
සිහිය
මා නිදන ඇඳ ළඟ
කවුළුව ළඟම හිඳ
සුදු වලාකුළු පිරුණු
මගෙ පුරුදු අහස දෙස
බලා ඉන්නමයි හිත
ඒත් දැන් කලක සිට
සුදු පාට වලාකුළු
පේන්නටවත් නැතිය
කිහිප දිනකට පසුව
හුදෙකලා රාත්‍රියක
දෑස විද අහස දෙස
බලන විට ඇස ගැටිනි
පුංචි සුදු වලාවක්
සඳ අවධියෙන් ඉඳී..
ජයසේකර මලවිආරච්චි
දිනපොත
තිසර තුඩු අග
පුංචි මල් පිපී තිබුණා
සුවඳ හමනා
වගත් දැනගෙන
බිඟුන් ඒ දෙස
නොබලා සිටියා
වසන්තයේ දින පොත
පෙරෙළමින් තිබුණා
පුංචි මල් පෙති
බිම බලා උන්නා
ගිම්හානයේ දින
ළඟා වුවා
සුවඳ මල් මකරන්ද
මිහි මත විසිරී තිබුණා
දින පොතේ පිටු
ඉරී තිබුණා
සුළඟ ඇවිදින්
මතක බණ කිව්වා
මේදනී මැණික්කුඹුර
පෙම්බරයාණෙනි
සිළුමිණ, සරසවිය හා මව්බිම පුවත් තුළින්
ඔබ ජීවත් වුණේ පත්තර කලාවෙන්..
පොදු ජන මෙහෙවරට කළ දෙස් පාලනයෙන්
ඔබ වැජඹුෙණ් නැහැ බොරුවෙන් මුළාවෙන්
නිවන් දකින තුරු සසරේ එකට යමු
රට දැය රැකීමට මිතුරන් සමඟ යමු..
එකම සිප් හලේ සිට පෙම් සුව ලබමු
නැණ ගුණ බලැති පුතුනට මවු පියන් වෙමු
ඔබෙ පරපුරට ඉපදුණ මිණි පහන ඔබයි
මහද අඹරෙ පෑවූ ඔබ මගේ සඳයි
අතහැර ගියත් ඔබ නිවහල් රන් විමන
අත් වේවා ඔබට අජරාමර නිවන
කුසුම් ජයසිරි ගුණසේකර
මවක් හැඬූ වග....
වාරු නැතිව පියවර මැන
රත් පෑ නෙත බමවා
උදේ රැයින් ගෙන් පිටවුණු
හිරු දෙවි ගෙට එනවා
මිදුල දිගේ සුදු වතුසුදු
සුවඳ ඉගිළ යනවා
ටිකිරි සිනා වියැකී නෙත
කඳුළින් බොඳ වෙනවා....
සඳ පැටවුන් තුරුළට ගෙන
නැඟ එන තුරු අහසේ
මගෙ පැටවුන් බලා සිටියෙ
සැනසෙන්නට රිසිසේ
කුසගින්නේ දැවුණු තැවුණු
වත සඟවා රහසේ
ඉරු දෙවි ගෙට එනවා
දැක වැළපෙනවා දුකසේ...
මැදියම් රෑ පමාවෙලා සඳ
පැටවුන් ආවත්
කවුළුව ළඟ දොර අයිනේ
හිඳ ඉඟි බිඟි පෑවත්
ඉරු දෙවිඳුට බියෙන් සැඟව
නිදන පැටව් ආයෙත්
නැගිටුවන්න හිත නෑ මට
යළි හෙට දින නාවත්...
ඉර දෙවියෝ හොඳට ම නිදි
සඳ පැටවුන් මිදුලේ
වතුසුදු මල් සුවඳ උලා
දඟලනවා වදුලේ
හෙට උදයේ ඉර ගියාම
සඳ අතු පැල ඇතුළේ
මගේ සුසුම් වල උණුසුම
රස දැනේවි කඳුළේ...
ශාන්ති බණ්ඩාර
යුදට ගිය කල...
