මම දිල්මිණ වගේ කුම්මැ­හි­යෙක් නෙමේ | සිළුමිණ

මම දිල්මිණ වගේ කුම්මැ­හි­යෙක් නෙමේ

‘‘මට තත්පරයත් කෝටියක් වටිනවා.‘‘

මෙය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ‘පැහැසරා‘ ටෙලි නාට්‍යයේ දිල්මිණ ගේ මුවින් නිතර පිටවන වචනයකි. ඒ ඔහු තුළ ඇති අධික ලෝබකම නිසාවෙනි. මේ නිසාම ඔහුට පටබැඳී ඇති නාමය කුම්මැහි කුමාරයා ය. කුම්මැහි කුමාරයා චරිතයට පණ පොවන්නේ නව පරපුරේ රංගන ශිල්පියකු වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ය.

ඇත්තටම ඉසුරුත් දිල්මිණ මෙන් කුම්මැහියෙක්ද? මේ පැනය පැහැසරා නරඹන බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිතෙහි නැගෙන්නකි. මේ නිසාම ඉසුරු සමඟ කතාකර ඒ ගැන ඔබව දැනුවත් කරන්නට අපි සිතුවා.

ඉසුරු කොහොමද දිල්මිණට ලැබෙන ප්‍රතිචාර.

කියන්න සතුටුයි. ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා

ඇත්තටම ඉසුරුටත් තත්පරේ කෝටියකට වඩා වටිනවද?

අද අපි මේ දුවන රේස් එකේ දී තත්පරේ කෝටියක් වටිනබව ඇත්ත. හැබැයි ඒ තත්පරේ කෝටියක් වටින තැන්වලදී.ඒත් ඒක නවත්තන්න ඕන තැන් තිබෙනවා. මට අම්මාව බලන්න යන්න ඕන නම් කෝටියක් වටිනවා වුණත් ඒ තත්පරේ අතහරින්න මම සූදානම්

ඒ කියන්නේ පෞද්ගලික ජීවිතේ දිල්මිණට වඩා ඔබ වෙනස්

ඇත්තෙන්ම පෞද්ගලික ජීවිතයේ දිල්මිණට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් මම. ඒ කියන්නේ මම දිල්මිණ වාගෙ පෙරේතයෙක් නෙමේ. එහෙම කියල නාස්තිකාරයෙකුත් නෙමේ මම මැද මාවත අනුගමනය කරන කෙනෙක්

එහෙනම් ඉසුරු කියන්නේ මොනවගේ කෙනෙක්ද?

දිල්මිණ කියන්නේ ගොඩ ගහගන්න පුළුවන් හැම දේම එකතු කරගන්න දඟලන කෙනෙක්.ඒත් මම ඒ හැම දෙයක්ම වගේ අතහරින්න ට්‍රයි කරන කෙනෙක්. ටිකක් අමාරුයි. මම ලද දෙයින් සතුටු වෙනවා.

දැන් දිල්මිණ කියන සමහර දෙබස් ඉසුරු හදාගත්ත ඒවාද?

නැහැ, ඒ හැමදේම පිටපතේ තිබෙන දේවල්

පෞද්ගලික තොරතුරු ගැනත් දැනගන්න කැමැතියි

මගේ ගම මාතර නිදන්ගල.වැලිගම ප්‍රාදේශීය සභාවට අයත් සුන්දර ගමක්.ඒ වගේම බොහොම ආඩම්බරයෙන් කියනවානම් මගේ ගෙදර තියෙන්නේ තේවිස් ගුරුගේ මහතාගේ ගෙවල් ළඟ. මගේ තාත්තා ධර්මදාස ලොකුහෙට්ටිආරච්චි. අම්මා අශෝකා අලහප්පෙරුම.මට ඉන්නේ එක සහෝදරයයි. ඒ මගේ අයියා ගයාන්.මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ.

