
ස්වාධීන රූපවාහිනී සේවය මෙරට රූපවාහිනියේ මහගෙදරයි. එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ජනජීවිතය හා බද්ධ වුණු නාළිකාවක් ලෙස එය තවමත් සිය අනන්‍යතාව රැකගනිමින් ක්‍රියාත්මක වෙයි. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ITN මාධ්‍යජාලයේ වත්මන් සභාපති ධූරයට පත්වූ පසු එය තව තවත් ජනතාවට සමීප කිරීම සඳහා සුවීශේෂී වෙනස්කම් රැසක්ම සිදු කිරිමට කටයුතු කළේය. එසේම ITN මාධ්‍යජාලයේ ගුවන් විදුලි නාළිකාව වන ITN FM තම මාධ්‍ය මෙහෙවර පුළුල් කරමින් ජනතාවට විඳිය හැකි නව්‍ය වැඩසටහන් ගණනාවක් අලුතින් ආරම්භ කර තිබේ.
ස්වාධීන රූපවාහිනී සේවය යනු මෙරට පළමු රූපවාහිනී සේවයයි. දශක ගණනාවක් තිස්සේ සුබවාදි මාධ්‍ය මෙහෙවරක යෙදුණු ස්වාධීන රූපවාහිනී සේවාව සමඟ ITN ගුවන් විදුලි නාළිකාව අත්වැල් බැඳ වැඩි කලක් නැත. අද එය ITN ගුවන් විදුලි සේවාව ලෙස හැඳින් වුවද මෙය මුලින්ම හැඳින් වුයේ ලක්හඬ ගුවන් විදුලි සේවාව ලෙසය. ගුවන් විදුලි මෙන්ම රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ නිව්ටන් ගුණසේකර මහතා ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසෙක ලක්හඬ ගුවන් විදුලිය මුලින්ම ඇරැඹියේය. එදා එලෙසින් ඇරැඹි ලක්හඬ අද හැඳින්වෙන්නේ ITN FM නමිනි.
අයි.ටී.එන් මාධ්‍ය ජාලය පසුගිය දා අලුත් වෙනසකට මුල පිරුවේය. ඒ වෙනසත් සමඟ ITN FM හි බොහෝ වැඩසටහන් නවතාවයකට පත්ව ඇත්තේය. මේ වෙනස්කම් අතර අප පැහැදිලිව දුටු මෙන්ම යළීත් සිත අතීතයට අපේ බාලවියේ මතකයන් අලුත් කරන ගුවන් විදුලි හඬ රැසක් ඇසෙන්නට පටන් ගෙන ඇත. ඒ සතියේ දිනවල සන්ධ්‍යා භාගයේදීය.
ඒ කටහඬ අපට අද ද වෙන වෙනම තෝරා බේරා ගන්නට පුළුවන්කම තිබේ. එක් හඬක් මතකයේ හිටින්නේ පැහැදීලිව ප්‍රවෘත්ති ප්‍රකාශ කරන නිවේදිකා හඬකි. ඇය සුමනා නෙල්ලම්පිටියයි. අනෙක් හඬ ළයාන්විතය. ගුරුවරියකගේ,උපදේශිකාවකගේ මෙන් ය. ඇය රත්නාලංකා අබේවික්‍රමය. ඇගේ හඬ යොවුන් වියේ පෙම්වතියන් සිහිකරයි. . ඒ කුසුම් පීරිස්ය. අනෙක් හඬ මතකයේ ඇත්තේ ප්‍රසංග වේදිකාවේ මෙන්ම වෙළෙඳ වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙන්ම විවිධ වැඩසටහන් සමඟය. ඒ තිලකා රණසිංහගේ හඬය. සන්සුන් හඬක් ලෙසින් මතකයේ රැදී ඇත්තේ මාලනී වෙත්තසිංහගේ හඬය. ගුවන් විදුලි මහගෙදර වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යුගයක් බැබළවු මේ නිවේදිකාවන්ගේ කටහඬ දැන් ITN FM ඔස්සේ දිනපතා ඔබේ සවනට ඇසෙන්නට ලැබෙනු ඇත. සතියේ සෑම දිනෙකම පස්වරු 2.00 ත් 4.00 සොඳුරු අපේක්ෂා සොයා යන මියුරු රේඩියෝ පර්යේෂණයක් ලෙසින් හැඳින් විය හැකිය. “හෙවණට එන්න ” කලකට පසුව ප්‍රවීණ නිවේදිකාවන් පස්දෙනා එකට එක්වී කරන මේ කාර්යය පිළිබඳ මෙන්ම ඔවුන් ගේ අතීත මතකයන් අලුත් කිරීමේ අදහසින් පසුගිය දිනෙක අපි ඔවුන් හමුවීමට දිනයක් වේලාවක් යොදා ගත්තෙමු.