පෙරමුණට යුද ගියේ සැමටම
සදන්නට නිදහස් රටක්
නොවිඳිිනා දුක් විදින අතරෙත්
සිතින් ඔබ ළඟය වැඩි කලක්
සවන් වැටුණට නුඹෙ දොසක්,
නොසිතුවෙමි කිසි සැකයක්
කියන් ප්රියබඳ වූයේද
මගෙන් යම් අඩු පාඩුවක්
පරණ මතකය සිතට එනවිට
කොනිති ගැහුවත් හද හපා
විසල් මන්දිර නැතත් මට ඔබ
රකිමි සිතමින් පන එපා
පැටවු සමගින් එදා විලසට
සෙනෙහසින් සනහා පපා
මේ කැදැල්ලෙන් ඉගිළ යන්නට
සිතන්නටවත් නම් එපා
පද්මිණි බෙනරගම
ඔබ
මිහිරි තෙපුල් සිනා හඬින්
හද පිනවන යළි කලඹන
පෙණ බුබුළක සතුට රැගෙන
මවෙත පැමිණ යළි පිටවන
විසිතුරු දේදුන්න ලෙසින්
සිතට එඹෙන යළි වියැකෙන
සිහිනෙන් ගෑ සුවඳක් සේ
අතීතයෙන් යළි පැමිණෙන
මැණික් චන්ද්‍රමාලී වික්‍රමසේකර
දරු දැරියන් දැයේ මල් ලෙස සිතමු
දිවි හිමි යුතුනකම් නොමකර සින්දා
මිනිසත් ගුණ දම් හදවත බන්දා
‘මව්පියො යුතුකම් සෙනෙහස රන්දා
සොඳරු ලොවට දෙමු දරුවන් කැන්දා’
දරු දැරියන් දැයෙ මල් ලෙස සිතමු
නැණ ගුණ දී ආදරයෙන් රකිමු
මිනිසත්කම නිරතුරුවම පුරමු
දැය සුරලොව කරමින් බබළවමු
අමරස පරදයි සෙනෙහස් අහර
මධු බිඳු ලෙස රස බිළිඳගෙ වහර
සිත් සෙනෙහස නොම කරමින් බැහැර
දරුවන් රකිනෙමු යුතුකම් නොහැර
හැඅදෙන වැඩෙන තැන මැදුරද පැලද
මඟතොට විදිය අම්බලමක ද
කොතැන වුවත් නොසිතා ලෙස වරද
දරුවන් රැක ගමු අදරින් වැළඳ
මිනිසත්කම් අනුගමනය කරමු
දරුවන් හට ඒ ගුණ හුරු කරමු
ලද හැකි හොඳ දේ දරුවට දෙවමු
මවුපියො වැඩිහිටි යුතුකම් පුරමු
විමල් රූබසිංහ
මිනිසුනේ
උණු බත් නැත හිඟන්නන්ට
තිර නිවහන නැතිය ඉන්ට
දිව වෙණ හඬ දෙන කොවුලට
නැහැනෙ කූඩුවක් ළඟින්ට
හඬ මිස උගෙ වැඩ නැත්තේ
හිඟන යාදිනිය ඇත්තේ
කෙවිලිය බිජුලන තත්තේ
ගින්දර ඇවිළෙයි චිත්තේ
යමු යමු කෙවිලියට කියයි
අඬගහගෙන කොවුලා යයි
අනුන්ගෙ කූඩුවක් සොයයි
එවෙලට හිස් නම් තුටුවෙයි
කෙවිලිය හිස් ගෙයි තනිකර
කොවුල ගියෙන් කෙවිලිය බර
හෙළුවත් හිතකින් ගින්දර
ඇයට බැහැනෙ වෙන්න නතර
යදියන් කොවුලන් වගේම
ගෙය දොර නැති තමන්ගේම
තැනින් තැනට යන නිතරම
මිනිසුනි , නැති අඹුදරු කම
උඩුගම්පොළ සමරතුංග
ජීවිතය
සංසාර ගමනේ නවාතැන්පළ
මේ ජීවිතයේ ගඟක් සේ ගලා යන
වැදි ගල්පර හැපී බිඳෙමින
සිනාසී විටෙක මවා සොඳුරු දසුනක්
මොහොතකින් කිම කඳුළු වැස්සක්
ජීවිතය නෙවෙද ඒ කියා දෙන්නේ
කවදාද ජිවිතය දකින්නේ අපි
හැමදාම ගැලවී ඈත දිවයන
ගං දියට පෙම් බැඳ ජීවිතය අමතකව
අපි හැමදාම ගං ඉවුර මත රැඳි
පාව යන ලෙසින්
ගලා ආ ‘අපත වූ යමක්’
බින්දාය මැවු ගං දිය සුරතල්
ගං දෑල නැවතුණද මෝය කට අසල
චම්මින්ද වෙලගෙදර
සුන්දරයි ජීවිතේ
තුරුණු හසරැලි සෙමෙන් අවදිව
ගෙනෙයි මුවගට සිනා කැන්
වසන්තය අද සොයා ඇවිදින්
දිවි මඟට වාසනාවන්
අරුත් බර වූ නැවුම් හෙටකට
තබමි අඩියක් සොම්නසින්
ලොවේ ගැරහුම් සියල්ලම අද
සුන් වෙලා ඇත ඒ ජයෙන්..
