
අපේ හෙළ ජනශ්‍රැතිය හා කවිය අතර ඇත්තේ සුවිශේෂ සබඳතාවකි. දුරාතීයේ සිට බොහෝ වියතුන් බිහි කිරීමේ මූලස්ථානය වුයේ පන්සල යි. ඒ සඳහා ඉතිහාසයේ ලියැවී ඇති ගද්‍ය පද්‍ය කෘති සාක්ෂි දරයි. අදට අප අතර ශේෂව ඇති එකී සාහිත්‍ය මුලාශ්‍රයන්ගෙන් අතිබහුතරය රචනා කර ඇත්තේ භික්ෂූන් වහන්සේය. අද සත්මඬල සංලාපයට එක් වනුයේ මේ යතිවර පරපුරේ නූතන නියමුවකු වන ‘අමා දහර: කවි බණ 1,2,3‘ කෘති ත්‍රිත්වය රචනා කරන ශාස්ත්‍රපති, කිවිපති පන්නල ඤාණාලෝක හිමියෝය.
• ඔබ වහන්සේ බණ දේශනා කිරීමට පද්‍ය මාධ්‍යය තෝරා ගත්තේ ඇයි?
අපිට අවශ්‍ය කළේ මිනිසුන් ඇහුම්කන් දෙන මාධ්‍යයකින් බණ කීමටයි. එහිදී අපට සිද්ධ වෙනවා කොයි යම් හෝ මාධ්‍යයකින් අසන්නට ප්‍රිය වන ආකාරයට බණ කියන්න. විශේෂයෙන් අද තරුණ පිරිස යොමු වෙලා ඉන්නවා කවියෙන් බණ අහන්න. වර්තමානයේ සන්නිවේදනය පුළුල් වීමත් සමඟ එක එක මාධ්‍ය ආයතනවලින් ධර්මය ප්‍රචාරය වෙනවා. කොයි මාධ්‍යයෙන් ධර්මය ප්‍රචාරය කළත්, වැඩිපුරම මිනිසුන් කන් දෙන්නේ කවියට බව ඉතා පැහැදිලියි. සිංහල බෞද්ධ අපට හුරු කවිය. ඒ නිසා මමත් කවියෙන් බණ කියන්න අදහස් කළා. එය ඉතා සාර්ථකයි. ඇත්ත වශයෙන්ම මා කුඩා කාලයේ සිටම කවියට නැඹුරුයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල සමයේදීත් මා කවි බණ ලිවීමට හුරු වෙලා හිටියා. පසු කාලීනව මම කවිබණ කීමට හුරු වුණා. එය ජනතාව අතර ඉතා ජනප්‍රිය වුණා.
• ඔබ වහන්සේ කාව්‍යමය බණ සම්ප්‍රදාය විද්යුත් මාධ්‍යයට ගෙන ඒමට පුරෝගාමි වූවා යැයි කිව හොත් නිවැරදියි?
විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යයට කවි බණ හඳුන්වා දීම කළේ මම කිව්වොත් නිවැරදියි. කොයි යම් හෝ මාධ්‍යයකින් මිනිසුන් බුදු බණ අහනවා නම් අපි ඒ ආකාරයට හුරු වෙන්න ඕනෑ. විවිධ ආකාරයට ධර්ම දේශනා සිදු කරද්දී වැඩි මනත් පිරිස ඇලුම් කරන්නේ කවියට බව ඉතා පැහැදිලියි කරුණක්. කවියෙන් බණ කීමේ සම්ප්‍රදායක් යළි බිහි කිරීමට පුරෝගාමි වෙලා අද ඒ දේ රට පුරා සාර්ථකව කරගෙන යෑමට හැකි වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා.
• කවිය භික්ෂුවට අකැප, ගර්හිත විද්‍යාවක් ලෙස ඇතැමුන් සඳහන් කරනවා නේද?
නැහැ. ඇතැමුන් එසේ කිව්වත් කවියෙන් බණ කීම බුදු දහමේ දැක්වෙන ගර්හිත විද්‍යාවන් ලෙස හැදින්වෙන්නේ නැහැ. අපේ සාහිත්‍ය ඉතිහාසයේ ගද්‍ය පද්‍ය ලිවීමට ආරම්භ කළේ බුදු ගුණ වැයීමෙන්. "පෙදෙන් බුදු සිරිත" තමයි මුල් වුණේ.