එය හරි අපූරු සැන්දෑවකි. අපි කතිකා කර ගත්තේ ටොරින්ටන් හී සුමනා නෙල්ලම්පිටියගේ නිවසේදී හමුවන්නටය.බාධාවකට තිබුණේ මේ දිනවල නොදන්වා පැමිණෙන මහ වැස්ස පමණි. යොදාගත් දිනයේ චුරු චුරු වැස්සේම අප එහි යන විටත් ඔවුහු පැමිණ සිටියහ. ඔවුහු අප පිළිගත්තේ දිගු කලක සිට හඳුනන්නන් ලෙසිනි. . ඔවුන් දැන් වියපත් . නමුදු ඒ කටහඬ තවමත් තරුණය. ඒ සිනාහඬවල් තවමත් තරුණය. ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දශක ගණනාවක් සේවය කළ මේ ප්‍රවීණ නිවේදිකාවන්ගෙන් ඉතින් කෙසේ ප්‍රශ්න කරන්න ද, නමුදු අප තුළ තිබූ කෝළ බව නැති කළේ ඔවුන්මය. එකිනෙකා ගෙන් තොරතුරු විමසන්නට වීමු.
“අපේ ඉතින් ගුරුවරයා වගේ ඉන්නේ අක්කා තමයි.. අක්කාම කියන්නකෝ.”
තුන් හතර දෙනාම එක් හඬින් පවසන්නට වූයේය. ඔවුන් අක්කා යැයි කීවේ රත්නා ලංකා අබේවික්‍රමටය. සමීපතමයන් ඇයට අමතන්නේ ලංකා යන ආදරණීය නාමයෙනි. දකුණු පළාතෙන් බිහි වූ පළමු ගුවන්විදුලි නිවේදිකාව වන ඇය ටෙලිනාට්‍ය චිත්‍රපට නිළියක මෙන්ම ගීත රචිකාවක් කිවිඳියක් මෙන්ම කෙටිකතා නවකතා රචිකාවියක ද වන්නීය. “ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා තමයි අපට මෙවැනි වැඩසටහනක් කරන්නට ආරාධනය කළේ. හෙවණට එන්න වැඩසටහන මුළු පවුලකටම එක්වී අහන්න පුළුවන් වැඩසටහනක් ලෙසින් තමයි සම්පාදනය කැරෙන්නේ.අපි ගුවන් විදුලියට ආව මුල් කාලයේ දැන් මෙන් නව තාක්ෂණය නැහැ. ඒ කාලේ අසන්නන් හා ගුවන් විදුලිය එකට එක් කළේ ලිපි හා තැපැල්පත්. ඒ කාලේ අපි කාන්තා වැඩ සටහන් කෙරුවත් අපේ වැඩසටහන් අහපු අසන්නෝ වගේම අසන්නියොත් හිටියා අසන්නෝ කාන්තා නම් වලින් අපට ලිව්වා. දැන් ඒ යුගයට වඩා අද වෙනස් වුණත් අපි විශ්වාස කරනවා අපේ අසන්නන්ව යළිත් අපට ළංකර ගන්න පුළුවන් කියලා.” රත්නාලංකා පවසන්නීය.
