නව කවි­යක වස­න්ත­යද මේ | Page 2 | සිළුමිණ

නව කවි­යක වස­න්ත­යද මේ

සාහිත්‍ය උලෙළ, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය සම්මාන ප්‍රදාන, සවර්ණ පුස්තක, රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ ජාතික සම්මාන මෙකී නොකී උලෙළ ප්‍රදර්ශන, සම්මාන ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර වෙනදාටත් වැඩි තරමට ද කියලත් කල්පනා වෙනවා. ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඉදිරියෙන් ම පෙනෙන්නෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවි පොත් සල්පිල‍. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියගෙ සමීප රූප. මහින්දගෙ සගයා චන්දන වීරසිංහ. ඔවුන් දෙන්නගෙ සහායට හැමදාම හිටපු ප්‍රියන්කාගේ බන්දුල ජයවීර. චූලා නන්ද සමරනායක. අනුරසිරි හෙට්ටිගේ. ළහිරු කිතලගම‍. වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි. සුපුන් අතුකෝරල. ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලිය අතර. කවිපොත් සල්පිලේ නිල ඡායාරූප ශිල්පියා පීටර් ජෙරොම් තිසරණ පෙරේර‍ා. මේ මුහුණු වගේම තවත් මුහුණු බොහොමයක් ම සමීප රූපයට එකතු වෙනවා. ඉඳහිට කවිපොත් සල්පිලට ගොඩ වැදුණු වෙලාවට දැකපු‍. ඉන්ද්‍රචාපටත් ඒ තරම් විවේකයක් තිබුණෙ නෑ. වෙනද වගේ කවි‍ පොත් සල්පිලට නිතර ගොඩ වදින්න. ඒත් ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ ඇඳුණු කවි බැම්ම නම් මෙදා පාළුවට ගිහින් තිබුණෙ. වෙනදා හැන්දෑ කරේ කවි බැම්මට එකතුවෙලා සාමීචිය පටන් ගන්න මුහුණු සමීප රූපයට අහුවුණේ නැති තරම්. ඉඳ හිට, එක් කෙනෙක් දෙන්නෙක් ආවා ගියා තමයි. ඒත් වෙනදා තිබුණු කවි රසය පේන්න තිබුණෙ නැති එක ගැන ඉන්ද්‍රචාපට දුක හිතුණා.

කවි පොත් සල්පිලට එකතු වෙච්ච අලුත් කවි පොත් තොගයක සමීප රූප ඉන්ද්‍රචාපට පේනවා. නව කවියේ වසන්තය ද කියල ඉන්ද්‍රචාපට කල්පනා වෙන්නෙ මේ පොත්පත්වල සමීප රූප දකින කොට. සමහර කවියො කිවිඳියො අලුත්ම මුහුණු. කීප දෙනෙක් පොතක් දෙකක් පළ කරපු අය. මොනව වුණත් ඉන්ද්‍රචාපගෙ හිත සතුටින් පිරිලා මේ කවි පොත් සමීප රූපාවලියෙන්. තරංගා රණසිංහගෙ දුරුත්තේ කෝපි මල්, සංජු දිල්ශාන් ද මැල්ගෙ පංචරසී, ප්‍රදීප් සාරංග කුමාරගෙ වැසුණු දොරටු, චන්දන ඉලන්දාරිගේ මම ඔබට පෙම් කරමි, ළහිරු කරුණාරත්නගෙ කටුතුඩට පිනි පහස, අනූෂ ගෝකුල ප්‍රනාන්දු ගේ ට්‍රැෆික් කවි, අයන්ති ප්‍රනාන්දුගේ තරු පිරි අහස, සජිත් චින්තකගේ රාමු නොකළ පින්තූරයක්, තුෂාර ද සිල්වාගේ මුහුදම කඳුළු බිඳුවකි, ළහිරු කිතල ගමගේ කවුළු ඇස පාමුල, කාංචනා අමිලානිගේ බූමරංගය ඔබේ ඇස් දෙක, උපේක්ෂා ප්‍රේමතිලකගේ නාඳුනන අප දෙදෙන මුදු රේඛාගේ ඉසිරි මියෙළන්දි, පවුරු පාමුල කුමාරි හෙට්ටිආරච්චි, ජීවිතේ බර එච්. එම්. ඒ. සුසන්ත ප්‍රියලාල්, සිත පිරිසිදු ගැහැනිය ඈ. කේ.ජී. ප්‍රේමරත්න, කවිරස ජනනි මහේන් සූරි (අස්ගිරියේ මහේන්ද්‍ර සූරියආරච්චි) අනෝමා ජානකී මිහිඳුකුලසූරිය ගේ දිය බිඳක් වූ ඒ වලාරොද, ඉන්ද්‍රචාපගේ තුන් වැනි ඇහැට හසුවුණු කවි පොත් කීපයක් පමණයි. තව විශාල ප්‍රමාණයක් කවි කිවිඳියන්ගේ පොත් ඉදිරි කාලයේ දී ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරට එක් වෙනවා සත්තයි.