චතුර අමරතුංග
මට ආසයි
නීරෝ වගේ වෙන්න
රෝමේ ගිනි ගනිද්දි
වීණා වයන්න
.
දරුවෝ නෙවෙයි
උඹෙ තුරුලෙ ඉන්න
ඇයව ඇකයෙන්
බිම වට්ටන්න
සිරියාවන්ත ඉරිමාව
සුන්නද්ධූලි කරවන්න
වටේට ගිනි ගනිද්දි
වීනා වයන්න
සංජීවනි අමුණුගම
නිමාවක් නැති වැකියක්
ගඟ ගලයි ඉදිරියට
මඟ බලයි සසිරියට
හද විලේ පොකුණට
ගිනි නැගෙයි තරගයට
අහස ගිනියම් වෙලා
කඳුළු වැසි එයි ගලා
සොඳුරු සිතුවම් බලා
සිහින එයි ඇහැරිලා
අත වනයි නිවන දෙස
හිත දුවයි වෙනත ඇස
නැත නොමැත දිනුව ලෙස
තිති වැටෙයි නොනිමි කිස...
පරගොඩ සිරි
අන් සතු වූ රෝස මලේ
අන්සතු උයනක හිනැහෙන රෝස මලකි සුවඳ
සුන්දරමුත් නෙළාගන්න අවසර නැති වුවද
මින් දද දෙයි අනග රැගුම් ඉවසනු බෑ තවද
මං සතු කරගන්නට එය හිතන එකත් පවද
දුලා නෙතට අඳුනක්වී මල සුපිපී ඇත්තේ
නෙළා ගන්න බැරි දුරකය විස කටු ඇත ඉත්තේ
ගලා ගියත් හද සෙනෙහස් ගං දිය ඒ මත්තේ
හලා සුවඳ පතුරන්නේ අන් කෙනෙකුගෙ වත්තේ
මගෙ සවනට කවි කියන්නෙ ළා හිරු රැස් එද්දී
මගෙ හිත ළඟ දඟ කරන්නෙ එබි කම් කර ඇද්දී
මගෙ හදවත කිති කවන්නෙ මඳ සුළඟට පැද්දී
මගෙ දිවියම සරසවන්නෙ සිත සෙනෙහස ලද්දී
ළඟ ඇති උයනක පිබිදුණ රෝස මලක් හින්දා
වග තුග නොසොයා නොබලා ආල හිතක් බැන්දා
මග තොට වැරදී දුර ගොස් සෝක තැවුල් වින්දා
විගහට සිතුවිලි ඇලුණේ දුක දෙන්නද මන්දා
දල්ලන නෙත් වැසුවද ඇත මනසේ රුව ඇඳලා
මල් ලඳ සිත සඟවනවද බිඟුනට පෙම පුදලා
සිල්පද හතරක් නොකඩා දෙවෙනි පදය බිඳලා
අල්ලන එක වැරදිද නුඹ රහසේ රැක ඉඳලා
රෝස මලේ නුඹ පිපුණේ නැතුවට මගෙ යායේ
ආස කරන්නට මට නැත තහනමකුත් ආයේ
දෝස තබන්නට කෙනෙකුට නැත වරදක් වූයේ
වාස කරනු මැන සතුටින් මගෙ හදවත් පායේ
රත්නා ලංකා අබේවික්‍රම
බත් ගස
ඉඹුල් බිජු ලෙසින් සරනුව
පවන් මඟ සරණ නොලැබුව
විහඟ තුඩ තබා අමරස
සොබා දහම් නියර වැඩුව
ඉරිදා පොළට මවු සිරසක
කරඬුව සේ වඩම්මවන
බතට තරම් නැති ගෙපැලක
බත සරි ඵල උපද්දන
චේන් කියත් මාර සෙනඟ
නොතකා ලෝ වැඩ සැලසුව
බෝධි මූලයක් වන්නට
පමණට පාරමී පිරුව
කොඳු නාරටි විරල රටක
අරටුව සූනියමක් වුණ
උපදින ඵල දරන ලතා
සමව තුටින බර උසුලන
බලනු වටී කොස් ගස බල
දෙදුමා තුන්දුමා දරන