සුමනා නෙල්ලම්පිටිය ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම කාන්තා වැඩසටහන් මෙන්ම විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දක්ෂතා පෙන්වා ඇත්තීය. රූපවාහිනිය ආරම්භ කිරීමත් සමඟ එහි පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ඉතිහාසගත වන්නේද ඇයයි.
“ ගුවන් විදුලි මහගෙදරින් තමයි අපි හැදුණේ. මම ගුවන් විදුලියට ආවේ 1964 වසරේදී. වසර ගණනාවක් ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනියේ සේවය කිරීමෙන් මම බොහෝ අත්දැකීම් ලබා තිබෙනවා. පසුගිය කාලයේ මට වෙනත් නාළිකාවලන් ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා ලැබුණා. නමුත් මගේ හිතට එකඟව එහෙම යන්න හිතුණේ නැහැ. ඒත් ස්වාධීන මාධ්‍ය ජාලයෙන් අපට ආරාධනය කළ විට අපි බොහෝම කැමැත්තෙන් ඒ ආරාධනය බාර ගත්තා.” සුමනා නෙල්ලම්පිටිය පවසන්නීය.
කුසුම් පීරිස් ගුවන් විදුලියට පැමිණියේ පාසල් යන අතරතුරදීය. ඇය එය සිහිපත් කරන්නේ ආඩම්බරයෙනි.
“මම ගුවන් විදුලියට ආවේ ටයිපටිය පිටින් .ඒ කියන්නේ පාසල් යන ගමන්. ඒ ආව ගමනේදී මට ලංකා අක්කා සුමනා අක්කා වගේම හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. මම නිවේදිකාවක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය වලත් හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා . බොහෝ කාලයකට පසුව අපි බොහෝම කැමැත්තෙන් තමයි මේ කාන්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නට පෙළ ගැසෙන්නේ. ”කුසුම් පවසන්නීය.
තිලකා රණසිංහ ස්ථිර නිවේදිකාවක ලෙස ගුවන් විදුලියට එක් වන්නේ එක් දහස් නවසිය හැත්තැ නවය වසරේය. ගුවන් විදුලියේ වෙළෙඳ වැඩසටහන් නිවේදිකාවක් ලෙස අසන්නන්ගේ හිතේ ඈගේ හඬ හොඳින් සටහන් වී ඇත්තේය.ස්වාධීන රූපවාහිනී සේවාව ආරම්භ වීමත් සමඟ ප්‍රථම කණ්ඩායමේ නිවේදිකාවක් ද වන ඇය රූපවාහිනියේ ප්‍රථම සේවා දායක වැඩසටහනේ නිවේදිකාව ද වන්නීය. ප්‍රසංග වේදිකාවේ නිවේදිකාවක් ලෙස මුල් යුගයේ සිටම කටයුතු කළ ඇය ජෝති රාත්‍රිය ප්‍රසංගයේද නිවේදිකාව වන්නීය. එකල බොහෝ ප්‍රසිද්ධියට පත්ව තිබූ ජෝති රාත්‍රිය ප්‍රසංගය ඉදිරිපත් කළේ ඇය හා ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහය. සේවයෙන් විශ්‍රාම යාමට පෙර ගුවන් විදුලියෙන් සමුගත්ත ද අද ද ඇගේ කටහඬ ගුවන් විදුලියෙන් ඇසෙන්නීය. ඇය තවමත් වෘත්තියේ නිරත වන්නීය.
“මොනදේ නැති කර ගත්තත් නිවේදන කලාවට තියෙන ඇල්ම නැති කරගන්න බැරි වුණා. ගෙවී ගිය කාලය තුළ සෑම දිනෙකම මගේ හඬ ගුවන් විදුලියෙන් ඇසුණා. හෙවණට එන්න අලුත් වැඩසටහනට අපි හැමෝම එක් වන්නේ බොහෝම කැමැත්තෙන්.”ඒ තිලකාගේ හඬය.
