
මෙවර ද ‘හරි වහරෙහි’ ලා විමැසෙන්නේ සංස්කෘත තත්සම කිහිපයෙකි.
1. චතුෂ්ට - මෙහි (මූර්ධජ) ‘ෂ්’ හා (අල්පප්‍රාණ) ‘ට’ යෙදෙන සැටි කෙරෙහි විමැසිලිමත් වුව මනා ය. බොහෝ දෙන මෙහි අග (මහාප්‍රාණ) ‘ඨ’ යොදන නමුදු ඒ නිවැරැදි නොවේ. චතුෂ්ට යන්නෙහි අරුත ‘සතරක් සහිත’ හෙවත් ‘සතරෙහි ඒකකය’ යනුයි.
2. චතුෂ්පද - මෙහි දු (මූර්ධජ) ‘ෂ්’ යෙදෙන අයුරු කෙරෙහි සැලැකිලිමත් වුව මනා ය. එයට පසු වැ (අල්පප්‍රාණ) ‘ප’, ‘ද’ යෙදේ. මේ හා අනුරූප වැ පාලියෙහි ‘චතුප්පද’ යනුත් සිංහලයෙහි ‘සිවුපා’ (පසු වැ පර රූප සාම්‍යය යන විධියෙන් සිවුපු) යනුත් යෙදේ. පා සතරක් ඇති (තිරිසන්) සතුන් හඳුන්වනුව යෙදෙන වදනෙකි.
3. චතුර්විධ - මෙහි ‘ෂ්’ නොව ‘ර්’ යෙදෙන සැටි කෙරෙහි විමැසිල්ල යොමු කළ මනා ය. ‘චතුඃ’ යන්නෙහි ඃ (විසර්ගය) වෙනුවට ‘ර්’ ආදේශ වනුයේ පසු වැ ඇති ‘වි’ ශබ්දය නිසා ය. චතුර්විධ යනු රේඵ ලක්ෂණය යොදා ලියන කල්හි ‘චතුවර්‍විධ’ යැයි ද ලිවිය හැකි ය. පැරැණි වහරෙහි එ බඳු යෙදුම් පෙනේ. මෙහි අරුත නම් චතුරාකාර වූ හෙවත් සිවු අයුරෙකින් යුතු වූ යනුයි.
චතුර්වර්ණ, චතුර්වේද, චතුර්විද්‍යා, චතුර්වෛශාරූප ආදි බොහෝ යෙදුම්හි ද ‘ව්’ කාරයට පෙර ‘ඃ’ යනු ‘ර්’ බවට හැරී ඇත්තේ ය.
4. චතුස්සත්‍ය - මෙහිදී සැලැකිල්ල යොමු කළ යුතු ‘චතු’ යන්නට පසු වැ එන (දන්තජ) ‘ස්’ කෙරෙහි ය. මෙ තන්හි ‘චතුඃ’ යන්නෙහි විසර්ගය ‘ස්’ කාරය බවට හැරී ඇත්තේ පසු වැ යෙදෙනුයේ ද (සත්‍ය යන්නෙහි) ‘ස්’ යනු ම බැවිනි. මෙවදන හා අනුරූප වැ පාලියෙහි ‘චතුසච්ච’ යන්න ව්‍යවහාර කැරේ. සිංහලයෙහි ‘සිවුපස්’ යනු යෙදේ. චතුස්සත්‍ය නම් සතර සත්‍යය යි. එ නම් චතුරාර්ය සත්‍ය නමිනුදු ගැනෙන දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යනුවෙන් බුදු දහමෙහි දැක්වෙන පරම සත්‍ය සතර යි.
5. චපල - මෙහි වෙසෙසින් සැලැකිය යුතු නම් අග යෙදෙන (දන්තජ) ‘ල’ යනු යි. ලෞකික සංස්කෘතයෙහි (මූර්ධජ) ‘ළ’ නොයෙදන බැවින් මෙහි යෙදිය යුතු ‘ල’ බව ඉඳුරා හැඟැවේ. මේ හා ‘ය’ ප්‍රත්‍යයය එක් වූ කල්හි ‘චාපල්‍ය’ යනු නිපැදේ.
චපල යනු සෙලැවෙන, ස්ථිර නැති අරුත් දෙන වදනෙකි
6. චරණ - මෙහි අග (මූර්ධජ) ‘ණ’ යෙදීම කෙරෙහි අවධානය යොමු කළ මනා ය. සංස්කෘත තත්සමයක් බැවින් ‘ර’ පර කොට යෙදෙනුයේ (දන්තජ) ‘න’ නො ව (මූර්ධජ) ‘ණ’ ම ය. මරණ යනු පාලියෙහි දු තත්සම වැ යෙදේ.
මෙහි ගමන් කිරීම යනු අරුත මෙන් ම (ගමනට උපකාර වන) පාදය යන අරුත ද ඇත්තේ ය. ‘චරණධර්ම’ යන්නෙන් නිවන් අරමුණු කොටගත් ධර්ම ගැනේ.
7. චර්යා - මෙහි දී සැලැකිය යුතු වන්නේ නිවැරැදි වැ වදන ලියන අයුරු යි. ඇතැම් විටෙක ‘චර්්‍යා’ යනුවෙනුදු ලියනු දක්නා ලැබේ. ඒ සාවද්‍ය වේ. චර්යා, චර්‍යා, චර්‍ය්‍යා යන කවර අයුරිනුත් මෙ වදන ලිවිය හැකියි. හැසිරීම, ගතිගුණ වැනි අරුත් දෙන වදනෙකි.
- ශාබ්දික