නව කවියක වසන්තය සටහන් වුණු තවත් අපූරු මොහොතක් ඉන්ද්‍රචාපගේ සමීප රූපයේ. ලංකා ඉරිදා සංග්‍රහය සාහිත්‍ය දිනය වෙනුවෙන් පවත්වපු කවි මුතු මිණි තරගාවලිය, සම්මාන ප්‍රදානය. සාහිත්‍ය දිනය වෙනුවෙන් අලුත් කවි කිවිඳියන් හොයා ගෙන ගිය චාරිකාවක මිහිරි ප්‍රතිඵල සමීප ‍රූපයේ ඇඳුණේ 24 ඉරිදා පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනයේ උදෑසන. ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ කලාකරු කපිල කුමාර කාලිංග වගේ ම, මහාචාර්ය සමන්ත හේරත් ආදීන්ගේ මුහුණු සමීප රූපයේ ඉන්ද්‍රචාපට පේනවා. කවි එකසිය පනස් ගණනකින් තෝරා බේරා ගත් අපූරු කවි පන්ති දහ හතක් දහ අටක් කවි මුතු මිණි අතර. ලංකා පත්තරේ සගයන් පද්ම මංජු භාතිය ගුණසේන, ප්‍රියදර්ශන දයාරත්න ආදීන්ගේ සමීප රූපත්, තරගාවලියේ ජයග්‍රාහී නිර්මාණකරුවන් තෝරා ගැනීමේ මෙහෙයුම අතර. සම්මානලාභීන් දිරි ගැන්වූ අයගෙ මුහුණුත් ඉන්ද්‍රචාපට පේනවා. සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී‍. ප්‍රේමසිරි කුමුදුනී හපුතන්ත්‍ර‍ී සූර්ය ප්‍රකාශන ෆාස්ට් ඇඩ්ස් අධිපති ප්‍රේම් දිසානායක ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර. සිංහල නව කවියේ අපූරු ප්‍රබෝධාත්මක යුගයක් පසුකරමින් සිටිනවාද යන ප්‍රශ්නය ඉන්ද්‍රචාපගෙ සිතිවිලි අතරෙ. මේ කවි පොත්, ජයග්‍රාහී පද්‍ය නිර්මාණ ඉදිරි කාලයේදී විචාරක පාඨක කතිකාවට, ලක්වේවි කියල ඉන්ද්‍රචාප විශ්වාස කරනවා. කොහොම වුණත් සමීප රූප අතරෙ සටහන් වුණු කවි කිවිඳියන්ගෙ මුහුණු, තරග ජයග්‍රාහකයන්ගෙ රචනා, ඉන්ද්‍රචාපගේ කවි සිත ප්‍රබෝධමත් කළ බවයි පවසන්න ඇත්තෙ. 

 

Comments