මාලනි වෙත්තසිංහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ගෞරව උපාධි ධාරිනියකි. ඇය ද ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම කාන්තා වැඩසටහන් මෙන්ම තවත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළාය. ඇය වසර ගණනාවක්ම ගුවන් විදුලියෙන් සිංහල අවුරුද්දට රට වටා අවුරුදු වැඩසටහන ඉදිරිපත් කළාය.දැන් ඇය සංස්කෘතික දෙපාර්තමේන්තුව සමඟ එක්ව දිස්ත්‍රික්කයෙන් දිස්‍ත්‍රික්කයට යමින් මාධ්‍ය උගන්වන්නීය.
ගුවන් විදුලි කේෂත්‍රයේ ප්‍රවීණයන් වු මොවුන් පිළිබඳ කීමට තවත් බොහෝ දේ ඇත්තේය. එදා ඔවුන් නියෝජනය කළ යුගයට වඩා අද මාධ්‍ය ක්ෂේත්‍රය වෙනස්ය. නව තාක්ෂණික මෙවලම් පැමිණීමත් සමඟ ගුවන් විදුලියෙන් ඈත් වී යන අසන්නන් යළිත් ගුවන් විදුලිය වටා එක්කර වීමටත් සුබාවිත මාධ්‍ය කලාවක් යළිත් ඇති කිරිමට මේ නිවේදිකාවෝ තමන් සතු යුතුකමක් ලෙස සිතන්නාහ.
“ඒ යුගයේ අපේ කාන්තා වැඩසටහන් වලට ලියූ බොහෝ අය පසුකාලීනව ලේඛන ක්ෂේත්‍රයට පිවිසුණා .අදත් ඔවුන් ඒ ක්ෂේත්‍රවල රැඳී සිටිනවා. අපට එය සතුටක්. ඒ යුගයේ ගුවන් විදුලියේ වැරැදි කළොත් දඩුවම් කරනවා .ඒ කියන්නේ නිවේදනයේදි වචන වැරැද්දුවොත් එහෙම . මට මතකයි මාසයකට වතාවක් සිංහල භාෂාව පිළිබඳ විද්වතුන් ගෙනැල්ලා ගුවන් විදුලි මැදිරියකදී වචන උච්චාරණය පිළිබඳව කියා දෙනවා. අපි විශ්වාස කරනවා “හෙවණට එන්න” ITN FM ගුවන් විදුලි නාළිකාව තුළින් හොඳ යමක් කරන්නට පුළුවන් කියලා. රත්නා ලංකා අබේවික්‍රම පවසන්නීය.සමුගන්නට පෙර අපි ඔවුන්ගෙන් මෙසේ ඇසුවෙමු.
'කලක් ගුවන් විදුලි මහගෙදර සිටි ඔබ දැන් අයිටීඑන් ගුවන් විදුලි නාළිකාවට එක් වීම ගැන හිතෙන්නේ මොකක්ද ?
උත්තරය දුන්නේ පස්දෙනාම එක හඬිනි. “ගුවන් විදුලිය කියන්නේ අපේ අම්මා. අපි අම්මාගේ තුරුලෙන් පුංචි අම්මාගේ උකුලට පැන්නා අපිට විශ්වාසයි අම්මා වගේ පුංචි අම්මත් අපිව ආදරෙන් බලා ගනීවී කියලා අපිට පුංචි අම්මා වෙනස් කමක් කරන එක්ක නැහැ”
උසස් රසවින්දනයක් ලබාදීම නව වෙනසේ බලාපොරොත්තුවයි
ITN මාධ්‍යජාලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා
