සම්මාන උළෙල ගැන මගේ පැහැ­දී­මක් නෑ | සිළුමිණ

සම්මාන උළෙල ගැන මගේ පැහැ­දී­මක් නෑ

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හදවත් හි ලැගුම්ගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකි අර්ජුන කමලනාත්. කිඩ් නැප් , කුසල් සිනමා පටත් සමග මේ දිනවල බෙහෙවින් කාර්ය බහුල වී සිටියත් අර්ජුන අමතක නොවන මතක විශේෂාංගයට එක් වුයේ සතුටින්.

 ක්‍රිකට් ක්‍රිඩාවට ඇලුම් කළා

අර්ජුන කියන්නෙ පොඩි කාලෙ සිටම ක්‍රිකට් ක්‍රිඩාවටත්, ක්‍රිකට් ක්‍රිඩා නැරඹීමටත් බෙහෙවින් ආසා කරන චරිතයක්. එහෙම ගිහින් විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්න සිදුවු අවස්ථා බොහෝමයි.ඉන් එක සිදුවීමක් තමයි දෙවැනි වසරෙ ඉගෙන ගන්න කාලෙ තාත්තත් එක්ක කොළඹ එස්.එස්.සී ග්‍රවුන්ඩ් එකේ පැවැත්වුණු නවසීලන්ත-ශ්‍රි ලංකා ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය දවස.එදා මැච් එක බලන්න ගිහින් තාත්තට මාව මග හැරිලා. හැමතැනම හෙව්වත් හම්බ වෙලා නැති තැන ගෙදර ගිහින්. අම්මයි,තාත්තයි හොඳටම බයවෙලා කර කියා ගන්න දෙයක් නැතිව පොලිසි යන්න හදනකොට මොරිස් මයිනර් කාර් එකකින් අලුත බැඳපු කපල් එකක් මාව ගෙදරටම එක්කගෙන ඇවිත්. අම්මටයි, තාත්තටයි පුදුම හිතිලා කොහොමද මම ඔවුන්ට ගෙදරට එන්න පාර කීවේ කියලා. පොඩි කාලෙ සිටන්ම ඕනෑම දෙයක් හොදින් මතක සිටින පුරුද්ද තිබෙනවා.

ශිෂ්‍යත්වයෙන් සමත්වුණා

පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගියේ ගල්කිස්ස හේන විද්‍යාලයට. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිට ඉන් සමත්ව පහ වසරෙ සිට මොරටුව වේල්ස් කුමර මහ විදුහලට ඇතුළත් වී උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. එදා අද වගේ ශිෂ්‍යත්ව විභාගයට තරගයක් තිබුණේ නෑ. අද වගේ අම්මලා ළමයින් පස්සෙම වැටිල හිටියෙ නැති වුණත් අපි අධ්‍යාපන කටයුතු හොදින් සිදුකළා. බාහිර වැඩවලත් නිරතවුණා.

පාසල් කාලයේ වැඩි වේලාවක් ගෙවා දැමුවේ ක්‍රිඩාපිටියේමයි. 15න් පහළ ක්‍රිකට් ටීම් එකේ වයිස් කැප්ටන්වීම මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිදුවීමක්. ඒ දවස්වල ටීම් එකේ නම කියනකොට පුදුම සතුටක් දැනෙන්නේ. දඟයෙක් වු නිසාමත් පොදුවැඩවලදී මූලිකත්වය ගෙන කටයුතු කරන නිසාත් පාසලේ ළමයි අතර ජනප්‍රිය චරිතයක් වුණා. කොතරම් දඟවැඩ කළත් ශිෂ්‍යනායකයකු ලෙස පත්කළේ පාසලේ බාහිර වැඩ මෙන්ම අධ්‍යාපන කටයුතුවලටත් දක්ෂ වු නිසා වන්න ඇති. ශිෂ්‍යනායකකම ලැබුණු බව ගෙදර ගිහින් කීවම අම්මයි තාත්තයි ඇස් දෙක උඩට අරන් ඔයාට ශිෂ්‍යනායකකම දුන්න එකනම් පිළිගන්න බෑ කීව. අදත් එවැනි සිදුවීම් මතක් වු විට අතීතයට දිව යන්න හිතෙනවා.