කලාවට යොමුවුණේ

මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයට. 6 වසරේ ඉඳලා පෙරදිග සංගීතය හැදෑරුවා.මොන්ටසෝරි නාට්‍ය යේ ඉඳල පාසල් නාට්‍ය හැම එකකම ඇට් කළා.ඉදිරිපත් වෙන්න ඕන හැම එකකටම ඉදිරිපත් වුණා.පාසල් තූර්ය වාදක කණ්ඩායමේ කැඩෙටින් බෑන්ඩ් එකේ හිටියා.

ඒත් ඔබ පුංචිතිරයෙන් දකින්නේ දැන්

ඇත්ත. මම උසස්පෙළ ඉවර වුණු ගමන් කැඩේට් නිළධාරියකු ලෙස දියතලාවේ රාජ්‍ය ආරක්ෂක විද්‍යාපීඨයට බැඳුණා.2003 අවුරුද්දේ සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන් වරයකු විදිහට අවුට් වුණා.මම පළමුවෙන්ම යන්නේ යාපනයට. ඒ නිසා යුද්ධයේ අත්දැකීම් හොඳට විඳලා තිබෙනවා. 2004 අරියාලේ පළමු ක්ලේමෝ එක පුපුරලා මානුෂීය මෙහෙයුම පටන් ගත්තාම මම ඊට දායක වනවා.

2007 වසරේදි මම යුද හමුදාවෙන් ඉවත්වනවා.ඊට පසුව ඖෂධ අලෙවි කරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා රැකියාව කරන්න පටන් ගන්නවා.ආමි එකට යද්දි නැතිවුණු මගේ කලා ජීවිතය හෙමිහිට පටන් ගන්නේ මෙයින් පසුවයි.මුලින්ම පොඩි පොඩි ඒවා රඟපෑවා. සිරස නාට්‍යවල හඬ කැවීම් වලට සම්බන්ධ වුණා. යාළුවෝ එක්ක සෙට් වුණාම විවිධ චරිත ඉමිටේට් කරලා පොඩි පොඩි ආතල් දෙනවා. මෙහෙම එකක් දැකලා රසික නලින් රණවීර අයියා ‘‘උඹට ඇට් කරන්න පුළුවන්‘‘ කියලා මාව චරිත් කොතලාවල අධ්‍යක්ෂවරයා ළඟට යැව්වා.

පළමු රංගනය පිළිබඳව මතකය අවදි කරමු

දෙන්නට දෙන්නා කියන මේ ටෙලි නාට්‍යයේ පිටපත ලියලා තිබුණේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල දෙදෙනා.කැමරා කළේ තිශ්‍රල දීප තඹවිට.මම එතකොට මීගමුවේ වැඩ කළේ.ෂූටින් තිබුණේ විල්ලුද ඉන් එකේ.මම රැවුල කොණ්ඩය කපලා ටී ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳලා ගියා. සෙනඟ පිරිලා හිටියා. සුපර් ස්ටාර් තරගයකට තෝරාගන්නා එකක් තමයි ෂූට් කළේ. මට සෙනඟ එක්ක හිටගන්න කිව්වා. මගේ පිටුපස්සෙ තමයි කැමරාව තිබුණේ. ටික වෙලාවකින් අත්පුඩි ගහන්න කිව්වා. මල්ලි හරි කිව්වා. ඒ තමයි මගේ පළමු රංගනය.ඒත් ඒක තවම ටෙලිකාස්ට් වුණේ නැහැ.

ඒත් දැන් ඔබ ජනප්‍රිය නළුවෙක්.

ඔව්. ඒත් මම මෙතැනට එන්න ලොකු කට්ටක් කෑවා. ගුටි කන්න ගියා. වාහන තල්ලු කරන්න ගියා. පිටපත් වල මට තිබුණු නම් තමයි එක මිනිසා, දෙක මිනිසා, එක මිතුරා, දෙක චණ්ඩියා වගේ පොදු නම්.මෙහෙම පොඩි පොඩි ඒවා රඟපාන අතර සුනන්ද සිල්වා තමයි මට මලී ටෙලි නාට්‍ය යේ දෙබස් තිබෙන, නමක් තිබෙන චරිතයකට මට අවස්ථාව අරගෙන දුන්නේ. එහි සංඛේත් වික්‍රමගේ රියැදුරා වන පියරත්නගේ චරිතය මට ලැබුණා.