ITN මාධ්‍යජාලයේ වැඩසටහන් ගණනාවක වෙනස්කම් සිදුකිරීමට මේ වන විටඅප කටයුතු යොදා අවසන්. 2016 වසරේ විකාශය වූ වැඩසටහන් වෙනුවෙන් පසුගිය දා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදි සහ සුමති සම්මාන උළෙලේදී ITN හොඳම රූපවාහිනී නාළිකාව ලෙස අභිෂේක ලැබීම එහි ප්‍රථිඵලයි. නව වැඩසටහන් සංකල්ප සහ ආකෘතින් දියත් කිරීමේ කටයුත්ත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පළමුවෙන්ම සිදු කළ පසු බොහෝ නාළිකා ඒවා අනුකරණය කරනවා සේම ඒවා පවත්වාගෙන යාම සිදුකරනවා. වසර 6කට පමණ පෙර මෙගා ටෙලිනාට්‍ය සම්ප්‍රදාය රූපවාහිනී මාධ්‍යයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ITN එකටයි. බට්ටි, පබා වැනි නාට්‍ය ඊට උදාහරණ. එය පෞද්ගලික නාළිකා පවත්වාගෙන යාමට කටයුතු කළා පසුකාලීනව. ලංකාවේ ඇතැම් නිර්මාණකරුවන්, මාධ්‍යකරුවන්, මාධ්‍ය ආයතන දැඩි විරෝධයක් දැක්වූවා.එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා තහනම් කරන්නට කටයුතු කළා. ITN එකටත් ඒ වාරණය සිදු කළා. දැන් එහි අහිතකර ප්‍රතිපල අපේ නිර්මාණකරුවන් දැන් අත්විඳිනවා. හේතුව විදේශීය මෙගා ටෙලි නාට්‍ය දැන් දේශීය ටෙලිනාට්‍ය කලාවට තර්ජනයක් වී තිබෙනවා. මතුපිටින් ඇසෙන දේ පෙනෙන දේ පිළිබඳ තීරණ ගැනීමට පෙර යටිපෙළ අර්ථය ද වටහා ගැනීමට දැන් කාලය එළැඹ තිබෙනවා.
විශේෂයෙන්ම ITN FM ගුවන්විදුලි නාලිකාව පසුගිය 10 වැනිදා සිට වැඩසටහන් 10 ක් යාවත්කාලීන කළා. මෙම වෙනස්කම්වලට ලක් කෙරෙන වැඩසටහන් පිළිබඳව ශ්‍රාවකයන් ගේ බුද්ධිමය විචාරය අපේක්ෂා කරනවා.එය ඉදිරියේදී මෙම නාළිකාව තව තවත් හරවත් බවකින් යුතුව මෙරට සමාජයට උසස් රසවින්දනයක් ලබා දෙන්නට දිරියක් වනවා.
අලුත් දෙයක් අලුත් ආරකින් සමාජගතකිරීමට දරණ ප්‍රයත්නයක්
ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා
ඔක්තෝබර් 10 වැනිදා සිට යාවත්කාලීන කළ වැඩසටහන් ශ්‍රී ලාංකීය ග්‍රාහකයන්ට පමණක් නොව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම අත්දැකීම ලැබීමට හැකිවීම විශේෂත්වයක්. මෙය රේඩියෝ කලාව උඩු යටිකුරු කිරීමක් නොවේ. කලාව ඔලුවෙන් හිටගැන්වීමටත් කෙරෙන සූදානමක් නොවේ. එහි ඇත්තේ අලුත් දෙයක් අලුත් ආරකින් සමාජගත කිරීමට දරණ ප්‍රයත්නයක්.
යාවත්කාලීන කළ මෙම වැඩසටහන් 10 හි සංකල්පීය පෙළගැස්ම ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ තමයි සිදු කෙරෙන්නේ.
අලුයම 4.00 සිට උදෑසන 6.00 දක්වා
මුතු මතුවන පිනි පලස - ‘‘අරුණට පෙර”
පැරැන්නන් උදේ හතර හැඳින්වූයේ බ්‍රහ්ම මූර්තයේ උදාව ලෙසයි. හිතක අලුත් සිතිවිල්ලක් පැළ කිරීමට සුදුසුම වෙලාව මුතු මතුවන පිනි පලස - අරුණට පෙර ITN FM ආරම්භ කරන ගුවන් කාලයයි.සකලවිධ ශාස්තෘවරුන්ගේ අසිරිමත් චින්තාවලියෙන් සුපුෂ්පිත අදහස් මුතුකැට මතුවන නිදහස් පිනි පලස යන්න මෙහි අන්තර්ගතය වෙයි.
