂේත්‍රයේ ඔබ ලොකු කාලයක් රැඳිලා සිටිය කෙනෙක්ද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 2 1/2 ක් විතර වෙනවා.

එදා කලාවට එද්දී දැකපු හීන අද සැබෑ වෙලා ඇති?

ඇත්තටම රංගන ශිල්පිනියක් වීම මගේ ජීවිතේ ලොකු හීනයක්. මම කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු දෙයක්. පාසලේදී වගේම විශ්ව විද්‍යාලයේ ප්‍රසාංගික කලාව හදාරන කාලයේ ඉඳන්ම රංගනය කියන දේ ඉගෙන ගත්තා. මම ඒ ඉගෙන ගත්ත දේත් එක්ක මගේ හීනය අද සැබෑ වෙලා තියෙනවා. අද වෙනකොට ලොකු ජනප්‍රියත්වයක් තියෙන නිළියක් නොවුණත් මේ ටික කාලයේ දී මේ තත්ත්වයට එන්න ලැබීම ගැන මම අවංකව සතුටු වෙනවා. ඒ වගේම තව ඉදිරියටත් තව තවත් නිර්මාණවලට දායක වෙමින් රටේ දක්ෂ නිළියක් වෙන්න උත්සහා කරනවා.

රුක්ෂානාට දෙරණ නාළිකාවේ දොර වැහිලාලු නේද?

ඔව් දෙරණ ආයතනයේ කිසිම වැඩසටහනකට මාව සහභාගී කරගන්නේ නැහැ. සමහරවිට මම ඒ තරම් ජනප්‍රිය කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති.

ඇත්ත කියන්න.ජනප්‍රියත්වය කියන දේට වඩා ලොකු දෙයක් එතැන ඇති නේද?

මෙහෙමයි මම දෙරණ නාළිකාවට කවදාවත් වරදක් කරලා නැහැ. මගෙත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ නාළිකාවේ සේවය කරන නිෂ්පාදකවරයෙක් සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමා සමස්ථ නාළිකාවම මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මාව කිසිම වැඩ කටයුත්තකට සම්බන්ධ කර නොගන්නේ.

ඔබට නැවත දෙරණ ආයතනයෙන් කතා කළොත්, ඔබ යනවද?

ඔව්. මට නාළිකාවත් එක්ක ගැටලුවක් නැහැ.

රුක්ෂානා ආදරයෙන් පැරැදිලා තියෙනවද?

ඔව් ආදරය කරද්දී මම හැමදාමත් පරාජය වුණා.

ඔය තරමට ආදරයෙන් පැරදෙන්න නම් ලොකු හේතු තියෙන්න ඇති?

මගේම වරදින් තමා. මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙනවා. ඒක මගේ ලොකු වරදක් කියලා මම දකින්නේ නැහැ. ඒත් අද කාලේ කාටවත් ඒ විදියට කරන්න බැහැ. මම හිතන්නේ ඒ විදියට ආදරයෙන් පරදින්නේ මගේ ලොකු අඩුපාඩුවක් නිසා කියලා .

දැන්වත් ඔබ සොයන ආදරේ ලැබිලා තියෙනවද?

එහෙම ආදරයක්ද කියලා මම දන්නේ නෑ. හැබැයි මට හොඳ ආදරයක් ලැබිලා තියෙනවා.

ඒ ආදරේ හංගන්නේ නැතිව දැන්වත් කියමුකෝ.

ඒ ගැන දැන්ම කියන්න බෑ. මම ඉදිරියේදී කියන්නම්. විශ්වාස කරන්න බැහැනේ අද කාලේ කවුරුවත්.

ඔය තරම් හංගන්නේ ආදරයත් කාලයත් එක්ක වෙනස් වෙයි කියන තැන ඔබ ඉන්න නිසාද?

කාලය වගේම තාක්ෂණයත් එක්ක අපි හැමෝම වෙනස් වෙනවා. ඒක ස්වභාවයක්. ඒත් අපි කාගෙවත් හිත රිද්දන්නේ නැතුව ඉන්න එකයි වටිනාම දේ කියලයි මම හිතන්නේ. වැරැදි හදාගෙන හොඳින් ජිවත් වෙන්න තමා මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ. මොකද ආදරය කවදාවත් මිල මුදල්වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මට දැන් තේරිලා තියෙන්නේ.

Comments