මා හිතන්නේ ශේක්ස්පියර්, එලියට් වැනි ලොව ප්‍රකට කවියන් කවි ලිව්වත් හොඳම කවි තියෙන්නේ ධම්මපදයේ බවට කිසිදු තර්කයක් නැහැ. බුදුන් වහන්සේ තමයි මේ ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම කවියා. උන් වහන්සේ ධර්මය දේශනා කළේ රිද්මයකට එක්තරා ලයාන්විත ස්වරූපයකින්. බුද්ධකාලීන භික්ෂූන් වහන්සේ කවියෙන් බණ දේශනා කළා. ඒ කවි බණවලට බුදුන් වහන්සේ ඇහුම්කන් දුන්නා; අගය කළා. ඒ නිසා බුදුන් වහන්සේ කවියෙන් බණ කියන්න එපා කියල දේශනා කර නැහැ. එහෙත් කවියෙන් බණ කීම නිසා ඇති වන විපාක පහක් පිළිබඳව විනය පිටකයේ ඛුද්දක නිකායේ ඛුද්දක චතුත්ත නිපාතයේ ඇති බව විවිධ අය තර්ක කරනවා. කවියෙන් බණ කීම අගරු බවක් ඇතැමුන් සඳහන් කරනවා. කෙසේ වෙතත් නිසි අවබෝධයෙන් බුදු දහමට අගරු නොවන ආකාරයට කාව්‍ය ධර්ම දේශනා කිරීම භික්ෂූන් විසින් දැනගත යුතු කාර්යයක්. ගර්හිත විද්‍යාවන් ලෙස හඳුන්වන්නේ වෙදකම යන්ත්‍රමන්ත්‍ර ගුප්තශාස්ත්‍ර දේවකාර්ය ශෘංගාරාත්මක රාගය උපදවන කරුණු ඇතුළු යම් යම් දේ. කවියෙන් බණ කීම කොහෙත්ම ඊට අයත් වෙන්නේ නැහැ.
විශේෂයෙන් මම ජාතක කතා දෙසිය පනහකට අධික ප්‍රමාණයක් මේ වන විට සරල කවියට නඟා දේශනා කර තියෙනවා. මා විද්යුත් මාධ්‍යයකින් දේශනා කළ එකදු කවියක් වත් නැවත දේශනා කර නැහැ. තරුණ භික්ෂූන් වහන්සේ වගේම තරුණ පිරිස් ඔවුන් ළඟ මේ ධර්ම දේශනා සුරක්ෂිත කරගෙන තිබෙනවා. මේ කවි බණ සඳහා විශේෂයෙන් තරුණ භික්ෂුන් වහන්සේලා උනන්දුයි. මේ කෘති සම්පාදනය කිරීමෙන් බලාපොරොත්තු වුණේ තරුණ ස්වාමීන් වහන්සේට නිවැරුදිව කාව්‍යමය ධර්ම දේශනාවක් සකස් කරගන්නේ කෙසේද යන කරුණ ගැන නිසි අවබෝධයක් ලබා දීමටයි. මේ කවිබණ වැරදි ආකල්ප බුදුදහමට පටහැණි දේ සහ විවිධ තාල අනුව විවිධ විරිත් අනුව සංගීතය මුසු කරමින් වැරදි ආකාරයට දේශනා කිරීමට අපේ ඇතැම් තරුණ භික්ෂූන් හුරු වෙලා තියනවා. එය වළකාලන්නයි මා හට අවශ්‍ය වන්නේ. තරුණ භික්ෂුවට නිවැරුදි කවි බණක් දේශනා කිරීමට අවශ්‍ය වටපිටාව මේ කවි පොත් මගින් සිදුකෙරෙනවා.
• ඔබ වහන්සේ කාව්‍යමය ධර්මදේශනාව මාධ්‍යයට ගෙන ඒමේ පුරෝගාමීව කාව්‍යමය ධර්ම දේශනා සම්ප්‍රදාය බිහි කළත්, පසුකාලීන අනුකරණවාදීන් පිරිසක් වාණිජ පරමාර්ථයෙන් කවි බණ කීම සඳහා යොමු වෙලා තිබෙනවා නේද?
විද්යුත් මාධ්‍යයෙන් මගේ කවි බණ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනෙක් මේ කවියෙන් බණ කීම ආරම්භ කර තිබෙනවා. අප ඉල්ලන්නේ මේ අයගෙන් අප ආරම්භ කළ මේ කාව්‍යමය බණ දේශනා සම්ප්‍රදාය රැක ගන්න අවශ්‍යයි, අපේ ථේරවාදි සම්ප්‍රදායට පටහැණි නොවන ආකාරයට නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි. ඒ අලුතින් කවි බණ දේශකයන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ මා ග්‍රන්ථයක් රචනා කර තිබෙනවා. බුදු දහමට එකඟව මේ කවිබණ දේශනා කළ හොත් පමණයි අපිට දුර ගමනක් යා හැකි වන්නේ. කවිය පමණක් නොවෙයි බණ කීමත් අද වාණිජ පරමාර්ථ ඇතිව සිදු කෙරෙනවා.