පිරිසුදු හිතක් ඇතුළේ පිරිසුදු බීජයක් පැළ කළොත් සාර්ථක පුද්ගලයෙක්, සාර්ථක අනාගතයක්, ශක්තිමත් පුද්ගලයෙක්, සාර්ථක රටක් ගොඩනැගීමට මෙම ගුවන් කාලය වඩා වැදගත් වෙයි.
උදෑසන 6. 00 සිට 7. 00 දක්වා
සජ්ජන පුවත් පවසට සත් දින පුවත් සටහන ‘‘ගිරි මුදුන”
ගොඩ වැඩි කර ගැනීම ITN FM සම්ප්‍රදාය තුළ නැත. දෙන්නම් බැටේ කලවෙන් මිදී සැබෑ තොරතුරු පෞද්ගලික විචාරයකින් තොරව ලබා දීමටත්, රටක සංවර්ධනාත්මක අරමුණු සාක්ෂාත් කිරීම මෙම ගුවන් කාලයේ අරමුණයි. මෙහි විශේෂත්වය ITN TV සමඟ ඒකාබද්ධව විකාශය වීමයි.ශබ්ද මාධ්‍යයත් රූප මාධ්‍යයත් එකට එක්වීම විශේෂත්වයයි.‘ජනතාවාදී මාධ්‍යකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යසකරණය‘ලෙසයි මෙය යාවත්කාලීන වන්නේ.
උදෑසන 7.00 සිට 10.00 දක්වා
ඉර ඇහැරුණ නිමේෂයේ සිතු සරසය තතු මිහිර ‘‘අලුත් උදෑසන”
පැය තුනක ගුවන් කාලයක්. Information and entertainment එකට ගලපා infortainment යන සුවිශේෂී ඉසව්ව කරා ග්‍රාහකයා රැගෙන යාම මෙහි අරමුණයි.මේ සඳහා අපි නව සිංහල අර්ථකථනයක් හඳුන්වා දෙනවා. ඒ තමයි තතු මිහිර. ප්‍රවෘත්ති සවන්දී ලබාගන්නා තොරතුරක් හෝ වෙනත් තොරතුරු මගින් ඇතිව චින්තාවලියට මිහිිරක් එක්කිරීම මෙහිදී සිදු වෙනවා.ප්‍රශස්ත ආශ්වාදයකට ග්‍රාහකයා පොළඹවාලීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා.
උදෑසන 10. 00 සිට දහවල් 12. 00 දක්වා
රහසින් මුහුණන්න රහ සිංදු ඉල්ලන්න ‘‘වර්ණ”
මෙය ගීත ඉල්ලීම් වැඩසටහනක්.එහෙත් මෙය ටිකක් වෙනස්. අපි ග්‍රාහකයාගෙන් ඉල්ලා සිටිනවා රහ සිංදු ඉල්ලන්න කියා. අපේ තේමාව වන්නේ රහසින් මුහුණන්න රහ සිංදු ඉල්ලන්න කියා. මෙය ලංකාවේ පළමු වතාවට ග්‍රාහකයාගෙන් කරන ඉල්ලීමක්.අප සතුව ඇති ගීත සංචිතයේ ඕනෑම ගීතයක් තිබෙනවා.එහෙත් අපි ග්‍රාහකයා ගේ රසවින්දනය ඉදිරියට ගෙනයන්න මෙයින් අපේක්ෂා කරනවා.