නළුකම අහම්බයක්

මම නළුවෙක් වුණේ කාලයක් තිස්සෙ උත්සාහ කරලා පරම්පරාවේ රංගන ශිල්පීන්ගේ මගපෙන්වීමෙන් නෙවෙයි. ඒක හරිම අහම්බයෙන් සිදුවුවක්. උසස් පෙළ අවසන්කර මොරටුව ග්‍රාම සංවර්ධන සමීතියේ රැකියාවට ගියා. රැකියාවට උදේ සවස ගමන්කළේ මොරටුව ෆිල්ම් හෝල් එක ඉදිරිපිටින්.ඔහොම යනවිට ෆිල්ම් හෝල් එකේ කට්ටිය මාව දැක තිබෙනවා. කොහොම හරි ඒ අය අලුතෙන් කරන චිත්‍රපටියකට රංගන ශිල්පීන් සොයමින් සිටියදී මා ගැන ආරංචි වෙලා රඟපාන්න කැමතිද ඇහුවා.1998.අගෝස්තු 16 මුලින්ම රඟ පෑ'මොහොතින් මොහොත' චිත්‍රපටයට සම්බන්ධ වුණේ ඒ විදිහට. රන්ජන් රාමනායකත් එහි රඟපෑවා.

ඒ වනතුරු පාසලේ පන්ති කාමරයකවත් රඟ පා නොතිබුණු අර්ජුන හොඳ රංගනයක් ඉදිරිපත්කළ බව එම චිත්‍රපටය නැරඹූ සියලු දෙනාම පැවසුවා.එදා පටන් අද දක්වාම රංගනය මගේ වෘත්තිය වුණා. රංගනය වෙනුවෙන් විවිධ සම්මාන හිමිවුවා. සරසවි සම්මාන සහ වෙනත් සම්මාන උළෙල කිහිපයකදීම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. 2006 වසරේ සම්මාන උළෙලකදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානයට හිමිකම් කීවත් අන්තිම මොහොතේ එය වෙනත් කෙනකුට පිරි නැමුවා. එදා ඇතිවු සිත් රිදවීම නිසා එදා මෙදා කිසිම සම්මාන උළෙලකට සහභාගි වන්නේ නෑ. වෙන්නෙත් නෑ කියන මතයේ සිටිනවා. ඒවා ගැන මගේ පැහැදීමක් නෑ. ප්‍රේක්ෂක ආදරය මගතොටේදි ලැබෙනවා ඒ සම්මානය හොඳටම ප්‍රමාණවත්.

චිත්‍රපට 54ක රඟපෑවා

රංගන ශිල්පියෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක්,නිෂ්පාදකවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රය වෙනුවෙන් නිශ්ශබ්ධව විශාල සේවයක් කරනවා. අපි අපේ සිනමාව රැකගන්න කොතරම් වෙහෙස මහන්සි වුවත් රජයෙන් ලැබෙන සහයෝගය ප්‍රමානවත් නොවන බව අමතක කරන්න බැරි ගැටලුවක්. සිනමාව වෙනුවෙන් ලැබෙන බදු සහන සහ අනෙකුත් සහන ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් අපේ සිනමාව දවසින් දවස අරාජික වන තත්ත්වයට පත්වීම අමතක කරන්න බැරි තත්ත්වයක්. මම සිනමා රංගන ශිල්පියෙක් කියන්නෙ හරිම ආඩම්බරයෙන්.

එය මගේ වෘත්තිය වගේම මම ආසාවෙන් නියැළෙන කලාවක් නිසා. ඒ නිසාමයි කොයිතරම් ගැටලු පැන නැගුනත් කලාවේ රැදී සිටින්නේ. චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය හා,චිත්‍රපට පහක් නිෂ්පාදනය කළා . කුසල්, කිඩ් නැප් සිනමාපට ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.ඝරසරප සිනමාපටය නිෂ්පාදනය කළාට රඟපෑවේ නෑ. මේ දක්වා චිත්‍රපට 54ක් සහ ටෙලිනාට්‍ය 10ක රංගනයෙන් දායක වී තිබෙනවා. ටෙලිනාට්‍ය රංගනයට කැමැත්තක් නොදක්වන නිසා ලැබෙන ආරාධනා බාරගන්නේ හරිම අඩුවෙන්. අම්මා, තාත්තා, බිරිඳ අමීෂා සමග බොහොම සරළ ජීවිතයක් ගත කරනවා. 

Comments