කොස් අංකල් නොවී තවම
කොස් මාමා දිවමන් වන
රංජිත් මල්ලියාවඩු
නොපෙළන්න මා
තැන නොතැන නොබලමින්
තවත් මා නොපෙළන්න
බස්රියේ දුම්රියේ
මඟතොටේ වැඩපොළේ
මහ රැයේ දහවලේ
කොතැන වුව ඔබට නම්
වෙලාවක් තැනක් නැහැ
තැන නොතැන නොබලමින්
තවත් මා නොපෙළන්න
ඔබ මවෙත පැමිණි කළ
සියලු වැඩ හැර දමා
යහන මත වැතිර ගෙන
මම ඔබට තුරුලු වෙමි
එහෙත් ඔබ රුදු වතින්
මා පෙළන්නෙහි ඉතින්
නහර වැල් දඟ කවා
හිස් කැබලි පුපුරුවා
තවත් මා නොපෙළන්න
විදින්නට නොහැක දුක
නොඑනු මැන මා වෙතට
කියන්නෙමි හිසරදය..
චිත්‍රා. අයි. පෙරේරා
අලුත් කුරුටු ගීයක්
සීගිරි ළඳුන්
අලුත් ලෝකය නොදැන
සියවස් ගණනාවක්
ගල් ගුහාවක සිරව
නෙතගින් හෙළනා අහංකාර බැලුම්
තවත් නම් ඉවසන්න බෑ මට
අපේ තරුණ කාලෙත්
රැවැති ළඳුන්ගෙන්
අඩුවක් වූයේ නම් නැත
අලුත් පරම්පරාවෙන්
රූමතියන්ගෙන්
අඩුවක් නම් නැත
අල්ලපු රටෙත්
සුරංගනාවන් වැනි
රූමතියන් පිරී ඇත
දුරුකතර ගෙවා ගෙන
මහන්සියෙන් අවුත්
සීගිරි ළඳුනි
නුඹලාගේ අෙග් බැලුවා
දැන් හොඳටෝම ඇති
ටිකක් වෙරි වූ
මැදිවියේ රසවතෙක්
මදක් තරහින්
ලියයි කුරුටු ගීයක්
වෙනත් පවුරක් මත
ගංගා වරුෂවිතාන
මතක සැමරුම්
ඩී. ටී. මල්ලව කවියා කොළඹ යුගයේ දෙවැනි පරපුරට අයත් කෘතහස්ත කිවිවරයෙක් වෙයි. ඔහු කවියෙකු පමණක් නොව අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ය. පන්හිඳටත් තෙළිිතුඩටත් එකසේ දස්කම් පෑවෙකි මල්ලව කවියා. මගේ පියා (එච්. ඇම්. කුඩලිගම) හා අතිශය සමීප ඇසුරක් පැවැත්වූ හෙතෙම පසු කලෙක මා සමඟ ද ඒ ඇසුර එලෙසින්ම පවත්වා ගැනීමට තරම් මුදු මොළොක් ගුණයකින් යුතු පුද්ගලයෙක් විය. 1995 සැප්තැම්බරයේ මා විසින් කවියෙන් ඔහුට යැවූ ලියමනකට ඔහු විසින් කවියෙන්ම එවූ පිළිතුරු ලිපියක් අදටත් මා ළඟ සුරැකිව ඇත. මේ ඒ කවි පෙළ ය. වරක් මා ඔහු දැකීමට යද්දී ඔහු නිවසින් බැහැරව ඔහුගේ දියණියකගේ නිවහනකට ගොස් සිටියේ ය. ඔහු නොදැකීම නිසා මට ඇති වූ සන්තාපයත් මගේ දරුවන් ආපසු එද්දී දැක්වූ කනගාටු ස්වභාවයත් දන්වා ලියා යැවූ කවි පෙළට ඔහු එවූ පිළිතුරු ලිපියයි මේ. සැප්තැම්බර් 22 දාට යෙදෙන ඔහුගේ අනුස්මරණ දිනය නිමිත්තෙනි.