call - 0112 774 604 / 0112 774 810 sms - 0703 935 937
දවල් 12.00 සිට සවස 2.00 දක්වා
පාට පාට හීනවලට පාර කියන පැය දෙකක් ‘‘සිහින සාගරේ”
දවල් 12 ට මොන හීනද කියා ඔබ කල්පනා කරයි.රැකියාවක් සොයන කෙනෙකුගේ හිතේ හීන පහලවන වෙලාව දවල් 12 කියා අප විශ්වාස කරනවා. උදේ ඉඳන් රැකියා සොයා ඇවිදලා හවසට මුහුණ දෙන්න බැරිවන කෙනකුට අපි අලුත් පාරක් කියා දෙනවා. ළතැවිල්ලට සැනසිල්ලක් ලබා දෙනවා.රැකියා සොයන්නන් එකතුකර රැකියා මවන්නන් මුණගැස්වීම මෙහි මූලික අරමුණයි.එය සජීව ලෙස සිදුවීම මෙහි විශේෂත්වයයි.‘‘රැකියා වියුක්තියට එරෙහිව හැකියා නියුක්තිය‘‘ යන්න මෙම වැඩසටහනෙහි තේමාවයි.
සවස 2.00 සිට 4.00 දක්වා
අත අත නෑර ජීවත්වෙන්න ‘‘හෙවනට එන්න”
මෙය තරුණ තරුණියන්ට, බාල පරපුරට මග පෙන්වන වැඩසටහනක්.ගුවන් විදුලි ඉතිහාසයත්, වර්තමානයත් එකට එක් කරන ගුවන් කාලයක්.එදා ගුවන් විදුලියෙන් හඳුනාගත් නමගිය චරිත මෙම වැඩසටහන එක්ක එකතු වීමත් විශේෂත්වයක්. සොඳුරු අපේක්ෂා සොයා යන මියුරු රේඩියෝ පර්යේෂණය ලෙස මෙම ගුවන් කාලය හඳුන්වනවා.
සවස 4.00 සිට 6.00 දක්වා
හෑල්ලු නොවී සැහැල්ලු වෙන්න ‘‘ITN හැන්දෑව”
ගුවන් විදුලි මාධ්‍යෙය් රජ කාලය ලෙස සැලකෙන මෙම ගුවන් කාලයට අලුත් අරුතක් සපයන වැඩ සටහනක්.අපහාසය හා කරච්චලයක් නොවන හාස්‍යය, උපහාසය මුසු විශේෂාංග හරහා විඩාබර ග්‍රාහකයා සැහැල්ලු මානසිකත්වයකට රැගෙන යාම අපේ අරමුණයි.
සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා
‘‘ Six Eight”
හයත් අටත් අතර කිව්වම තව වෙන මොනවද? සංගීතයේ කියන්නේ වෙනමම සංගීත රිද්මයක්.වේග රිද්ම ලංකාවේ නතර වෙන්නේ බොහෝ විට ආවේග රිද්ම වලින්. ඒ ආවේග රිද්ම වෙනුවට කනට මිහිරි, ශ්‍රාවකයා මුමුනන වේග රිද්ම ගීත පොකුරක් මෙහිදී තිළිණ කෙරෙනවා.
රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
නිම්හිම් නැති නිමැවුම් යන්තම් හරි කියවමු ‘‘නොනිමි චාරිකා”
මෙම වැඩ සටහන මෙතෙක් ගුවන් විදුලි මාධ්‍ය යෙන් මෙතෙක් නොකළ වෑයමක්. චිත්‍රපටයක්, නවකතාවක් හෝ වෙනත් ඕනෑම නිර්මාණයක් ගුවන් විදුලි අත්දැකීමක් ලෙස ගෙන ඒම මෙහි වෑයමයි.
සති අන්තයේ සවස 2.00 සිට 4.00 දක්වා
‘‘නින්නාද”
අසන්නා දුරකතනයෙන්, ස්කයිප් මගින් හෝ එස් එම් එස් මගින් එක්කරගෙන ගීත රසවින්දනය පිළිබඳ විමසීමට වඩා ඔහු හෝ ඇය මැදිරියට ගෙන්වා රසවින්දනය පිළිබඳව පුළුල් ලෙස සංවාදයක යෙදීමයි.
සෙනසුරාදා 6.00 සිට රාත්‍රී 8.00 දක්වා
පොතේ හැටියට නොවේ, හිතේ හැටියට තෙමෙන්න ‘‘හැඟුම් වරුසාව”
සංගීතය පිළිබඳ නව මානයන් සොයා යන සති අන්ත වැඩසටහනක්.