සුනන්ද සිල්වා මහතා මගින් නාලන් මෙන්ඩිස් මහතා ජනකලා කේන්ද්‍ර යේ පවත්වපු වර්ක් ෂොප් එකට සම්බන්ධ වුණා. එහිදී හොඳම නළුවා වුණේ මමයි. හොඳම නිළිය නිම්මි ප්‍රියදර්ශනී. මම දූවරු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඒ විදිහටයි. ඒ තමයි මගේ රංගන ජීවිතයේ මොන්ටසෝරිය. ඊට පස්සෙ සාරංග මෙන්ඩිස් මහතාගේ ගිනිඅවි සහ ගිනිකෙළි නාට්‍යයට සම්බන්ධ වුණා. ඇත්තටම ඒ මගේ රංගන දිවියේ උසස් පෙළ පන්තිය කිව්වොත් හරි. එහි මම තමයි නාරාහේන්පිට පීටර්. ශ්‍රියන්ත මෙන්ඩිස්, සෝමවීර ගමගේ, රන්ජන් රාමනායක, වැනි දැවැන්තයින් සමඟ රඟපෑමේ වාසනාව ලැබුණා.

ඔබ චිත්‍රපට වලටත් දායක වුණු නළුවෙක්

මගේ පළමු චිත්‍රපටය රන් සයුර.එහි මම පුංචි බේබි කියන වැල්ලේ සල්ලි තියෙන විසේකාර පුතා. දැන් චිත්‍රපට 5ක් කරලා තබෙනවා. මේ දවස් වල නිදහසේ පියා DS චිත්‍රපටයේ රඟපානවා.

අලුත් ටෙලි නාට්‍යයකට දායකවුණා කියලා ආරංචියි

නිල්වලා ආයතයේ නිසල සඳ ඔබයි, සහ මධුමතී කියන ටෙලි නාට්‍ය වලට මේ දිනවල රඟපානවා.

ඉසුරු, දිල්මිණ ඇත්තටම වෙනස් වෙයිද?

මම හිතන්නේ උපමාලි දිල්මිණව වෙනස් කරලා ගනීවි

ඔබේ අනාගත බලාපොරොත්තුව

මම ලද දෙයින් සතුටුවන කෙනෙක්. ඒත් මගේ ඉලක්ක තිබෙනවා.කවදා හරි දවසක තවත් එක ජෝ අබේවික්‍රම කෙනෙක් වෙන්න පුළුවන් නම් මම ආසයි. මම හිතනවා මේ දක්වා මම වාසනාවන්තයි කියලා. කිසිම අධ්‍යක්ෂ වරයෙක් මාව කොටු කරන්නේ නැතිව මට චරිත ලබා දුන්නා.දුෂ්ටයා, කවටයා වගේ විවිධ චරිත ඒ අතර තිබෙනවා. පිනි (ITN), පැහැසරා දිල්මිණ (SIRASA), සම්පතා පත්තිනි, නන්දිමිත්‍ර මහරජ ගැමුණු වැනි එකකට එකක්වෙනස් චරිත මට ලැබිලා නැහැ.

ඔබ තවම තනිකඩයෙක්. පෙම්වතියක්, විවාහයක් ගැන හිතන්නේ නැද්ද?

මම තවම තනිකඩයෙක්. අම්මාගේ ආදරය උපරිමයෙන් ලැබෙනවා. අනෙක මම හිතන්නේ ජීවිතය කියන්නේ ට්‍රැක්ටරයක් වගේ කියල .ට්‍රැක්ටරයට ට්‍රේලරයක් හයි කරගත්තාම එහි වේගය අඩාල වනවා. ඒ වගේම ට්‍රේලරය යන්නේ එන්ජිම හරවන පැත්තට නෙමේ. ඒ නිසා මම මේ ඉන්න විදිය හොඳයි. 

 

Comments