සටහන - ගීතනාත් කුඩලිගම
මට නොතිබුණත් ඔබ මෙහි සිටි ගතිය දැනී
ගෙටවන් විටම දැනුණා ඒ සුවඳ පිනි
කවියෙන් එවුණු ලියමන රස මිහිර ගැනී
සඳුදා උදේ එකොළොස්වැනි අතට පනී
ලොකු පුතු වෙමින් හිත බැඳගත් කවියකු ගේ
ඔබ ආ ගමන මතකයි නිවහනට මගේ
කළ කී හරිය එකතුව ඒ ඇඳිරි යුගේ
සිහියට නැඟෙයි අද සේයා පටෙක වගේ
නිලරිය හඬක් හෝ දසුනක් එවැනි දුටු
සැණෙකින් මුවාකොට මිස හළ නමුදු පිටු
වැලිමන්නාතොටදී ඔබ නොකෙරුවෙමි කොටු
සෑහේ එපමණක් හද නොඇමුණට කටු
මදු පැන් තොල ගගා පෙරදා පිපුණු හඳේ
රෑ තිස් පැයේ වැතිරී හිඳ ඔහුගෙ ඇඳේ
කුඩලිත් සමඟ ගොස් නෑ හැටි දෙණියෙ ළිඳේ
ගොතටුවෙ රසය මැද තව හද සුවඳ වැදේ
තිස් හතළිස් වියේ ‘හෝපලු’ සෙවණ කොට
මා එන අතර පෑ වුන් පොඩි සිනහ කට
අද මහ එවුන් දළ රැවුලැති නිකට වට
මා විනි කෙනකු සත් සැත්තෑ වියට බට
තාරා කාංචන ඇසුරේ හවස උදේ
‘මල්’ නැන්දා ද කළ හැකි වැඩපෙළහි යෙදේ
දරුවන් නුදුටුවත් උන් රූ සිතෙහි ඇඳේ
‘දෝණී’ දෝණියක් වනු ඇත මට ද හොඳේ
තාලයට කියූ පෙර මා ලියන ලද කවක්
‘මාය’ දූ දැන් පිපුණු රෝස කුසුමක මවක්
පුපුරුවා නෑර කස කියා ඇති නැති බවක්
පාඩුවේ ඉන්න ‘යමුණා’ තැනී කූඩුවක්
සින්නෙටම ලියා දුන් තිබුණු සේසත මගේ
‘පාලිතත්’ පියාඹයි නුඹ කුරුල්ලකු වගේ
ඒ වුණත් සේසතින් බිංදුවක් සතු උගේ
පුංචි නංගිට ලියා පෙන්නුවා උගේ අගේ
ජයක් හෝ පරාජය කුමක් ඇත මී විතේ
උසස්තම රසක් ලැබ ගතිමි කවි ගී පොතේ
අඩක් වැඩි දුරක් ගොස් ඇතත් යන මාවතේ
වැඩක් නෑ කියන්නෙම් නොවෙමි මම ජීවිතේ
ඩී. ටී. මල්ලව (මාමා)
දයාබර කවි කිවිඳියනි, අපේ පැරණි කවියන් පිළිබඳ මෙවැනි සොඳුරු මතකයන් ඔබ සතුව ඇත්නම් ඒවා අපට එවන්න.
ඉසවි
කවි කල්පනා, සත්මඬල,
සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්, කොළඹ 10.