විකෘති මිනි­සකු මුළු ලොවම සසල කරයි | Page 2 | සිළුමිණ

විකෘති මිනි­සකු මුළු ලොවම සසල කරයි

පුද්ගලයන්ගේ විකෘති මනෝභාවයන් ස්වාභාවික මානසිකත්වයෙන් යුතු ජීවිතවලට කෙතරම් බලපෑම් කරනවාද? ස්ප්ලි ට් (split) සිනමා වෘතාන්තය මුළු ලොවම කුතුහලයෙන් අළලා ගිය 2017 වසරේ ඉහළ ම ප්‍රතිචාර ලද සිනමා පටයක් බවට පත්වූයේ එම පැනයට බොහෝ රසිකයන් පිළිතුරු සෙවූ නිසයි.

මනෝ විද්‍යාත්මක ත්‍රාස ජනක සිනමා පටයක් වූ ස්ප්ලිට් කථාව නිර්මාණය වන්නේ විවිධ වූ පෞරුෂත්වයන් 23 ක් තිබූ කෙවින් වෙන්ඩෙල් ක්‍රම්බ් නම් පුද්ගලයා කේන්ද්‍රකර ගෙනය.

ඔහුගේ මානසික ව්‍යාකූලතාවෙන් පීඩාවට පත්වන්නේ නව යෞවනියන් තිදෙනෙකි. කේසි කුක් පියාගේ මරණයෙන් පසු නීත්‍යානුකූල භාරකාරයා වූ බාප්පා නිසා මානසිකව ඇද වැටුණු නව යොවුන් දැරියකි. ඇය සහ ක්ලෙයාර් හා මාර්සියා යන මිතුරියන් දෙදෙනා පෞරුෂත්ව ආබාධ රැසකින් පීඩා විඳි කෙවින් වෙන්ඩෙල් ක්‍රම්බි විසින් පැහැර ගනු ලබයි.

පැහැර ගත් ගැටවර දැරියන් තිදෙනා කෙවින් කුඩා කාමරයක සිරකර තබා ගන්නේය. දැරියෝ ඔහුගේ විසිතුන් ආකාර පෞරුෂත්ව අක්‍රමිකතා හඳුනා ගනිති. මේ දුර්වලතාව ආධාර කරගෙන ක්ලෙයාර්, කෙවින්ගෙන් පැන යාමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථවී ඇය අනිත් දෙදෙනාගෙන් වෙන්කර සිරගත කරනු ලබයි.

කෙවින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරියට අතුරුදන්වූ නව යෞවනියන් තිදෙනා සම්බන්ධයෙන් කෙවින් වගකිව යුතු බවට සැකයක් ඇතිවේ. එම සැකය අහිංසක ජීවිත තුනක ඉරණම කෙසේ වෙනස් කරාවිද? එය දැන ගැනීමට ස්ප්ලිට් අවසානය දක්වා ම නැරඹිය යුතුය.

ඉන්දියානු ඇමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයකු වන මනෝජ් නයිට් ශ්‍යාමලන් අද්භූත, අධි ස්වාභාවික, අරුම පුදුම අවසානයක් සහිත සිනමාපට නිර්මාණය කිරීමට රුසියකි. ඔහුගේ ‘ද සික්ස්ත් සෙන්ස් (1999) අන්බ්‍රේකබල් (2000), සයින්ස් (2002), ද විලේජ් (2004), ලේඩි ඉන් ද වෝටර් (2006), ද හැපනිං (2008), ඩෙවිල් (2010), ද විසිට් (2015) වැනි සිනමා නිර්මාණ අන්තර්ජාතිකව අවධානයට ලක්විය. ඔහු මේ වන විට කෙතරම් පිළිගැනීමක් ඇති අධ්‍යක්ෂවරයකු ද කිවහොත් ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

මෙහි පෞරුෂත්ව අක්‍රමිකතා රැසකින් පීඩා විඳින කෙවින්ගේ චරිතය නිරූපණය කළේ ජේම්ස් මැක් ඇවෝයිය. ඔහු ෆිල්ත් (2013) ප්‍රහසන අපරාධ සිනමාපටයේ බෲස් රොබට්සන් ලෙස කළ රංගනයට බ්‍රිතාන්‍ය ස්වාධීන සිනමා සම්මාන උලෙළේ (බ්‍රිටිෂ් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් අවෝර්ඩ්ස්) හොඳ ම නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවිය. ස්ප්ලිට් රංගනය සඳහා මේ වන විටත් මේ ස්කොට් ජාතික අට හැවිරිදි නළුවාට විචාරක පැසසුම් නොමඳව ලැබී ඇත.

එක්ස් මෙන්, ද ලයන්, ද විච් ඇන්ඩ් ද වෝඩ්‍රෝබ්, ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ් වැනි සිනමා රංගනයන්ගෙන් සම්මාන සඳහා නිර්දේශ වූ ඔහු ස්ප්ලිට්හි කෙවින් චරිතයට කෙතරම් සාර්ථකව ජීවය කවා ඇත්දැයි කිවහොත් ඔස්කාර් සම්මාන සඳහා ඔහු නිර්දේශ විය යුතු බව බොහෝ විචාරකයන් පවසා තිබේ.

මෙහි කේසි කුක් ලෙස කථා නායිකාවට පණ දෙන්නේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ආජන්ටිනානු සම්භවයක් ඇති විසි එක් හැවිරිදි සුරූපි තාරකාවකි. ඇය ද ‘ද විච්’ (2016) හි තොමසින් ලෙස කළ රංගනයට සම්මානයට පාත්‍ර වූවාය. ජ්‍යෙෂ්ඨ නිළි බෙටී ලින් බක්ලි වෛද්‍ය ෆ්ලෙචර් ලෙස රඟන්නීය. හැත්තෑ හැවිරිදි ඇය සම්මානනීය ඇමෙරිකානු සිනමාතාරකාවකි.

කේසි කුක්ගේ මිතුරිය ක්ලෙයාර් ලෙස රඟන විසි දෙහැවිරිදි සුරූපිනිය හැලී ලූ රිචඩ්සන්ට ‘ස්ප්ලිට්’ චරිතය සැබෑම අභිමානයක් විය. තෙවැනි තරුණිය මාර්සියා ලෙස රඟන්නේ විසිතුන් හැවිරිදි ජෙසිකා සුලාය.

කේසිගේ කුරිරු බාප්පා ජෝන්ගේ චරිතය බ්‍රැඩ් විලියම් හෙන්ක්ගේ ද ඇයගේ පියා ලෙස සෙබස්තියන් ආකිලස් ද ක්ලෙයාර්ගේ පියා ලෙස නීල් හෆ් ද රඟති.

අධ්‍යක්ෂ ශ්‍යාමලන් ද මෙහි රංගනයේ යෙදීම සුවිශේෂී සිද්ධියකි. ඔහු රඟන්නේ වෛද්‍ය ෆ්ලෙචර්ගේ තට්ටු නිවෙසේ ආරක්ෂක නිලධාරියාගේ චරිතයයි. ශ්‍යාමන් ‘ස්ප්ලිට්’ සිනමා නිර්මාණය පිළිබඳ ඉඟි පළ කෙළේ තිර පිටපත ලිවීමටත් පෙරාතුවය. නිසි කාලය මේ යැයි හැඟුණ විට ඔහු සිනමා පටය ලිවීමට පටන්ගෙන තිබේ. මුලින් කථා නායකයා කෙවින්ගේ චරිතයට ග්‍රැමී, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභී, ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිර්දේශ වූ ජොඇක්වින් ෆීනික්ස් තෝරා ගැනුණු නමුත් පසුව ජේම්ස් මැක්ඇවෝයි නිර්දේශ කෙරිණි. 2015 ඔක්තෝබරය වන විට සෙසු චරිත සඳහා ද රංගන ශිල්පීන් තෝරාගත් අතර යුනිවර්සල් පික්චර්ස් විසින් සිනමා පටය බෙදා හැරීම භාර ගන්නා ලදී.

මුලින්ම කෙවින්ගේ චරිතය අධ්‍යක්ෂ ශ්‍යාමලන් විසින් ඇතුළත් කර තිබුණේ අන්බ්‍රේකබල් සිනමා පටයටයි. පසුව ඔහු ඒ චරිතය කේන්ද්‍ර කරගෙන ‘ස්ප්ලිට්’ නිර්මාණය කරන ලදී. සිනමාවේ ඊළඟ ස්පිල්බර්ග් ලෙස ‘ස්ප්ලිට්’ සමඟ ශ්‍යාමලන් හැඳින්වීමට බොහෝ විචාරකයන් පෙලඹී තිබේ. ඩොලර් මිලියන 9 ක් තරම් අඩු මුදලකින් නිර්මාණය වූ ‘ස්ප්ලිට්’ තැබූ බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 276.9 ක් වීමෙන් ම ශ්‍යාමලන්ගේ සිනමා පටයට තිබූ ප්‍රේක්ෂක ඉල්ලුම සිතාගත හැකිය.

එහෙත් සිනමා පටයට විරෝධය දක්වන පිරිසක් ද නොසිටියා නොවේ. සංකීර්ණ මානසික ව්‍යාකූලතාවන්ගෙන් පීඩා විඳින්නන් භයානක බවට සිනමා පටයෙන් පණිවුඩයක් දී ඔවුනට අසාධාරණයක් කරන බවට මනෝ වෛද්‍යවරු මැසිවිලි නැඟූහ. ස්ප්ලිට් සිනමා පටය අන්බ්‍රේකබල් සිනමා පටයේ දෙවැන්න වන අතර තෙවැන්නට ද පිඹුරුපත් සැකසෙමින් පවතී, ‘ග්ලාස්’ ලෙස නම් කර ඇති එම නිර්මාණය 2019 ජනවාරියේදී තිරගතවීමට නියමිතය.

 

අන්තර්ජාලයෙනි 

 

Comments